‘අරගලය’ ආදරයෙන් මත් කළ හාදුව | සිළුමිණ

‘අරගලය’ ආදරයෙන් මත් කළ හාදුව

සමාජ මාධ්‍ය තුළ රසවත් ආහාරපාන සකසන්නෙකු ලෙස ප්‍රසිද්ධව සිටියද ඔහු ‘10-11-12 වැලිකඩ‘ සහ ‘විනිර්මුක්තිය‘ වැනි ආන්දොලනාත්මක පොත් ලියපු ලංකාවේ පත්තර ගණනාවක කටයුතු කළ මාධ්‍යවේදියෙකි. හේ නමින් කසුන් පුස්සෙවෙලය. අනෙක් තැනැත්තිය ඔහුගේ බිරිඳ මධුනි අලහකෝන්ය.

ආදරය කියන්නෙ ඕනම මොහොතක කොතන හරි ප්‍රකාශ වෙන්න පුළුවන් දේකට. ඒකට නිශ්චිත තැනක් ආදාළ ම නැහැ. ඇයි මං මෙහෙම කියන්නේ, පසුගිය13 වැනිදා අරගලය භූමියේ සක්‍රීයව කටයුතු කළ දෙදෙ‍ෙනකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරුවීමත් සමඟ බොහෝ දෙනකුගේ අවධානය ඒ වෙත යොමු වී තිබුණු නිසයි. එම ඡායාරූපයෙන් නිරූපණය වන්නේ යොවුන් වියේ පසුවන යුවළක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ මාලයට නැඟී දෙතොල් සිපගන්නා දර්ශනයක්. මේ ඡායාරූපය සමාජ මාධ්‍ය අවකාශයේ සංසරණය වීමත් සමඟ ඊට විශාල පිරිසකගේ ආදරණීය ප්‍රතිචාර ලැබී තිබුණා වගේම තවත් පිරිසකගේ ගැරහුමට ලක් වී තිබෙනු පෙනුණා. ඇතැමෙක් මෙය ‘අරගලය හෑල්ලු කළා’ වැනි, චෝදනාත් එල්ල කර තිබුණා.

මේ සිදු වීමත් සමඟ දෙතොල් සිපගන්නා යුවළ ගැන බොහෝදෙනකුගේ කුතුහලය ඇවිස්සී තිබුණා.

ඒ හාදුව යට තිබූ ‘සංවේදී කතාව’ ප්‍රතිභාපූර්ණ තරුණ රංගන ශිල්පිණියක වන සමනළි ෆොන්සේකා සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබුණා. .

 

ඒ ‘හාදුවේ අයිතිකාරයන්’ඇයට කියූ කතාවය.

 

“අපිත් ආසයි එහෙම දෙන්න. එහෙම නිදහසේ ජීවත් වෙන්න. රටක තොටක ඇවිදල එන්න. ඒත් කවුරුවත් අහන්නෙ නෑ උදේ 10.30 ඉඳන් කඳුළු ගෑස් කාල කාලා, තෙරපිලා ගිහින් අර සඳළුතලේ උඩ කළේ මොනවද කියල, ඒකෙත් වැට උඩ ඉඳන් සෙනග තෙරපෙද්දි ඔක්කොම shoot කරල photos අරගෙන කැමරා දෙකක්, බෑග් දෙකක් එක්ක අපි කොච්චර අමාරුවෙන්ද ඒක ගත්තෙ. ඒ අපේ මතකයට සහ අරගලය ගැන ඇස් දෙකෙන් දැක්ක මොකක්දෝ වෙනස් හැඟීමක් එක්ක. ඒ වගෙම දවල් 12 ට කඳුළු ගෑස් ගහන්න පටන් ගද්දි; මම වම් ගේට්ටු කණුවෙ, මධුනි දකුණු ගේට්ටු කණුවේ හිටියේ. එයා වීඩියෝස් ගන්නව; මම

පොටෝස් ගන්නව. මම දැක්ක එවෙලෙ දුම අස්සෙන් ඈ බිම වැටෙනවා. ඒත් හොයාගන්න බැරි වුණා. පැය දෙකකට පස්සෙ මධුනිව ආයෙ හොයාගත්තෙ. ඉතිං ඒ පොටෝ එක මම ෆේස්බුක් දැම්මෙත් ඒ වෙනස් හැඟීමට මිසක් වයිරල් කරගෙන ලෝකෙට පේන්න නෙමෙයි. ඇත්තටම අපි සමාජ මාධ්‍යය තුළ අපේ පොටෝස් නොදාපු තරම්. කොටින්ම ලේකම් කාර්යාලයෙ උඩටම ගිහින් 4K shoot කළේ අපි දෙන්නගේ ඉතිහාසයට කවද හරි ඒව ඕන වෙයි කියල.

ඇත්තටම ඉතිං මේක ජොලියට දාපු එකක්. මම දැක්ක ගොඩක් මිනිස්සු දාල තිබ්බා කිස් ගැන අරගලේ කක්කි කළා වගෙ කතා. එළිපිට අපිව මරන්න ඕන කියද්දි; 2011 ඉඳන් ගෝටට රනිල්ට නඩු දාන්; පත්තරේ ලියන්, පාරට බැහැල උද්ඝෝෂණ කරගෙන උන්ගෙ මිනීමැරුම් හෙළි කරන්, පොත් ලියමින් ඒ වගෙම මිරිහානෙ ඉඳන් අද වෙනකම් මෙහෙම කොහොමද ඉන්නේ අහන්න එකෙක් නෑ. කොටින්ම අතින් වියදම් කරගෙන තේ කෝප්ප 50,000කට එහා දුන්නා. කොච්චර නම් නිදි මැරුවද; .......“ ආදි වශයෙන්.

මේ කතා නායකයා මට හමුවන්නේ පුවත්පත් මහගෙදරදීය. එනම් ලේක්හවුස් හී දීය. සුන්දර හිනාවක් නිතරම මුව රඳවාගත් ඔහු මානවගුණයෙන් පිරි ආදරණීය හදවතක් ඇති උතුම් මනුස්සයෙකි. සමාජ මාධ්‍ය තුළ රසවත් ආහාරපාන සකසන්නෙකු ලෙස ප්‍රසිද්ධව සිටියද ඔහු ‘10-11-12 වැලිකඩ‘ සහ ‘විනිර්මුක්තිය‘ වැනි ආන්දොලනාත්මක පොත් ලියපු ලංකාවේ පත්තර ගණනාවක කටයුතු කළ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි. හේ නමින් කසුන් පුස්සෙවෙලය. අනෙක් තැනැත්තිය ඔහුගේ ප්‍රිය බිරිඳ මධුනි අලහකෝන්ය.

ඈ සිංහල සිනමාවේ පළමුවෙනි කැමරා අධ්‍යක්ෂවරියයි. අරගලය පටන් ගත් දා පටන් මේ දක්වා අව්වැසි කඳුළු ගැස් නොතකා සක්‍රීය අරගලගරුවන් ලෙස සිය දායකතවය ලබා දුන් ඔවුන් දෙපළ දහස් ගණන් අරගලකරුවන්ගේ කුසගිනි නිවන්නට තම උපරිම දායකත්වය ලබා දෙනු මා දෑසින්ම දුටුවෙමි. ඉතිං හැමදෙයක් දිහාම පේන දේට වඩා දෙයක් තියෙන බව පමණක් අපි යළිත් මතක් කරමු.

 

Comments