
පාර දිගේ ආන්‍යා චරිතය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ආන්‍යා නිසා තමයි මට හැමදේම ලැබුණේ. ඒ නිසා ආන්‍යාට මම ගොඩක් ආදරෙයි.
සැබවින්ම සුන්දර යුවතියක් වුණු දේශානි නෙහාරා, පාර දිගේ කතාවේ ආන්‍යා ලෙසිනුයි ප්‍රේක්ෂකයින් අතරට මුලින්ම එන්නේ. මේ වෙද්දී නම් බොනිකර තරු හි "අංජලි" වෙලා ඉන්නෙත් දේශානි නෙහාරා. ඒ නිසාම දේශානිගේ අලුත්ම විස්තර දැනගන්නත් එක්ක අපි ඇය සමඟ කළ කතාබහයි මේ...
මේ දිනවල නම් මම ප්‍රේක්ෂකයින් අතරට එන්නේ “පාර දිගේ“ ආන්‍යා සහ බොනිකර තරු හි “අංජලි“ ලෙසින්. තව අලුත් නිර්මාණයක සූටින් පටන් ගත්තා ඇඹිලිපිටියේ. නමුත් සූටින් අතරමඟ නතර කරන්න වුණා ප්‍රවාහන අපහසුතා නිසා. ඒ නිර්මාණයත් යළි රූපගත කිරීම් පටන් ගනීවි. එය අවසන් වූ විගස ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට පුළුවන්.
පාර දිගේ හි ආන්‍යා තමා මගේ පළමු රංග කාර්යය. මම බොහොම කැමැත්තෙන් මේ ක්ෂේත්‍රයට ආවේ. තමන් හරි විදියට ඉන්නවා නම් ගොඩක් හොඳ ක්ෂේත්‍රයක්. මට වැඩ කරන්න ලැබුණු ක්ෂේත්‍රයේ ප්‍රවිණයින්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා දිගටම මේ රංගන ක්ෂේත්‍රය තුළ ඉන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
පාර දිගේ ආන්‍යා චරිතය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ආන්‍යා නිසා තමයි මට හැමදේම ලැබුණේ. ඒ නිසා ආන්‍යාට මම ගොඩක් ආදරෙයි. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ චාමර අයියා, සද්ධා සර්, ශිවා සර් ඇතුළු සියලුම දෙනාව. ඒ හැමෝම මට ලබා දුන්නු සහයෝගය නිසා තමයි අද මෙහෙම ඉන්නේ. අමතක නොවන අත්දැකීම් තමයි මුල් කාලයේ රූපගත කිරීම් වලදී මගේ අතින් වුණු වැරදීම්. ඒ වගේම ඒ වැරදි ඒ අය හදලා දුන්නා. ඒක මට ලොකු පන්නරයක් වුණා.
ආන්‍යා තුළින් මම රංගනය ගැන අත්දැකීම් ලබලා තමයි බොනිකර තරු හි අංජලි ලෙසින් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ. අංජලි චරිතයට මට ආරාධනා කරන්නේ රවින්ද්‍ර විජේරත්න අයියා සහ තරංග දිසානායක අයියා. ඒ දෙන්නටම ස්තුතිවන්ත වෙනවා මට එම අවස්ථාවලබා දුන්නාට. මම කොහොමත් සැබෑ ජීවිතේදී ත් දඟකාර චරිතයක් නිසා අංජලි වෙන්න පහසු වුණා. ඒ දඟකාරකමත් එකතු කරගෙන රැවටීමක් කරන චරිතයක් අංජලි කියන්නේ. අංජලි චරිතය සමහර තැන් වලදී අහිංසක චරිතයක්, තවත් වෙලාවට දඟකාර, කොල්ලොන්ව ටකල් කරන චරිතයක්. මම හොඳින් ඒ චරිතය කරගෙන යනවා කියලා ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් දැනෙනවා.
මේ කාලය ගත්තම මම රංගනයට මුල් තැන දීලා ඉන්නේ. නමුත් මගේ හීනය වෙලා තිබ්බේ ගුවන් සේවිකාවක් වෙන එක. ඒ හීනය තවම අතහැරලා නැහැ. දැන් නම් මේ ක්ෂේත්‍රය තුළ දිගටම ඉන්න එක සහ ගුවන් සේවිකාවක් වීම කියන දෙකම මගේ හීන අතරේ තියෙනවා. හෙට දවසේ මොකක් වෙයිද කියන්න බෑ. ඒ එක්කම ඉස්සරහ ගැන හිතන්නත් අමාරු තත්වයක්නේ උදා වෙලා තියෙන්නේ.
