මේ සඳ මධු සඳ වී පායා ඇයි අහසට ආවේ | සිළුමිණ

මේ සඳ මධු සඳ වී පායා ඇයි අහසට ආවේ

මේ සඳ මධු සඳ වී පායා

ඇයි අහසට ආවේ

නෙත නිදි නොලබා සුසුම් හෙළන රෑ

ඉකි බිඳින හැඬුම් අඳුරේ සඟවා

හිත රිදවන්නද ආයේ...

 

ආ ගිය මඟ තොට යළි හමුවෙද්දි

සෙවණැලි පැටලී හිත තනිවෙද්දි

එදත් අද වගේ පෙම් දම් සිහිකර

රැයට සුබ පතා ඔබ අහසේ දිලුනා

මධු සඳ වී පායා...

 

ඔබ අත මා අත ගිලිහී යද්දි

නිදි නැති යහනේ සුසුම් හෙළද්දි

මැදියම් යාමෙත් මා නිදි නැති වග

මේ සඳ රැල්ලෙම යළි සිතුවම් වේවා

ඒ මතකයෙ සේයා...

 

ගායනය - දිස්නා අතපත්තු

ගී පද - දයානන්ද රත්නායක

සංගීතය - නාලක අංජන කුමාර

 

වසර ගණනක් තිස්සේ උදේ හවස හමු වුණ අපි හොඳ යාළුවෝ. ඒ වුණත් නොසීතු විදිහට අපි හුඟක් ළංවුණා පහුගිය දවස් වල. හිතා ගන්න බැහැ ඇයි එහෙම වුණේ කියලා. අපි අපි ගැන ගැඹුරින් කතා කරන්නට පටන් අරගෙන වැඩි දවසක් නැහැ. ඒ කෙටි කාලය තුළ මට මංගැන ආයේ ආයේ හිතන්න ඕන වුණා. අපි දෙන්නටම වෙනම ජීවිත තියෙනවා. ඒ වුණත් අපේ හිත් අපි ගැන හිතන එක නතර වෙලා නැහැ.

එයාගෙන් ඈත් වෙන්න මට මහ ලෝභකමක් දැනෙනවා. එයාටත් මං ගැන එහෙමයි කියලා දැනෙනවා. එයත් මාත් අතර ඒ තිබුණ බැඳිම පුදුමාකාර එකක්. මම ජීවත් වෙනවා කියලා මට දැනෙන් ගත්තා. මම දැනගෙන හිටියේ නැහැ මගේ හිත මේ තරම් ඔහුට ආදරෙයි කියලා. ජීවිතේ මොනතරම් ප්‍රශ්න තිබුණත් , බාධක තිබුණත් එයා මගෙ ළඟ හිටියා. එත් ඉතාම කෙටි කාලයකදි ඒ ආදරේ හිතෙන් ඈත් වෙලා යයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. දැන් එයා බොහෝම නිහඬයි. දැකපු දවසක් මතක නැහැ. කතා කරළාට කතා කරන්නේ නැහැ. දුරකථන ඇමතුමක් දුන්නාම ඒකටවත් හරි හමන් උත්තරයක් නැහැ.ඔහ ගැන ආදරයෙන් පිරිලා තිබුණ හිත දැන් දුකෙන් පිරිලා. මට නිතරම එයාව මතක් වෙනවා. ඇයි මෙහෙම වුණේ? මගෙ හිත මගෙන්ම ප්‍රශ්න කරනවා.“ දෑසේ කඳුළු පුරවාගෙන මා මිතුරිය පවසන්නට වූයේ ඇගේ සිත ළඟ නතර වී හිත සනසා ගිය ආදරය ගැනය.

ඇගේ කතාව සිහිපත් වුයේ,

“මේ සඳ මධු සඳ වී පායා

ඇයි අහසට ආවේ

නෙත නිදි නොලබා සුසුම් හෙළන රෑ

ඉකි බිඳින හැඬුම් අඳුරේ සඟවා

හිත රිදවන්නද ආයේ...“

ගීතය පිළිබඳ ආගිය කතා කතා කරන විටය.

