රටම දන්න සුපිරි රේඩියෝ ඩබල ගැන කියන ‘අරා‘ | සිළුමිණ

රටම දන්න සුපිරි රේඩියෝ ඩබල ගැන කියන ‘අරා‘

භාෂාවේ ප්‍රධානම අරමුණ හොඳින් සන්නිවේදනය කිරීම වෙන්න ඕන. පණිවිඩය හරියට යන්නෙ නැත්තම් භාෂාව කොච්චර ව්‍යක්ත වුණත්; සාහිත්‍ය අලංකාර තිබුණත් වැඩක් නැහැ.

අද බොහෝදෙනා අපව අනුකරණය කරනවා. එහි කිසිදු වරදක් නැහැ. ඕනම දෙයක් අනුකරණය කරල පටන්ගත්තට කමක් නැහැ. හැබැයි අනුකරණයට වඩා ඉදිරියට යන්න ඕන.

 

මේ වෙද්දි ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ ගැන අමුතුවෙන් ටීකා ටිප්පනි කියන්න ඕන නැහැ. ‘අරා පැස්බරා’ නැත්තම් ‘රටම දන්න සුපිරි රේඩියෝ ඩබල’ කිව්වම මුළු රටම දන්නවා. ටෙලිවිෂන් මහගෙදරින් පටන්ගෙන ගුවන්විදුලි මහගෙදරට පැමිණි අරවින්ද, ලක්හඬ, හිරු, ෂා සහ සියත එෆ්. එම් දක්වා ආපු ගමනේ දී අඛණ්ඩව වසර හතක් ‘වසරේ විශිෂ්ටතම ගුවන් විදුලි නිවේදක’ සම්මානය තම භුක්තියට නතුකර ගැනීමට සමත් වුණා.

 

කුඩා අවදියේම මුතුහර ළමා වැඩසටහන් වලට සහභාගි වී ඒ තිබුණු ආශාවත් එක්ක විවිධ කඩඉම් පසුකර පැමිණි ගමන තමයි ඔහු මේ තැනට ඔසවා තබා ඇත්තේ. ඔහුගේ වචන වලින් ම කිව්වොත් “ආශාව නිසා මං මේ ගමන ආව මිසක්, මේක වෘත්තිය කරගන්න ආපු ගමණක් නෙමෙයි. මගේ වෘත්තිමය සුදුසු කම් තියෙන්නේ කෘෂිකර්ම විද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. මේ ගමන ආශාවෙන් ආපු නිසා අහම්ඹෙන් මෙය මගේ රැකියාව වුණා.”

ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහන වූ ‘අරා පැස්බරා’ කියන වැඩසටහනට නම වැටී ඇත්තේ හරි අපූරු ආකාරයටය. අරවින්ද ඒ ගැන කියන්නේ මෙවැන්නකි.“ ‘අරා’ කියන්නේ පොඩි කාලේ ඉඳලා මිනිස්සු මාව හඳුන්වපු නම. මම මේ ක්ෂේත්‍රය තුළ වැඩකරන කාලෙත් අඩු වැඩි වශයෙන් හැමෝම මාව හැඳින්වුවෙත් ඒ නමින්මයි. හැමෝම ලේසියට අරා වෙච්ච අරවින්ද රේඩියෝ ඒක ඇතුළෙත් ‘අරා’ ලෙස නාමකරණය වුණා. 1998 දී හිරු එකට සම්බන්ධ වෙච්ච අලුත තාවකාලික කොන්ත්‍රාත්තුවක් යටතේ නිදහස් මාධ්‍යවේදියකු විදියට වැඩ කරන කාලේ මාව විවිධ විවිධ වැඩසටහන්වලට දැම්මා. එවක වැඩසටහන් කළමනාකාරිනිය ලෙස කටයුතු කළේ තමාලි පීරිස්. මායි දිස්නා මුණසිංහයි ‘අරා පැස්බරා’ කොන්සෙප්ට් එක පටන් ගත්තේ 2005 දි විතර . මේ ප්‍රෝග්රූම් එක පටන් ගද්දි ‘අරා දිස්නා’ කිව්වම පොඩි නොගැලපෙන හැඟීමක් තිබුණා. ඒවෙලාවේ නමක් එකපාරටම ඔළුවට ආවෙ නැහැ. මං කිව්වා දැනට ඔයාට පැස්බරා කියලා දාන්නම් කියලා. දිස්නා කියනවා “අනේ සර් එහෙම කරන්න එපා කියලා“. මං කිව්වා “මේ වෙලාවේ දිස්නා කියන නමට මට මුකුත් ඔළුවට එන්නෙ නැහැ....අනික මේක ටිකක් වෙනස් විදියේ වැඩසටහනක් නේ... අවුලක් නැතිවෙයි...පස්සේ හිමින් නමක් දාගමු....ඒතකං ඔහොම යමු“ කියලා. ‘අරා පැස්බරා’ මට හොඳයි කියලා. ඊට පස්සේ මං නිශේධ බලය පාවිච්චි කරලා වැඩේ පටන් ගත්තා. පටං අරන් ටික දවසක් යද්දි ‘අරා පැස්බරා’ කියන නම මිනිස්සු අතරට ජනප්‍රිය වුණා. පස්සේ මං දිස්නගෙන් කතා කරල නම වෙනස් කරමු ද ඇහුව්වා. “අනේ අරවින්ද අයියේ මේ නම නම් මාරු කරන්න එපා මිනිස්සු හැමෝම දන්නේ මේ නම මේක නම් මාරු කරන්න එපා.. මේක මට හොඳයි“ කියලා. පස්සේ ‘අරා පැස්බරා’, ‘ඩී. ජේ අරා පැස්බරා’ ආදී නම්වලින් මිනිස්සු අතර ජනප්‍රිය වුණා.

අරා පැස්බරා කියන වැඩසටහනේ ව්‍යාපාරික අරමුණ වුණේ වැඩි මිනිසුන් ප්‍රමාණයක් අහන වැඩසටහනක් බවට පත් කරගැනීමයි. මේ වැඩසටහනනේ ආකෘතිය හදාගනිද්දි පොත් සඟරා නිව්ස් කියවනකොට මට හිතිච්ච දෙයක් තමයි; මේක ගොඩක් ප්‍රායෝගික භාෂාව ළං වුණා නම් ඕනම අමාරු දෙයක් මිනිස්සු කැමැත්තෙන් අහං ඉන්නවා කියන කාරණය. සමහර පත්තරවල ප්‍රවෘත්ති ඇතුළේ ඒ අය පාවිච්චි කරන ව්‍යක්ත ඉංග්‍රීසි මිනිස්සුන්ට ළඟ නැහැ. නමුත් මෑත කාලේ ආපු ඉංග්‍රීසි පත්තරවල භාෂාව මිනිස්සුන්ට ගොඩක් ළඟයි. ඉංග්‍රීසි ටිකක් දන්න මිනිහෙකුට වුණත් ගැට ගහල තේරුම්ගන්න පුළුවන්. දෙයක් භාෂාවේ ප්‍රධානම අරමුණ හොඳින් සන්නිවේදනය කිරීම වෙන්න ඕන. පණිවිඩය හරියට යන්නෙ නැත්තම් භාෂාව කොච්චර ව්‍යක්ත වුණත්; සාහිත්‍ය අලංකාර තිබුණත් වැඩක් නැහැ. අද වචන ප්‍රකෝටි ගාණක් තියෙනවා. මේ විදියට වචන වැඩිවෙන්නේ වඩා පහසුවෙන් සන්නිවේදනය කරන්න; වඩා හොඳින් තේරුම් යන ආකාරයට අදහස ප්‍රකාශ කරන්නන; මට ඕන වුණේ සන්නිවේදනය ඇතුළෙ තියෙන මේ පරතරය නැති කරල දාන්නයි.

