
පි - සඳගිරි පව්වට යමු සඳ කිඳුරියේ..
හිත වල්මත් වෙයි මේ බරණැස් පුරවරේ
ගැ - නෙක රූ විසිතුරු දෑසම මන්මත් කෙරේ
තව දවසක් අපි නතර වෙමුද හිමියනේ
ගැ - සී මැදුරු කවුළු වලින් එබෙන කුමර කුමරියන්
අර බලන්න හිමියනි අප දෙස බලයි නෙත් අගින්
පි - ළය දැදුරු වේවි බඹදත් ලා එවන හී සරින්
නාටකේ මිසක් මෙහි නැත දිවි රකින සක් රජුන්
ගැ - ඔබ නොමැති ලොවක පල නැත මේ බහු රූ කෝළම්
තව පමා නොවී හිමියනි අපි සඳගිරටම යං
පි -ලියු ගී ගයන්න සොඳුරිය ඔබ රෑ එළිවෙන කල්
අපි එනතුරු මඟ බලාහිඳියි සඳත් අවදියෙන්
වසන්ත ඇහැළපිටිය
තයෝශි පුපුලවත්ත
ගේය පද - ඒ. ඩී. එස්. ඉන්ද්‍රාණි.
සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
‘මට දැන් මේ ජීවිතේ එපා වෙලා ඉන්නේ.‘
‘ඉතිං‘
‘මට හිතෙනවා කොහෙ හරි යන්න‘
‘කොහෙ යන්නද?‘
‘කොහෙ හරි‘
‘කොහෙ හරි කිව්වට බැහැනේ.... යන්නේ කොහෙද කියලා අරමුණක් තියෙන්න ඕනනේ‘
‘මට අරමුණු නැහැ‘
‘ඒ කියන්නේ‘
‘මට ජීවිතේ අරමුණක් නැහැ‘
‘ඇයි..?‘
‘ දුක් විදලා ඉගෙන ගත්තා...ඊට පස්සේ රස්සාවල් හෙව්වා...රස්සාවක් ලැබුණා...දැන් ගෙදරින් බඳින්න හොයනවා....“
‘ඉතිං‘
‘ඉතිං කියන්න එපා... මම කියනවා මම ගැන හිතාගෙන කෙනෙක් ඉන්නවා කියලා ගෙදරට...... එතකොට අම්මයි තාත්තයි ඔයාට එන්න කියයි ගෙදර...‘
‘ඒත් දැන්ම ගෙදරට කියලා කොහොමද?‘
‘ඇයි...?‘
‘ඇයි කියන්නේ... හරියට රස්සාවක් වත් නැති, තාම ගේවත් හරියට හදලා නැති මිනිහෙක්ට තමන්ගේ දුව දෙන්න ඒ අම්මා තාත්තා කැමති වෙයිද...?
ඔහුත් ඇයත් දෙදෙනාම නිහඬය... කාලය ගෙවිණි. අවසන ඒ නිහඬ බව ඔවුන් දෙපසකට කරන්නට සමත් විය.
‘එයා පවුලේ එකම ගැනු ළමයා. ඒ මිනිස්සු කැමති වෙයිද මං වගේ නිකමෙක්ට තමන්ගේ දුව දෙන්න. අනික අපි විවාහ වුණා නම් අපි අතර ප්‍රශ්න ඇතිවෙයි කියලා මට නිතරම හිතුණා. එයාට ඉවසීම පොඩ්ඩක් නෙමෙයි ගොඩක්ම අඩුයි. එත් මගේ හිත ගිය ගැනූ ළමයා එයා. අපි වෙන්වුණ දවසේ මම හිත හදාගන්න ගොඩක් මහන්සි වුණා. එයත් එහෙමයි. අවුරුද්දකට විතර පස්සේ එයා විවාහ වුණා. දැන් එයා ඉන්නේ විදෙස් රටක...අම්මා තාත්තාවත් බලාගෙන මම තවමත් අවිවාහකව ඉන්නවා. මගේ හිත එයා ගැන ආදරෙන් පිරිලා. එත් අපිට එක්වෙන්න බැරි වුණා. මං ඒ ගැන තැවෙන්නේ නැහැ. නමුත් හැම මොහොතකම එයා මගෙ හිතේ ඉන්නවා.