රිදුණු හිත් සුවපත් කරන්නත්, බිඳුණු හිත් හදන්නත්, බැඳුණු හිත් තව තවත් බැඳී තියෙන්නත් මිහිරිම වචන වලට පුළුවන්. එහෙම මිහිරි වචන භාවිතා කරලා එදා මෙදාතුර ලියැවුණ ගීත බොහෝමයක් අපේ ගීත සාහිත්‍යයේ තියෙනවා. එවන් ගීත පිළිබඳසෙවුම් බැලුම් කරන වෙලාවක හමු වූ ගීයති මේ. ගීතය ගයන්නේ ප්‍රවීණ ගායිකා දිස්නා අතපත්තු ය. සංගීත ශිල්පියා වන්නේ ප්‍රවීණ සංගීතවේදී නාලක අංජන කුමාරය. මේ ගීතයේ පද රචකයා වන්නේ දයානන්ද රත්නායකයන්ය. වෘත්තියෙන් නීතිඥයකු වන ඔහු විසින් මේ ගීතය ලියන්නට ද විශේෂ හේතුවක් ඇතැයි අපට සිතෙන්නේ ගීතයේ පද විමසන විටය. ඒ පිළිබඳ විමසන විට ගී පද රචක දයාන්නද රත්නායකයන් පැවැසුවේ මෙවන් කතාවකි.

“ මට මේ ගීතය ලියැවුණේ 2017 අවුරුද්දේ. නමුත් මේ සඳහා පාදක වූ කතාව 2007 හෝ 2008 වසරේ මට අහන්නට ලැබුණු කතාවක්. වෘත්තීය නීතියඥයෙක් ලෙස කටයුතු කරන මට දවසක් මගෙ මිත්‍රයෙක් කිව්වා එයා දන්න දෙන්නෙකුට උපදෙස් දෙන්න කියලා. දවසක් ඇයත් ඔහුත් ආවා මා හමුවන්නට. මා හමුවන්නට ආ මේ පෙම්වත් යුවළ ආදරයෙන් බැදි වසර ගණනක් ඒ ආදරය සමඟ ජීවත් වන දෙන්නෙක්. ඔවුන් දෙදෙනාම විවාහකයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා තිබු ඔවුන් හමු වී තිබුණේ අහම්බෙන්. රාජකාරි කතාබහකට දුන් දුර ඇමතුමකින් හඳුනාගත් ඔවුන් ගේ ඇසුර දුර දිග යාමෙන් ඒ සම්බන්ධය ඇති වී තිබුණේ. ඔවුන්ගේ ඇසුර වසර කිහිපයක් තිස්සේ පැවැති එකක්. ඒ වන විට කාන්තාවගේ නිවෙසට මේ සම්බන්ධය ගැන ආරංචි වී තිබුණා. මේ දෙන්නා අතර තද ප්‍රේමණීය බැඳිමක් තිබුණා. ඔවුන් හරිම ආදරණීයයි. දෙදෙනාටම දෙදෙනාටම දරුවෝ ඉන්නවා. මේ ප්‍රශ්නය ඔවුන් මා සමඟ කිව්වා. මම ඔවුන්ට විසඳුම් මාර්ග දෙකක් දුන්නා. එක්කෝ දෙදෙනාම නිතී මාර්ගයෙන් සිවිල් නඩුවක් ෆයිල් කරන්න කියා. ඉන් පසු ඒ දෙන්නාට විවාහවන්නට කියා. එහෙම නැත්තනම් මේ සිද්ධිය අමතක කරන්නට කියා. අපි බොහෝ දේ කතා කළා. අවසානයේ ඔවුන් වෙන්ව ගියා. ඉන් සති කිහිපයකට පසු මට දැන ගන්නට ලැබුණා තමන් ගේ දරුවන්ගේ අනාගතය ගැන සිතා ඔවුන් දෙදෙනා වෙන් වන්නට තීරණය කළ බව. මේ සිද්ධිය මගේ හිතේ තිබුණා. එය කාලයක් ගිහිල්ලා ගීතයක් ලෙස ලියැවුණේ. මම මේ ගීතයට ගැළපෙන සුදුසු කටහඬක් සොයමින් ඉන්න විට තමයි ගායන ශිල්පී දිස්නා අතපත්තු සොයුරියගේ කටහඬ හොඳයි කියලා දැනුණේ. ඇත්තටම ඇගේ හඬ මගේ වචන වලට හොඳින්ම ගැළපුණා. නාලක අංජන කුමාරගේ සංගීතයත් මහත් මෙහෙවරක් කළා මේ ගීතයට.

හිමිකම් කියන්නට බැරි ප්‍රේමකතා ඕනෑ තරම්ය. ප්‍රේමය වෙනුවෙන් ජීවිත වනසා ගන්නා සමාජයක අවබෝධයෙන් යුතුව හැඟිම් වලට නොව බුද්ධියට ඉඩදී කටයුතු කළ විට වියහැකි අවදානම වළක්වා ගත හැකිය. මේ එවන් ප්‍රේමයක මිහිරියාවකි. රිඳුණු සිත සනසා ගන්නට දරන සියුම් තැතකි.

Comments