අමාරුවෙන් වුණත් මම එයාට යන්න ඉඩ දුන්නා | සිළුමිණ

අමාරුවෙන් වුණත් මම එයාට යන්න ඉඩ දුන්නා

මගේ කැමැත්තට විතරක් අපේ ආදරේ තිබිලා වැඩක් නෑ

 

කලිඳු කරුණාරත්න කියන්නේ කෙටි කාලයක් තුළ මාධ්‍ය ඔස්සේ කට හඩින් ජනතාවගේ ආදරය දිනා ගත් මාධ්‍ය සගයෙක්. දෙරණ රූපවාහිනී තිරයේ ප්‍රවෘත්ති නිවේදකයෙක්, කාලීන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වගේම දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් හැටියට නිරන්තරයෙන්ම දැක ගන්න ලැබෙන ඔහු ගැනයි මේ තොරතුරු

 

කලිදු පසුගිය මාස කිහිපය ඔබ අසීරු කාලයක් පසු කළා. කොහොමද අලුත් තොරතුරු ..?

පසුගිය මාස දෙක තුන මගේ ජීවිතේ මම ගත කළ අසීරුම කාලයක්. අප්‍රේල් මාසේ ඉදලා මේ වෙනකල් මම කාලය ගත කළේ වැඩත් එක්ක. ඒ වගේම යාළුවෝ එක්ක වැඩිපුර කාලය ගත කරමින් ඒ කාලය මඟ හැර ගත්තා. දැන් සුපුරුදු පරිදි රැකියාව ට මුල් තැන දෙමින් මේ දවස්වල කාලය ගත කරනවා.

 

කවුරුත් දන්නවා ඔබේ පෙම්වතිය බවට පත් වෙලා හිටියේ සිදූ නාට්‍යයේ නිළියක් වූ චංචලා කියලා, ඒ ආදරේ දැන් ඔබෙන් ඈත් වෙලා...?

පාසල් යන කාලේ පොඩි පොඩි ප්‍රේම සම්බන්ධතා තිබ්බට මගේ ජීවිතේ තදින් බැඳගත් ප්‍රේමය ඇය කිව්වොත් හරි. 2019 වර්ෂයේ මැද භාගයේ තමයි අපි ආදරේ කරන්න පටන් ගන්නේ. වසර තුනක ආදර කතාවට පසුගිය අප්‍රේල් මාසේ තිත තිබ්බා. ඒ මගේ වුවමනාවට නෙමෙයි. ඇගේ වුවමනාවට. එදත් අදත් හෙටත් මම ඇයට ගරු කරනවා. ඒ නිසා ගෞරවනීය විදිහට කතා බහ කරලා අපි අයින් වුණා.

 

විවාහ වෙන්න තරම් තදින් බැදුණු ප්‍රේමයක් එකපාරටම නැති වෙන්න හේතුවක් තිබ්බද..?

මම හේතු ඇහුවේ නෑ. ඇය හේතු කිව්වෙත් නෑ. හේතුව හොයන්න ගියොත් මට හිත හදා ගන්න තවත් අමාරු නිසා ඇයට ඇහුම්කන් දිලා ඒ වෙන්වීමට සමු දුන්නා. එයා අනපේක්ෂිත මොහොතක තමයි මට කතා කරලා කිව්වේ අපි මේ සම්බන්ධය නතර කරමු කියලා. එයාට නිදහස ඕන ඇති. ඒ නිසා අමාරුවෙන් උනත් මම එයාට යන්න ඉඩ දුන්නා. මගේ කැමැත්තට විතරක් අපේ ආදරේ තිබිලා වැඩක් නෑ. මම කිසිම බාධා කිරිමක් කළෙත් නෑ.

 

ආදරේට නිළියක් තෝරා ගැනීම ගැන දැන් දුකක් නැද්ද ..?

ඒක එයාගේ රැකියාව. ආදරේ ට ඒවා බලපාන්නේ නැහැ. හැමදේටම මුල් වෙන්නේ හිත තමයි.

 

ගිය ආදරේ ආයෙත් ආවොත්..?

එක පාරක් විශ්වාසය බින්ද කෙනා නැවත වතාවක් ඒ දේ කරන්න දෙපාරක් හිතන්නේ නෑ. දැන් මගේ විශ්වාසය බිඳිලා ඉවරයි. ආයේ භාර ගන්නේ නෑ . එයා ආයේ එයි කියලා හිතන්නෙත් නැහැ. වෙන්න තිබ්බ දෙයක් වුණා.

 

දැන් ඔබේ මාපියන් විවාහය ඉක්මන් කරන්නේ නැද්ද ..?

කොහෙත්ම නැහැ. අම්මයි තාත්තයි කියන්නේ රැකියාවේ වැඩ ටික හොඳින් කරගෙන යන්න කියලා. විවාහ වෙන්න මට තව වයස තියෙනවා .

 

කලිදු කියන්නේ මාධ්‍ය ජීවිතේ හීනයක් කරගත්ත කෙනෙක්ද..?

මම අධ්‍යාපනය ලබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. පාසල් යන කාලේ ඉඳලම මාධ්‍ය ට සම්බන්ධ වෙන්න ලොකු ආසාවක් තිබ්බා. මම ඒ හීනේ පස්සෙන්ම ගියා. අම්මා තාත්තා විරුද්ධ වුණෙත් නෑ. දෙරණ ට සම්බන්ධ වෙලා අවුරුදු අටක් වෙනවා. හිමින් මේ ගමන යනවා.

 

ප්‍රවෘත්ති, කාලීන හා දේශපාලන වැඩසටහන් මෙහෙයවනවා කියන්නේ නිරන්තරයෙන්ම දැනුම යාවත්කාලීන කරගන්න ඕන පැතිකඩක්..?

ඔව්. නිතරම අපි දේශීය විදේශීය තොරතුරු ගැන දැනගෙන ඉන්න ඕන. මම පුරුද්දක් විදිහට පොත් පත්තර කියවනවා. ඒ වගේම කාර්යාලයේ දී අපි එකිනෙකා කතා බහ කරලා අවශ්‍ය තොරතුරු දැනුම හුවමාරු කරගන්නවා. මාධ්‍ය ජීවිතේ කියන්නේ හැමදෙයක්ම දැනගෙන ඉන්න ඕන තැනක්

 

Comments