සංසුවීට මං ගොඩක් ආදරෙයි | සිළුමිණ

සංසුවීට මං ගොඩක් ආදරෙයි

මේ දිනවල හිරු TV හි විකාශය වන 'සිහින ගෙනෙන කුමාරියේ' ටෙලි නාට්‍යයේ 'සංසුවී'ගේ චරිතය හරහා සෑම සති අන්තයකම මෙ පොඩ්ඩි ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා. රංගන කටයුතු වලට වගේම නර්තනය සහ ගායනයටත් දක්ෂ ශෙඔලි නෙතුල්‍යා ජයරත්න දියණිය ගැනයි අපි අද ඔබට ගෙන එන්නේ.

 

ඔයාගෙ විස්තර ටිකක් කියන්නකෝ?

මගෙ අප්පච්චි සමන්ත ජයරත්න පෞද්ගලික ආයතනයක වැඩ කරන ගමන් සංගීත සහ නිවේදන කටයුතු කරනවා. අම්ම ආත්මා ප්‍රියදර්ශනීත් හඬ කැවීම් ශිල්පිනියක් ලෙස කලා කටයුතු වල නියැළෙනවා.මගෙ අයිය නවය වසරෙ ඉගෙන ගන්නෙ. මම ඉගෙනගන්නෙ JMS ජාත්‍යන්තර පාසලේයි. අපි පදිංචි වෙලා ඉන්නෙ කෑගල්ලේ. අපෙ ගම මහනුවර කටුගස්තොට. මගෙ වයස අවුරුදු හතයි.

 

සිහින ගෙනෙන කුමාරියේ 'සංසුවී'ට ලැබෙන ප්‍රතිචාර මොනවද.?

මම ලස්සනට රඟපානව කියල හැමෝම කියනවා. අම්මගෙ ෆෝන් එකට කෝල් කරල මං එක්ක කතා කරන අයත් ඉන්නවා. අපි රඟපාන තැනට ගොඩක් අය හොයාගෙන එනවා. සමහරු මට තෑගිත් ගෙනල්ල දෙනවා.

 

හම්බුණ තෑගි වලින් කැමතිම තෑග්ග මොකක්ද.?

ලස්සන ටෙඩී කෙනෙක් හම්බුණා. ඒකට මං ගොඩක් කැමතියි. තව ලස්සන ගවුම් හම්බුණා.

 

සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණෙ කොහොමද.?

නාට්‍යය ආරම්භක අවධියේ අධ්‍යක්ෂණය කළ නිවන්ත ප්‍රසාර මාමා තමයි මට කතා කළේ. නාට්‍යයේ රඟපාන්න අයව තෝරනව කියන ආරංචිය අහපු වෙලාවෙ මගේ අම්මා මම කලින් රඟපාපු වෙළෙඳ දැන්වීමක් සහ සංගීත විඩියෝවක් මාමට පෙන්නලා තිබුණා. ඒව බලල තමයි මට මේ චරිතය ලැබුණේ. දැන් මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නෙ කසුන් තරින්ද්‍ර මාමා.

 

ඔයාට රඟපානකොට උදව් කරන්නෙ කවුද.?

හැමෝම උදව්කරනවා. නොදන්න දේවල් කියලා දෙනවා.

මිහිර මාමා, ඉසුර මාමා, ශලනි අක්ක, රෂිප්‍රභා අක්ක ඇතුළු හැමෝම මට ගොඩක් දේවල් කියල දෙනවා.

 

රඟපානකොට සිදුවුණ අමතක නොවන සිදුවීමක් මතකද..?

දවසක් රෑ ෂූටින් කරන කොට ගේ ඇතුළට කුළු හරකෙක් පැන්නා. ඒ වෙලාවෙ මම බයවෙලා ඇඬුවා. ඉසුරු මාමා තමයි හරකව එළෙව්වේ.

 

ශෙඔලි රඟපාන්න පටන් ගත්තෙ කොයි කාලෙද.?

මංජුල යටවතුර මාමා අධ්‍යක්ෂණය කරපු වෙළඳ දැන්වීමක තමයි මම මුලින්ම රඟපෑවේ.එතකොට මට වයස අවුරුදු තුනයි.ප්‍රදීප් මහේෂ් මාමගෙ මඟ පෙන්වීම යටතේ තමයි මම රංගන ක්ෂේත්‍රයට ආවෙ.

 

ඔයා රඟපෑ අනෙකුත් නිර්මාණ මොනවද.?

ප්‍රසාද් සමරතුංග, මිහිර සිරිතිලක සහ ඩිලන් ද සිල්වා මාමලගෙ නිර්මාණ කීපයක රඟපෑවා. 'පාට පාට හීන'කියන ටෙලි චිත්‍රපටය,'බයිසිකලෙන්' කියන ගීතයේ රූප රචනයට වගේම තව අවුරුදු නාට්‍යයකත් රඟපෑවා.

 

ඉදිරියේදි එන්න තියන නිර්මාණ මොනවද.?

චිත්‍රපට කීපයකට ආරාධනා ලැබිල තියෙනවා. තවම රූගත කිරීම් ආරම්භ කළේ නැති නිසා ඉස්සරහට විස්තර කියන්නම්. තව ටෙලිනාට්‍ය වලටත් ආරාධනා ලැබුණා. අධ්‍යාපන කටයුතු මග නොහැර කලා කටයුතු කරන්න ඕන නිසා දීර්ඝ ටෙලිනාට්‍ය බාරගත්තෙ නැහැ.

 

ඔයාගෙ අනාගත බලාපොරොත්තු මොනවද.?

හොඳට ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්නත් මම හරිම ආසයි.අනාගතයේ ශලනි අක්ක වගේ දක්ෂ නිළියක් වෙන්නත් මගෙ ලොකු හීනයක් තියෙනවා.

 

Comments