
මම කවදාවත් ජීවිතේ ගත්ත තීරණ ගැන පසුතැවෙන කෙනෙක් නෙවෙයි.බොහොම නිදහසේ සතුටින් ජීවත් වෙන්න තමයි නිතරම උත්සහ කරන්නෙ..“ එහෙම උපේක්ෂාවෙන් ලෝකය දකින ඇය ජනප්‍රිය රංගන ශිල්පිණි වොල්ගා කල්පනී. පාර දිගේ ටෙලි නාට්‍යයේ 'ටුටූ' ගේ චරිතයෙන් මේ දවස් වල වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් වොල්ගා සමඟ රසඳුන අප කළ කතාබහයි මේ.
ගොඩක් අය ‘ටුටූ‘ව අනුකරණය කරනව කියන්නෙ ඇත්තද.?
පාර දිගේ ටෙලි නාට්‍යයේ ටුටූ චරිතය ටිකක් වෙනස් චරිතයක්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් එය අධ්‍යක්ෂණය කරන්නෙ. ඒකෙ ටුටු අඳින පළඳින විදිය පවා සෑහෙන්න වෙනස්. ඉතින් දැන් ඒ විදියට විලාසිතා කරන අය ඉන්නවා. ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් ලොකු ප්‍රතිචාර තියනවා. මං හිතන විදිහට ටුටූ කියන්නෙ සුදුත් නොවන කළුත් නොවන අළු චරිතයක්.
මාණික්කාවත කියන්නේ සාහිත්‍ය කෘතියක් ඇසුරෙන් හැදුණු ටෙලි නාට්‍යයක්. එවැනි චරිතයකට ඔබව තෝරාගැනීම ගැන දැනෙන්නෙ කොහොමද.?
මම ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳන් මට මුණ ගැහුණ අධ්‍යක්ෂකවරු සහ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒ ක්ෂේත්‍ර යේ ප්‍රවීණයන්. ඒ වගේම ඔවුන් දක්ෂයන්. මගේ මොකක්දෝ පිනකට සහ වාසනාවකට විවිධ චරිත මට නිරූපණය කරන්න ලැබුණේ. මං විශ්වාස කරනවා ඒක ලොකු භාග්‍යයක් කියලා. මානික්කාවත ටෙලි නාට්‍යයත් ඒ වගෙයි. මට මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් නාට්‍යයක් වුණා.
චරිත තෝර ගන්නකොට ඔබ වැඩියෙන්ම බලන්නෙ?
මම නිතරම හිතන දෙයක් තමයි ඒ අදාළ චරිතය මට දැනෙන්න ඕනේ කියලා. පිටපත කියවලා මට දෙයක් කරන්න තියෙන නිර්මාණයක් නම් මම බාර ගන්නවා. තිරයේ බොළඳ පෙම්වතිය වෙන්න මම කැමැති නැහැ. ඒ හේතුව මත ප්‍රතික්ෂේප කරපු නිර්මාණත් තියෙනවා.
චරිතාංග රංගනය තුළින් හොඳම නිළිය වීම සහ ජනප්‍රිය වීම අතර වෙනස ඔබ දකින්නේ කොහොමද.?
මං විශ්වාස කරන්නේ නිළියක් නම් ජනයාට ප්‍රිය වෙන්න ඕනේ කියලයි. හේතුව, අපේ ටෙලි නාට්‍ය මිනිස්සු බලන්න ඕන. හැබැයි මට අවශ්‍යතාවයක් නැහැ මම සල්ලි වියදම් කරලා එස් එම් එස් කරලා හෝ මනාප ව්‍යාපාර කරල ජනප්‍රිය වෙන්න හෝ සම්මාන ලබන්න. කවදහරි දවසක වොල්ගා කල්පනී කියන නම ඉස්සරහින් හොඳම කියන කොටස දාගන්න තමයි මම කැමති. හැබැයි ඒක ඇතුළේ ජනයාට ප්‍රිය වෙන්නම ඕන.
පුංචි කාලේ ඉඳන්ම හිතාගෙන හිටියේ නිළියක් වෙන්නද.?
ජා - ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනුබද්ධිත නාට්‍ය කණ්ඩායමේ වැඩ කරනකොට මාව ප්‍රතිභා කියල අයිය කෙනෙක් එක්කගෙන යනව රූපවාහිනියේ අතුරු මිතුරු කියන වැඩසටහනට. ඒ හරහා මම ළමා නිවේදිකාවක් වෙනවා. වසන්ත ඥාණප්‍රිය ගුරුතුමාව ආදරෙන් මතක් කරන්න ඕන. කාලයත් එක්ක මම නිවේදිකාවක් වෙනවා. ඒ හරහා තමයි මම රංගනයට පිවිසෙන්නේ. මම නිවේදිකාවක් ලෙස කටයුතු කළ කාලයෙත් රංගනයට ගොඩක් කැමැත්තෙන් හිටියේ.
පුංචි කාලෙ විශේෂ මතකයක් කිව්වොත්.?
මම අවුරුදු දොළහක් වනතුරුම අම්මාගෙන් කිරි බීපු ළමයෙක්. මගේ අම්මා සමහර වෙලාවට මොන්ටිසෝරියට ඉන්ටර්වල් එකේදි ආවම වුණත් මං කිරි බොනවා. පාසල් කාලෙත් එහෙමයි. ඉතින් ඒක තමයි මගෙ ජීවිතේ සුන්දරම මතකය.
ප්‍රේක්ෂකයන්ගේ ඇගයිම් විවේචන ඔබ කොහොමද භාර ගන්නේ..?
මං හිතන විදියට ආදරේ වැඩිකමට තමයි හැමදේම වෙන්නේ. කාත් එක්ක හරි වැඩිපුර රණ්ඩු වෙන්නෙත් ආදරේ නිසානෙ. ඉතින් ප්‍රේක්ෂකයෙක් ඇඳුමක් ගැන හරි අඩුපාඩුවක් කියනව නම් ඒ ආදරේ හින්දා කියලයි මම හිතන්නේ. කවුරුන්හෝ මගේ රඟපෑම ගැන කරන විවේචනත් මම සතුටු සිතින් බාර ගන්න කෙනෙක්. ඒකට හේතුව තමයි අපට ඔවුන් වටිනවා. ප්‍රේක්ෂකයෝ නැත්නම් අපි මේ කිසිම දෙයක් කරලා වැඩක් නෑ.
ඔබ නිළියක් වගේම ව්‍යාපාරික කටයුතුත් කරනවා. ඒ ගැන සිහිකළොත්...?
මම මේ වෙනකොට ‘වී ලොග් බයි වොල්ගා‘ කියල ඔන්ලයින් ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. අද රටේ තියෙන ප්‍රශ්න ඒවාටත් බලපෑම් වෙනවා. ඉදිරියේදි එය දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.
ඔබ ජීවිතේ ගැන දකින්නෙ කොහොමද.?
මම කවදාවත් ජීවිතේ ගත්ත තීරණ ගැන පසුතැවුණු හෝ දුක් වුණ කෙනෙක් නෙවෙයි. බොහොම නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි හැම වෙලාවකම උත්සහ කරන්නෙ.
මේ දවස් වල මගෙ බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනාව තමයි ශ්‍රී ලංකාවේ හැම කෙනෙක්ටම ආයෙ පරණ විදිහට නිදහසේ ජීවිතේ ගත කරන්න ලැබෙන්න ඕන කියලා.