මිනිස්සුන්ට ලෝකේ තියෙ අතිශය අමාරු විෂය වුණත් හරි සරලව අපි ගෙවල්වල කතා කරනව වගේ, යාළුවො එක්ක කතා කරනව වගේ, පොඩි කයියක් ඇතුළේ සන්නිවේදනය කරන්න. අපි සාමාන්‍ය කතාබහක් විදියට මේ වැඩසටහන පවත්වාගෙන යන්න තීරණය කළේ ඒ නිසයි.

මේ වැඩසටහන නිර්මාණය කරද්දි මං ආභාසයන් ගත්ත තැන් තියෙනවා. මගේ විෂය රේඩියෝ වුණාට මේ වැඩසටහනට මං ගොඩක් අදහස් ගත්තේ ටීවී ෂොස් වලින්. හෙලන්, ලැරීකින් වගේ අයගේ වැඩසටහන්වලින්. විශේෂයෙන්ම කොස්ටැන්ෂෝ, ජේ. ලෙනෝ ගේ වැඩසටහන් බලද්දී මාව කුළුගැන් වුණා. ඒ අභාසයන් තුළින් තමයි මගේ වැඩසටහන හැදෙන්නේ. ඒක එක දවසින් පොලිස් කරල ඉවර කරපු එකක් නෙමෙයි. මං කප කප බලනවා මටත් විශ්වාසයක් නැහැ ෆයිනල් හැඩය කොහොම වෙන්න ඕනද කියලා. මං මේකත් එක්ක අත්හදා බැලීම් කළා. අදත් කරනවා. එහෙම නොකළොත් මෙය මෙතනින් නතර වෙනවා. නැවුම්බවක් දැනෙන්නේ නැතුව යනවා.

අද බොහෝදෙනා අපව අනුකරණය කරනවා. එහි කිසිදු වරදක් නැහැ. අපි පුංචි කාලේ ඉඳලා කතා කරන හැටි, කන බොන හැටි අඳින පලඳින විදිය පවා අනුකරණයෙන් ගේන දෙයක්. ඕනම දෙයක් අනුකරණය කරල පටන්ගත්තට කමක් නැහැ. හැබැයි අනුකරණයට වඩා ඉදිරියට යන්න ඕන. ඒකට හැමදාම කප කප පොලිස් කරන්න ඕන. එතකොට හැමදාම ඉවර නොකළ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒක හැමදාම වෙනස් වෙනවා. හැමදාම පොලිස් වෙනවා. ඒනිසා අනුකරණය නරක නැහැ. නමුත් ඒකෙම ඉන්ඩ හොඳ නැහැ.

අනුකරණය තුළින් ස්ටාර්ට් එක අරගෙන ඒක හැමවෙලෙම ඔපමට්ටම් කරලා ඒකට තමන්ගේ ටැලන්ට් එක එකතු කරන්න ඕන. මේක පෙරලළන ගලේ පාසි නොබැඳේ වගේ යන්න ඕන ගමනක්. නතර වීමක් නැහැ. නතර වුණු ගමන් පහුකරන් යනවා. ලෝකේ එච්චරට වේගවත්. අනික් අය අපිව අනුකරණය කළාට කමක් නැහැ. අපි වගේම වෙන්න හැදුවත් කමක් නැහැ. හැබැයි අපි කරන දේම කරල ගොඩයාගන්න බැරිවෙයි. මොකද ඒ හැඩය හැදෙන්නෙ තමන්ගේ හැකියාවන් එක්ක. මං කරන විදියට තවකවුරු හරි කරන්න යනව නම් ඒක විශාල මහන්සියක්. මම නොවන දෙයක් මම කරන්න යනවා. එතකොට කන්සෙප්ට් එක මඟදි ෆේල්වෙනවා. ඒකට තමන්ගෙ හැඩය තමන්ගෙ පාට තමන්ගෙ විදිය ඒකට දෙන්න ඕන. එතකොට තමයි තමන්ගෙ දරුවෙක් වෙන්නේ. නැත්තම් අනුන්ගේ දරුවො හැදුව වගේ වෙනවා කවදාවත් අයිති කරගන්න බැහැ. අපෙත් අනිත් අයත් අතර තියෙන වෙනස එයයි.

 

Comments