
කැමිලස් පෙරේරා හමුවූ නිසා මගේ ජීවිතයේ ගමන් මඟ හැඩවුණා
මීගමු පුරවරයේ ඉපිද චිත්‍ර කලාව තම ජීවිතයේ විනෝදාංශය බවට පත් කරගනිමින් කලාවට අත්පොත් තබන සුදර්ශන බියන්විල ගීපද රචකයෙකු, ලේඛකයකු, නිවේදකයෙකු, වැඩසටහන් නිෂ්පාදකයකු, හඬකවන්නෙකු, වෙළෙඳ දැන්වීම්, කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට නිර්මාණකරුවෙකු ලෙස කලා ක්ෂේත්‍රයේ සොඳුරු ගමනක් ආ පුද්ගලයෙක් ලෙස හැඳින්විය හැක.
“මම විශ්වාස කරන දෙයක් තමයි දෙවියන්ගෙන් පස්සෙ මේ ලෝකය නිර්මාණයකිරීම කරන්නෙ කලාකරුවා කියලා.
දෙවියන් වහන්සේ විසින් මේ ලෝකය සහ මිනිස්සුන්ව ඉතාම හොඳ විදිහට වගේම ශිෂ්ඨ විදිහට මවලා තියනවා. කලාකරුවා කරන්නෙත් ඒ දේමයි. නිර්මාණයක් කරද්දි මම හැමවෙල්ම අදහන තේමාවක් තියනවා. ඒ තමයි විශ්වයේ රිද්මය කලාවයි එයට පණදුන් ජීවිය අම්මා කියන තේමා පාඨය. මිනිසාගේ සතුට, පැවැත්ම වෙනුවෙන් අපි නිර්මාණය කරන රිද්මය තමයි කලාව කියලා කියන්නෙ.
මම මුලින්ම කලාවට පිවිසෙන්න චිත්‍ර ශිල්පියෙක් විදිහට. පාසල් යන කාලයේ සිට චිත්‍ර අදින්න මට පුදුම ආසාවක් තිබුණේ. මම පන්තියෙ අනිත් විෂය පිරිච්ඡේද පවා මඟ හැරලා චිත්‍ර අදින්න කාලය යොදාගත්තා. පසු කාලිනව මම චිත්‍රකතා නිර්මාණ කිරීමට යොමු වෙනවා. මම සිත්තර පත්තරයට චිත්‍රකතා නිර්මාණය කළා. පාසලෙන් ඉවත් වුණාට පසු දවසක් මට කොළඹදි කැමිලස් පෙරේරාව මුණ ගැසෙනවා. ඔහුගේ මාර්ගයෙන් මම ජනජය පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා බවට පත්වෙනවා. චිත්‍ර ඇඳිමට අමතරව මම ජනජය පුවත්පතේ ලේඛකයකු ලෙසත් කටයුතු කරනවා.“
පුවත්පතේ සේවය කරන අතරතුරම ඔහු දැන්වීම් කරණයට ද යොමුවෙනවා. ඒ අතරම ඔහු කලාවේ විවිධ ඉසව් ඔස්සේ යන්නට ද ඉඩපාදා ගන්නවා.
“90 දශකය ආරම්භවීමත් සමඟ සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් රටේ බිහිවෙනවා. ඒ කාලයේම මටත් ආසාවක් ඇතිවෙනවා සංගීත ක්ෂේත්‍රයට යොමුවෙන්න. එවකට ජනප්‍රිය සංගීත කණ්ඩායමකට සම්බන්ධවෙලා සංගීත වැඩකටයුතු කළා. ප්‍රසංගවල නිවේදන කටයුතු කරන අතරම මම ගීත කිහිපයක් ද රචනා කරනවා. නලීන් පෙරේරා, කුෂාණි සඳරේඛා, සඳරුවන් ජයසිංහ, උපේඛා නිර්මාණි, රහල් අල්විස් වැනි ගායන ශිල්පින්ට ගීත රචනා කර තිබෙනවා.
සංගීත ප්‍රසංගවලදි නිවේදන කටයුතු කරද්දි මට තේරුම් ගියා හොඳ කථන හැකියාවක් මට තියනවා කියලා. පසු කාලෙක ඒ හැකියාව නිසා මම සෙත් එෆ්. එම් ගුවන්විදුලි ආයතනයයේ නිවේදකයෙකු බවට පත්වෙනවා. විවිධ ආකාරයේ වෙනස් හඬවල් වලින් කතාකිරීමේ හැකියාව මම වැඩි දුරටත් පුහුණු වුණා. ඒ සමඟ මම සෙත් එෆ්. එම් නාළිකාවෙ වැඩසටහන් හඬකවන්නෙකු සහ වැඩසටහනක් නිෂ්පාදකයකු බවටද පත්වෙනවා.
සෙත් එෆ්. එම් ගුවන් විදුලි නාළිකාවේ ලබපු වසර දහයක අත්දැකීම් සමඟින් මම නාළිකාවෙන් ඉවත්වෙලා නිදහස් ජනමාධ්‍යවේදියෙක් බවට පත්වෙනවා. ඉන්පසුව මම දෙරණ ගුවන්විදුලි නාළිකාවෙ වැඩසටහන් හඬකවන්නෙකු, කතෝලික සභාවෙ ගුවන්විදුලි නාළිකාවෙ ඇතුළු තවත් මාධ්‍ය නාළිකා හතරක පමණ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් සහ හඬකැවීම් ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා.
මීට කලකට පෙර මම Bia production කියලා youtube නාළිකාවක් ආරම්භ කළා. මගේ අදහස් නිර්මාණශීලීව ජනතාව වෙතට ඉදිරිපත්කරන මාධ්‍යයක් වශයෙන් මම එය හැඳින්වීමට කැමතියි. එය මුදල් හම්බ කිරීමට හෝ ජනප්‍රිය වීම අරමුණු කරගෙන පවත්වගෙන යන්නක් නෙමෙයි.
ඊට අමතරව මේ වන විට මගේම නිෂ්පාදන ආයතනයක් පවත්වගෙන යනවා. එහි වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනය, වාර්තා චිත්‍රපට, කෙටි චිත්‍රපට ආදිය නිෂ්පාදනය කිරීම සිදු කරනවා.
මම හිතෙන්නෙ මේ විදිහට කාලෙන් කාලෙට විවිධ වෘත්තීන්ට සම්බන්ධ වෙමින් මම කරන්නෙ කලා ලෝකේ රස්තියාදුගහන එක කියලා. විවාහ නොවී කාගෙන්වත් බාධාවක් නැතිව තනිකඩව සිටීම නිසා රස්තියාදුවට මට ලැබෙන නිදහස විශාලයි.
කලා ක්ෂේත්‍රයේ විවිධ දේවල් අත්හදා බලමින් මම කරන මේ රස්තියාදුවෙන් මට තෘප්තියක් ලබා ගැනීමට වඩා මම අරමුණු කරගෙන ඉන්නෙ ජන - මනස අවධිකරලා ඔවුන්ට හොඳ දේ ලබා දෙමින් මනුස්සකම පිරි මනුස්සයෙක් ගොඩනැගීම කිව්වොත් හරි.
ලක්ෂාන් නිලංක