ගෙදරින් ලොකු සහයෝගයක් හම්බවෙනවා. ඇත්තටම කිව්වොත් තාත්තානම් මුලින් ගොඩක් අකමැති වුණා. ගෙදර කෑගහලා අඬලා තමා කැමැත්ත අර ගත්තේ. දැන් නම් අම්මගෙන් වගේම තාත්තගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම අක්කගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ තනියට එන්නේ ඒ දෙන්නා. අම්මා නැත්නම් අක්කා තමා මගෙත් එක්ක සූටින් එන්නේ. ඒ වගේම තාත්තා දැන් බොහොම ආසාවෙන් නාට්‍යය බලනවා. ඒ වගේම දන්න අයගෙනුත් අහනවා නාට්‍යය බලනවද? ආන්‍යාට, අංජලි ට ඉන්නේ දුව කියලත් කියනවා. දැන් තාත්තා තමා ඔක්කොටම වැඩිය ආස.
චරිතයක් භාරගන්න කලින් මම අනිවාර්යෙන්ම පිටපත බලනවා. මගේ ආත්ම ගරුත්වයට හානියක් නොවන චරිතයක් විය යුතුයි. ගොඩක් මම ආස දඟ චරිත වලට. ඒ වගේම දරුණු චරිත වලට තමා මම කැමති. Harley Quinn වගේ චරිතයක් ලැබුණොත් නම් නියමයි. මම හිතනවා මට ඒ වගේ චරිතයක් කරන්න ලෙහෙසි වෙයි කියලා. මම ගොඩක් ආසාවෙන් සහ කැමත්තෙන් ඉන්නවා සිනමා නිර්මාණයකට දායක වෙන්න.
මම කාලයක් ආදරේට ආදරේ කරපු කෙනෙක්. දැන් නම් ආදරෙන් ගොඩක් ඈත් වෙලා ඉන්න කෙනෙක්. ආදර සම්බන්ධතා වලට ගොඩක් ඇරයුම් ලැබෙනවා. කොහොම ආදර යෝජනා ආවත් මේ කාලයේ ඒ ආදර යෝජනා භාරගන්න මම සුදානම් නැහැ. මට ඕනේ තනියම ගමනක් යන්න. ආදරේ පටලාගෙන කරදර විඳින්න දුක් විඳින්න ආස නැහැ. සමහර අය ආදරේ එපා කෙරෙව්වා. ඕනෙම දෙයක් ගැන තීරණය ගන්නේ ලැබෙන අත්දැකීම් එක්කනේ. ආදරේ නිසා මම ගොඩක් දුක් වින්දා. මම ආස නැහැ ආයෙමත් ඒ වගේ දුක් විඳින්න සහ මගේ වැඩකටයුතු කඩාකප්පල් කරගන්න.
සැබෑ ජිවිතේ දී මම නම් පොඩ්ඩක්වත් අහිංසක නැහැ. දන්නා අය දන්නවා. මම ගොඩක් නපුරු දඟ කෙනෙක්. ඒ වගේම මම කැමතිත් නැහැ මම අහිංසකයි කියලා හිතනවට. මම කැමති නැහැ පිටින් අහිංසක විදියට ඉඳලා ඇතුළතින් වෙනස් වෙන්න. අනික මම අහිංසකයි කියන එක දුර්වලකමක් විදියට දකින්නේ. අහිංසක වුණාම මිනිස්සු ඔළුවට අත හෝදන්න එනවා. ඒකට මම ආස නැහැ. මම ජීවිතේට එන අභියෝග භාර ගන්න කෙනෙක්. පොඩි කාලේ ඉඳලම මගේ ජීවිතේට එක එක අභියෝග ආවා. ඒ හැම දෙයකටම මම සාර්ථකව මුහුණ දුන්නා. ඒ නිසා ඉදිරියටත් එන අභියෝග භාරගන්නවා.
ආන්‍යා නිසා මගෙත් එක්ක තරහ වෙලා හිටපු මිනිස්සු පවා දැන් කතා කරනවා. හොස්පිටල් එකට ගියත් ඩොක්ටර් පවා කතා කරන්නේ ආන්‍යා කියලා. ඒ ගැන හරි සතුටුයි. ප්‍රේක්ෂක රසික ආදරය නිසා තමයි මට මේ හැමදේම ලැබිලා තියෙන්නේ. බොහෝ දෙනා මට කතා කරන්නේ ආන්‍යා කියලා. ඇත්තටම කියනවා නම් දේශානි නෙහාරා කියන නම යටපත් වෙන තරමටම ආන්‍යා කියන නම ප්‍රේක්ෂකයින් අතරට ගිහින් තියෙනවා. පෞද්ගලිකව ගත්තම මමත් කැමතිම නම ආන්‍යා කියන නම සහ ඒ චරිතය.