චීනා රෙජිස්ටර් වෙලා ඉවරයි | Page 4 | සිළුමිණ

චීනා රෙජිස්ටර් වෙලා ඉවරයි

පාර වසා ඇත ටෙලිනාට්‍යයෙන් තමයි මාව ප්‍රේක්ෂකයන් අඳුර ගත්තෙ

 

චීනා කියන්නෙ මේ දවස්වල පාර වසා ඇත ටෙලිනාට්‍ය සමඟ කාගෙත් සිත් ගත්තෙකි. ඒ චීනාට පණ පොවන්නෙ ජනක කල්තොට රංගන ශිල්පියා. මීනු, ගගන පියවර ටෙලිනාට්‍ය තුළින්ද ඔබේ ආලින්දයට ඔහු පැමිණේ.

 

මේ දවස්වල ?

මේ දවස්වල නම් ඉතින් කියලා වැඩක් නෑ. හිතා ගන්න බෑ. කලාව නවත්තනවද, කලාව එක්ක දිගටම යනවද කියලා අතරමං වෙලා ඉන්නෙ.

 

ඔබ මේ රංගනයට පිවිසෙන්න කොහොමද?

මගේ පළවෙනි නාට්‍ය ‘ඔබ නිසා‘. සිරස රූපවාහිනියේ විකාශය වුණේ. 2019 අන්තිම තමයි මම රංගනයට පිවිසෙන්නේ. මම සීදුව සකුරා කණ්ඩායමේ අවුරුදු විස්සක් නිත්‍ය ඔක්ටපෑඩ් ශිල්පියා. ඒ අතරතුර පාස්කු ප්‍රහාරය එනවා. ඒකට show නතර වෙලා 2019 අප්‍රේල් වලින් පස්සෙ ගෙදර හිටියා. ඒ ඉන්න අතරතුර ඉසුරු ලොකුහෙට්ටිගේ රංගන ශිල්පියා මගේ දක්ෂතා දැකලා මට හඳුන්වලා දුන්නා රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂවරයාව. පස්සෙ මම රංගනය ඉගෙන ගන්නත් ගියා සුරංග ලක්මාල් සෙනවිරත්ත මගේ ගුරුතුමා. අපේ tv academy එකට. ඉතින් ඒ ගමන දිගටම ආවා.

 

පාර වසා ඇත ටෙලිනාට්‍යයේ චීනාගෙ චරිතය ගැන කිව්වොත්?

ධනංජය මංචනායක තමයි මාව සිවගුරුනාදන් මහත්තයා ගාවට යොමු කරන්නෙ. මාව ඉස්සෙල්ලාම සාමාන්‍ය චරිතයකට තමයි ගන්නෙ. නමුත් දවස ගානේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක තමයි ඒ චරිතය develop වුණේ. ඊට පස්සෙ තනිකරම මගේ පැත්තට වැඩේ හැරුණා. වැඩේ හැරුණා කියන්නෙ බිමල් අයියා, ජයනි අක්කා, සාරංග ඒ හැරුණු කොට මාත් අර පොඩි චරිතෙන් ආවට නිතර නිතර ඒ අය එක්ක දකින්න හිටියා. ඒක වටිනවා. ඇත්තටම කියනවා නම් පාර වසා ඇත ටෙලිනාට්‍යයෙන් තමයි මාව ප්‍රේක්ෂකයා අඳුර ගත්තෙ.

 

චීනට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

කෙටියෙන්ම කියනව නම් මේ දවස්වල මගේ තිරගත වෙනවා ස්වාධීන රූපවාහිනියේ ටෙලිනාට්‍ය දෙකක්. ඒ හැම නාට්‍යකම මගේ කොටස එකක් ගියාම පහළින් තියෙන ප්‍රතිචාර වල තියෙන්නෙ චීනා කියලා.

දැන් මොන වැඩේ කළත් චීනා කියන නමට රෙජිස්ටර් වෙලා ඉවරයි.

 

මේ දිනවල විකාශය වන වෙනත් ටෙලිනාට්‍ය මොනවද?

