
මාර්ග අංක 358 ගාල්ල, උඩුගම, තවලම, නෙළුව හරහා දෙල්ලව බස් මාර්ගය මාර්ගයෙහි උඩුගමත් තවලමත් අතර කන්නෙලිය සංචාරක මධ්‍යස්ථානයට ප්‍රවේශ මාර්ගය පිහිටා තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන රක්ෂිත වනාන්තරයක්ද වන දකුණේ හදවත බඳු කන්නෙලිය වනාන්තරය වන සංචාරකයන් සඳහාම වෙන්වූ අතිශය සුන්දර වන පියසකි. ඉහළම ජෛව විවිධත්වයක් වාර්තා වන සොබා දහමේ අපූර්වතම නිර්මාණයක් වන කන්නෙලිය මෙරට අන් කිසිඳු ස්ථානයක දැක බලා ගත නොහැකි තරමේ ශාක හා සත්ත්ව විශේෂ විවිධත්වයක් නිරීක්ෂණය කළ හැකි වනාන්තරයකි.
හෙක්ටයාර් 6144 ක විශාලත්වයකින් යුතු කන්නෙලිය දකුණු ආසියාවේ ඉහළම ජෛව විවිධත්වයක් සහිත වනාන්තරයක් ලෙසද සැලකේ. මෙහි ශාක කුල 61 ක ගණ 147 ක ශාක විශේෂ 300 පමණ වාර්ථා වී ඇති අතර ඉන් 25% ක් පමණම ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ.
ශාක විවිධත්වය මෙන්ම පක්ෂී විශේෂ, සමනල විශේෂ, ක්ෂිරපායී විශේෂ, උරග විශේෂ, උභයජීවී විශේෂ ඇතුළු සත්ත්ව විශේෂ විශාල ප්‍රමාණයක් මෙහිදී නිරික්ෂණය කළ හැකිය. වාර්ෂිකව මිලිමීටර් 4445 පමණ ඉහළ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන කන්නෙලිය ජල දහරාවන්ගෙන්ද පොහොසත්ය.
කන්නෙලිය ඇළ, නන්නිකිත්ත ඇළ, උඩුගම දොල, හුලංදාව ඇළ ඇතුළු ජලමාර්ග 245 පමණ කන්නෙලිය තුළ හමුවන අතර මේ වන පියස ගිං හා නිල්වලා ගංගාවන්හි ප්‍රධාන පෝෂක වනාන්තරය ලෙසද ක්‍රියාකරයි. අනගිමල ඇල්ල, නාරංගස් ඇල්ල, ගල් ලෑලි දොල ඇල්ල වැන ප්‍රකට විශාල දිය ඇළි ගණනාවක් මේ වනය පුරා සැඟවී පවතින අතර ඒවා කන්නෙලියේ සුන්දරත්වය තවත් ඔප් නංවයි.
මේ ඉහළ ජෛව හා පාරිසරික විවිධත්වයත් එමඟින් ඇතිවූ සුන්දරත්වයෙන් අග තැම්පත්වූ කන්නෙලියෙහි පවතින ඉහළ සංචාරක පහසුකම් නිසා මේ කන්නෙලිය ඉහළ සංචාරක ආකර්ශණයක් හිමි කරගත් වන පියසකි.
මෙහි පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් 2004 වසරේදී කන්නෙලිය සංචාරක මධ්‍යස්ථානය ඉදිකොට සංචාරකයක් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දී තිබෙන අතර ඒ හරහා තොරතුරු මධ්‍යස්ථානයක්, වන කෞතුකාගාරයක්, ගිමන් හල්, නැරඹුම් මැදිරි හා අට්ටාල සහ ශ්‍රවණාගාරයක් ද මෙහි ඉදිකොට තිබේ.
වනය තුළ නැවතී වනය නැරඹිමට, වනයේ අසිරිය විඳීමට ප්‍රිය වූවන් සඳහා මෙහි නවාතැන් ගත හැකි නේවාසික සංචාරක බංගලාද වනය තුළ ඉදිකර තිබේ.
එහි නවාතැන් ගන්නේ නම් ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සංචාරයට පෙර අවසර ගතයුතු අතර කන්නෙලිය සංචාරක මධ්‍යස්ථානයක් බැවින් මෙහි පැමිණෙන්නන් ප්‍රවේශ පත්‍රයක් ගෙන වනයට පිවිසිය යුතුය.
වනය තුළට පිවිසීමට අවසර ලැබෙන්නේ සංචාරක මඟ පෙන්වන්නෙකු සමඟ පමණි. එසේ වනයට පිවිසෙන සංචාරකයකුට වනය පිළිබඳ දැනුම හා අවබෝධය ලබා ගනිමින් වනයේ මිහිර විඳිය හැකිවන පරිදි වනය නැරඹීම සඳහා වනයේ වැදගත් ස්ථාන කේන්ද්‍ර කරගනිමින් වන මං පෙත් ඉදිකොට තිබේ. ගුහාව මංපෙත, අනගිමල ඇල්ල මංපෙත, යෝධ පුස්වැල මංපෙත, යෝධ නවද ගස මංපෙත, නාරංගස් ඇල්ල මංපෙත, කබ්බලේ කන්ද මංපෙත ලෙස මංපෙත් හයක් ඉදිකොට ඇති අතර සංචාරයන්ගේ මනාපය පරිදි කැමති මංපෙතක් දිගේ වනය නැරඹීමට අවස්ථාව හිමිවේ.
මංපෙත් ඔස්සේ සංචාරයට එන සංචාරයකුට වනයේ සිට ගලා එන සිසිල් දිය රැඳි ස්වභාවික නාන තටාකයක පහස විඳ ගැනීමට අවස්ථාව හිමිවන අතර ගුහාව මංපෙතේ හමුවන අඳුරු වවුල් ගුහාව දිගේ ගමන් කිරීම චමත්කාර ජනක අත්දැකීමක්ද ලබා ගත හැකිය. මෙම ස්වාභාවික ගුහාව දිගේ දොළ වානක්ද ගලා එන අතර අඳුරු ගුහාවේ සීතල වතුරේ බැස ලෙන තුළ ඇති අන්ධකාරය සහ සිසිලස විඳගනිමින් තරමක දිගු ගමනකින් පසු අනෙක් පසින් මතුවිය හැකිය. වනයේ ඇති යෝධ පුස්වැල, යෝධ නවඳ ගස, අනගිමල ඇල්ල, නාරංගස් ඇල්ල ආදී සුවිශේෂී ස්ථාන නැරඹීමට ඇති මං පෙත් ඔස්සේ යාමේදී වනජ ද්‍රව්‍ය යොදා සැකසූ අලංකාර මහල් සහිත ගිමන්හල් වල සිට ගමන් වෙහෙස නිවාගැනීමටද ඉඩකඩ හිමිවේ.