මං හිතුවා මගේ මූහුණට මිනිස්සු කැමතිද කියල | Page 2 | සිළුමිණ

මං හිතුවා මගේ මූහුණට මිනිස්සු කැමතිද කියල

ලොව පුරාම ප්‍රචලිත කරන්න පුළුවන් නර්තන ආයතනයක් පටන් ගන්න තමයි මගේ හීනය.

සුවහසක් ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගේ ආදරයට පාත්‍ර වූ ඉන්දියානු මෙගා ටෙලි නාට්‍යයක් වූ “ඉම්ලි“ ටෙලි නාට්‍යය සිරස නාළිකාව ඔස්සේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ද රසවිඳීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

 

ගමක හැදී වැඩුණු දඟකාර, දඩබ්බර තරුණියක වටා ගෙතුණු මෙම කතා මාලාවේ එම දඟකාරියගේ චරිතයට පණ පොවන නිළිය ගැන දැන් බොහෝ දෙනා කතා කරන්නට පටන් අරන්.

ඉන්දියානු රූපවාහිනී තිරයේ “නව තරුව“ ලෙස ජනාදරයට පත්ව ඇති ඇය, සුම්බුල් ටුකීර් චාන්ය.

දවසින් දවස ඉන්දියානු නිළි ලයිස්තුවට එකතු වන නවක නිළියන් අතරින් ඇයට මේ වන විට සුවිශේෂී ස්ථානයක් හිමි වී තිබෙනවා.

2003 නොවැම්බර් 15 වන දින උපන් ඇය මේ වන විට 18 වැනි විය පසුකරමින් සිටින භද්‍ර යෞවනියකි.

දින දින ජනප්‍රියත්වයට පත් වන ඇයට, බොහෝ දෙනෙකු ආදරයට කතා කරන්නේ “ගුන්ගුන්” කියායි.

රූපවාහිනී නර්තන අධ්‍යක්ෂවරයකු වන ඇගේ පියා, ටුකීර් හසන් චාන්ය.

කුඩා කලම මව අහිමි වූ ඇයට එක් සොහොයුරියක් සිටියි.

ජෝදා අක්බාර් නම් ඉන්දියානු චිත්‍රපටයේ අනුපිටපතක් ලෙස ප්‍රතිනිර්මාණය වූ “නයිස් ඔෆ් අක්බාර්“ ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් සුම්බුල් රංගන දිවිය ආරම්භ කළාය.

2019 වසරේ හොඳම චිත්‍රපටය ලෙස නම් වූ ‘ආටිකල් 15‘ (Article 15) චිත්‍රපටයේ සහය චරිතයක් රඟපෑමෙන් ඇය ඉක්මනින් ජනප්‍රිය වන්නට පටන් ගත්තාය.

ඉන්පසු 2020 දී මෙම “ඉම්ලි“ ටෙලි වෘත්තාන්තයේ ප්‍රධාන චරිතය රඟපෑමෙන් ඇය මේ වන විට, ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටී.

ඉම්ලි චරිතය ගැන මොකද හිතෙන්නේ කියලා ඇසූ විට ඇය පවසන්නේ මෙවන් අදහසක්.

“මම ඇත්තටම නිළියක් වෙන්න හිතාගෙන හිටියේ නෑ. මම නිතරම හිතුවේ නර්තන ශිල්පිනියක් වෙන්න. ලොව පුරාම ප්‍රචලිත කරන්න පුළුවන් නර්තන ආයතනයක් පටන් ගන්න තමයි මගේ හීනය තිබුණේ. ඒ වුණත් අන්තිමට මං නිළියක් වුණා. ඉම්ලි ගැන කියනවනං, මට මේකෙ රඟපාන්න ලැබුණේ අනපේක්ෂිත විදිහට. ඒක වචනවලින් කියන්න මට බෑ.

රඟපාන්න කලින් මං හිතුවා මගේ මූණට මිනිස්සු කැමති වෙයිද කියලා. ඒ සැකය නිසාම මං මේ රංගනයට හදවතින්ම කැපවුණා.

පළමු සති කීපයෙදීම ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරවලිනුයි, ඉහළ ශ්‍රේණිගත කිරීම් වලිනුයි මට පුදුම සතුටක් ඇති වුණා.

ඇත්තටම මට මගේ පෙනුම ගැන ‘පට්ටම ආතල්‘ එකක් දැනුණා.

ඇයට මේ වන විට ලැබී තිබෙන ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ඇය ඉතාමත් සතුටින් කතා කරන ගමන්ම ඇගේ පියා ළඟ නැති එක ගැන ඇය දුක් වෙනවා.

“කොරෝනා කාලෙ රූගත කිරීම් වලට ගිහින් ඉන්න කොට ගෙදර එන්න ලැබුණෙ නැහැ. සංචරණ සීමා පනවලා තිබුණ නිසා. ඉතිං මට තාත්තා ළඟ ඉන්න බැරි වුණා. මට ඒක ගැන ගොඩක් දුකයි. මං ඇත්තටම තාත්තට ගොඩක් සමීපයි.“ එලෙසම 2001 දී ඇගේ වයස 18 සම්පූර්ණ වී නොතිබුණ නිසා කොවිඩ් එන්නත් ලබා ගැනීමට නොහැකි වීම ගැන ඇය පසුතැවිල්ලෙන් සහ බියෙන් පසු වූ බවයි සඳහන් වන්නේ.

“ටෙලි නාට්‍යයේ වැඩ කරන හැමෝම එන්නත අරගෙන, මට 18 වෙලා නැති නිසා මං එන්නත අරන් නෑ. මං ඒක නිසා හරිම පරිස්සමිනුයි, සෙට් එකේ වැඩ කරේ. 2022 දී මට 18 සම්පූර්ණ වෙනවා. එතකොට මට එන්නත ලබා ගෙන ආරක්ෂා වෙන්න පුළුවන්.”

ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මෙතරම් ජනප්‍රියත්වයක් අත්වීම පිළිබඳව සම්බුල්ගේ හිතේ තිබෙන්නේ නිහතමානී ආඩම්බරයකි. ඉදිරියේදීත් ඇගේ දක්ෂතා පිරි රංගනයන් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවෙනු ඇත.

 

Comments