ස්වාධින රූපවාහිනියේ ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. මිනු ටෙලිනාට්‍යයේ මම වෛද්‍යවරයෙක්ගෙ චරිතයක් නිරූපණය කරන්නෙ. ගගන පියවර නාට්‍යයේ මම මත්පැන් විකුණන කෙනෙක්ගෙ චරිතයක් තමයි කරන්නෙ. ඒ අමතරව සුනේත්‍රා ඩයස්ගේ කෙටි චිත්‍රපට පෝය නට්‍යවලට මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකෙ චරිත තුනක් විතර කරලා තියෙනවා.

 

සීදුව සකුරා කණ්ඩායමේ වැඩකටයුතු කොහොමද?

මම සීදුව සකුරා සංගීත කණ්ඩායමට එකතු වුණේ 2002 මාර්තු විසිපස් වෙනිදා. අජිත් විතානගේ ප්‍රමුඛ කණ්ඩායම. අවුරුදු විස්සක් එහි නිත්‍ය ඔක්තපෑඩ් වාදකයා. ඒ අතරතුරදි මට ආවා ටෙලිනාට්‍ය කර්මෂල් එහෙම. ඒවා කරන්න වුණේ නැහැ. ඒ කාලේ ප්‍රසංග දිගටම තිබුණ නිසා නාට්‍ය වලට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. නමුත් පාස්කු ප්‍රහාරයත් එක්ක ගෙදරට වී ඉන්නකොට ඉසුරු තමයි මාව රංගනයට යොමු කළේ. මම තවම සංගීතයට සමුදීලා නෑ.

 

රංගනයට ප්‍රවිෂ්ට වීමත් සමඟ ඔබට ආ අභියෝග මොනවද?

මම අවුරුදු 20 ක් පුරා සකුරා සංගීත කණ්ඩායමත් එක්ක රට රටවල් වල සංචාරය කරලා ඒ දැකලා තියෙන ප්‍රතිචාර වලට වඩා මේ රංගනයත් එක්ක ලැබෙන ප්‍රතිචාරය වැඩියි. හැබැයි මම රංගනයට ඒමත් එක්ක බොහෝ අභියෝග එනවා. බෝම්බ ප්‍රහාරය, කොවිඩ් වසංගතය, රටේ දේශපානය තත්ත්වය. මේ දේවල් එක්ක මම තාමත් හිතා ගන්න බැරිව ඉන්නේ රංගනයෙන් ඉස්සරහට යනවද, එහෙම නැත්නම් විදෙස් ගත වෙනවද කියලා. මම පොඩි කාලෙ ඉදලා නැටුම් කළා. බෙර වාදනය කළා. තාල තරංග භාණ්ඩ ඔක්කොම සෙල්ලම් කරන්න පුළුවන්. ගෙවුණ කාලේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. මට ඇත්තටම මේ තමයි හොඳම කාලෙ. ඒත් මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මං අතරමං වෙලා ඉන්නෙ.

 

කලාවට අමතරව ඔබ මොකද කරන්නෙ?

මම ආසයි ඇඳුම් වලට. එක එක විලාසිතා ඇඳුම්. රඟපාන අතරතුර ඇඳුම් ව්‍යාපාරයකුත් පොඩියට කරගෙන යනවා. ඒ කියන්නෙ factory වලින් ඇඳුම් අරන් online service එකක් කරගෙන යනවා පොඩියට.

 

ඔබේ පවුලෙ තොරතුරු කොහොමද ?

මගේ පවුල ගැන කිව්වොත් අම්මයි තාත්තයි ඉන්නවා. මමයි අයියයි නිවුන්නු. තව නංගි මල්ලියි ඉන්නවා. එයාල දෙන්නත් නිවුන්නු. අපේ ගෙදර නිවුන්නු ජෝඩු දෙකයි. මගේ බිරිඳයි දරුවො දෙන්නයි ඉන්නවා.

 

අනාගත බලාපොරොත්තු මොනවද ?

ඔබ එක්ක මේ කතා කරන මොහොතෙත් මගේ බලාපොරොත්තුව ලංකාවෙ හොඳ චරිතාංග නළුවෙක් වෙන්න තමයි. හැබැයි ඒකෙන් මගේ දරු පවුල රැකෙන්න සහ ජීවත් වෙන්න මාර්ගයක් සැලසෙනවා නම් පමණයි. නමුත් මගේ සිහිනය ඇත්තටම දක්ෂ චරිතාංග නළුවෙක් වෙන්න තමයි. වෙන මුකුත්ම නෙමෙයි.

Comments