මැදි වියේ පසුවන මිත්‍රයා පවසන්නේ සුසුමක් හෙළමින්ය. ඒ දෑස් වල ඇත්තේ තෙතකි. ඒ සිය පෙම්වතිය වෙනුවෙන් නැගි කඳුළකි. ඒ සිද්ධිය සිහිපත් වුයේ ප්‍රේමයේ දිග පළල සොයන්න ගිය විටකය. එදා මෙදා ගීත සාහිතයේ අහුමුළු සොයමින් යන විටක අසන්නට ලැබෙන ගීතයක් මිතුරාගේ කතාව මතකයට ගෙනාවේය.
පෙම්වතුන් සොයන්නේ තනිවන්නටය. ඒ හිතේ ඇති දේ ඇති වනතුර කතා කරන්නටය. ආදරයෙන් බැදෙන්නටය. එය එසේ වුවද පෙම්වතුන්ට ඒ නිදහස කොයිතරම් දුරට ලැබේද? අප අද සිටින්නේ අති නවින ලෝකයකය. ඒ නවීන ලෝකයේ සිටියද නිර්මාණාත්මක ගී ලියන්නෝ නම් අඩුවක් නැතිව සිටි. ඒ අතරින් අපේ පැරණි සාහිත්‍ය කතාවල එන එක් එක් චරිත එකට ඈදා ගනිමින් ලියූ අපූරු ප්‍රේම ගීයකි මේ.
ගැ - “මැදුරු කවුළු වලින් එබෙන කුමර කුමරියන්
අර බලන්න හිමියනි අප දෙස බලයි නෙත් අගින්...
පි - ළය දැදුරු වේවි බඹදත් ලා එවන හී සරින්
නාටකේ මිසක් මෙහි නැත දිවි රකින සක් රජුන්...“
සඳ කිදුරු ජාතක කතාවේ එන සඳ කිඳුරිය හා සඳ කිඳුරා තේමා කරගනිමින් මට අලුත් විදිහට මේ කතාව කියන්නට ඕනෑ වුණා. ආදරයෙන් බැඳුණ දෙන්නෙකුට විවිධාකර බාධා එන්නට පුළුවන්. අද මේ සමාජය දිහා බැලුවාම අපට විවිධ අත්දැකිම් තියෙනවා. විවේක පාඩුවේ ඉන්න වෙලාවක මට හිතුණා සඳ කිඳුරු පෙම්පුවතත් ඇසුරු කරගෙන ඒ චරිත ඔස්සේ අදට ගැළපෙන පද පෙළක් ලියන්න ඕන කියලා. බෞද්ධ සාහිත්‍ය කියවිමෙන් අප දන්නවා බරණැස් පුරවරය බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් විසූ බව. ඒ රජ්ජුරුවන්ගේ හී සැරයක් තමයි එදවස කිඳුරාගේ දිවි තොර කරන්නේ. නමුත් මට කියන්නට ඕනෑ වුණේ ඒ යුගයටත් වඩා අද මේ සමාජයේ තිබෙන පරිහානිය. ජීවිතය සතුටින් සිටින්නට නම්, ප්‍රේමයෙන් වෙළුනු ඔවුන් සොයන්නේ නිදහස, සතුට. ප්‍රේමයෙන් බැඳුණු ඔවුන් සොයන්නේ නිදහස, හා ආරක්ෂාව. ඒ ආරක්ෂාව තියෙන බ්ම් කඩක් තමයි ඔවුන් සොයන්නේ. එවන් බිමක් සොයා යන ඔහු පවසන්නේ
“ලියු ගී ගයන්න සොඳුරිය ඔබ රෑ එළිවෙන කල්
අපි එනතුරු මඟ බලා හිඳියි සඳත් අවදියෙන්“ නම් යායුත්තේ සඳගිරි පව්වට බවයි.
මේ ගීතය මෙහෙම ලියැවුණත් මගෙ හිත මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. එවන් නිදහසක් තියෙන සඳගිරි පව්වක් අද කොහෙද තියෙන්නේ කියා. මේ පද පෙළ ලියා අවසානයේ මම එය දුන්නේ සොයුරු වසන්තට. ඔහුත් ගායිකා තයෝශිත් මේ පද වලට උපරිම සාධාරණය ඉටුකර තියෙනවා. එමෙන්ම සංගීත නිර්මාණය කරන්නේ අපේ ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන්. එහෙම කියන්නේ ගීපද රචක ඉන්ද්‍රාණිය.