
මගේ අම්මා තාත්තා බලාපොරොත්තු වුණේ මමත් නඩුකාරියක් වෙයි කියලා. ඒත්, මගේ ස්වාමියා මම යන මාවත තේරුම් අරගෙන මගේ ගමනට උදව් කළා.
යූටියුබ් හි “මායා දොරටුව” හරහා ඇය බොහෝ පාඨක පිරිසක් ගොඩ නඟා ගෙන සිටින්නීය. ඇය නීතිඥ නදීපා සෙව්වන්දි රණසිංහය. අද දවසේදී සමාජයේ යහපත උදෙසා සමාජ මාධ්‍යයෙන් කරන මෙහෙවර ගැන කළ කතා බහ මෙසේයි.
“මම පාසල් යන්නේ පානදුර ශ්‍රී සුමංගල බාලිකා මහා විදුහලටයි. උසස් පෙළ කලා විෂය ධාරාවෙන් විශිෂ්ඨ සම්මාන තුනක් ලබාගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වීමට මට අවස්ථාව හිමිවෙනවා. විශ්ව විද්‍යාල කාලේ තුළදිම මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ තැන් වල වැඩ කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ අතර ගුවන් විදුලිය රූපවාහිනිය කුඩා කළ සිටම ළමා පිටියට සම්බන්ධ වීමද විශ්වවිද්‍යාලයට යන අතරතුර විවිධ වැඩසටහන්වලට දායක විම හා හඬ කැවිමෙන් දායක වීමට අවස්ථාව ලැබුණා. මගේ තිබූ දක්ෂතාවයන් නිසා ස්වාධීන රූපවාහිනියේ සහන නිවේදිකාවක් ලෙස කටයුතු කිරීමටත් අවස්ථාව ලැබුණා. පසුව ස්වර්ණවාහිනී ආයතනයට සම්බන්ධ වී ප්‍රවෘත්ති නිවේදිකාවක් හා නිෂ්පාදිකාවක් හැටියට 2008 වසර දක්වා කටයුතු කළා.''
නදීපා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් ලෙස දිවුරුම් දීමෙන් පසු ස්වර්ණවාහිනී ආයතනයට සමුදීමට සිදුවිය. නීතිඥවරියක් ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සගේ ගුරුහරුකම් ලබා ගත්තාය. පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති නිලධාරිනියක් ලෙස රාජකාරි කටයුතු ඇරඹු ඇය කපිතාන් තනතුර දක්වා ගියාය. වසර ගණනාවක් සේවය කළ ඇය පසුකාලීනව එයින්ද ඉවත්වන්නීය. ඉන් අනතුරුව බහු ජාතික සමාගමක නීති නිලධාරිනියක් වූවාය. මේ සියලූ වෘත්තීන් පසෙකලා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යොමු වූවාය.
"මට කිසි දවසක එක තැන පල්වීමට අවශ්‍ය නොවන නිසා මා අලුත් අලුත් දේවල් සොයන්නට පෙළඹුණා. ඒ වගේම මේ කාලවකවානුවේදී මනෝවිද්‍යාව පිළිබඳ මට අධ්‍යයනය කරන්නට දැඩිව උවමනාවක් ඇති වුණා. මේ ඉගෙන ගන්න අතරතුරදී මට හිතුණේ නීතිඥවරියන් හැටියට හොරෙක්ව නිකම්ම හොරෙක් ලෙස හංවඩු ගහනවට වැඩිය හොඳ සංගීතඥයෙක් කරන්න පුළුවන්නම්, හොඳ කලාකරුවෙක් කරලා සමාජගත කරන්න පුළුවන් නම්, මිනිසකු වෙනස්කරලා අපි ලොකු ජයග්‍රහණයක් ලබන බවයි. මේ සියල්ල මට හිතට එන්නේ විශ්ව විද්‍යාලයේ ඉන්න කාලෙදියි. ඒත් ඒ වෙනුවෙන් යමක් කරන්න මට ඒ කාලෙදි බැරි වුණා. ඉන්පසුව මට හිතුණ දේ තමයි මගේ ජීවිතයේ මගේ අරමුණු කරා යන්නේ කොහොමද? ඒ අරමුණු කරා ළඟා විය හැක්කේ කෙසේද? යන්න ගැන. මෙහෙම ඉන්න කාලෙදී මට භාවනා කරන අය හමුවෙනවා. විද්‍යාඥයන් හමුවුණෝත් ඔවුන් සමඟ විවිධ දෙවල් කතා කරනවා. මිනිසුන් විදිහට විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව මොළයේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යනය කරන්න පටන් ගත්තා.
මේ කාල වකවානුවේදී මම මිනිසුන් කරන වැරදි, විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව සමාජයේ වීඩියෝ ක්ලිප් කිහිපයක් කරලා මුහුණු පොතට එකතු කළා. මේ දාපු සියල්ලම ගොඩක් කට්ටිය මුහුණු පොත බලලා තිබුණා. මට හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ දාලා තිබුණු විඩියෝ විවිධ එකවුන්ට්වල විවිධ නම්වලින් ඵල කරන්න පටන් ගෙන තිබුණා. මෙතනදී තමයි මම සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස සමාජගත වෙන්න ඕනේ කියලා හිතුණේ. සමාජයට හොඳ දේවල් දෙන්න සමාජයට මිනිස්සු හොඳ දේවල් වැළඳ ගන්න බව මට වැටහී ගියා. ඉන් අනතුරුව තමයි මම යූටියුබ් නාලිකාවක් හදලා මේවා ප්‍රචලිත කරන්න ඕනේ කියලා හිතුවේ. දැන් youtube නාලිකාව හරහා ලක්ෂ දෙකකට වැඩි පිරිසක් නරඹනවා. කෙටි කාලයක් තුළදී මෙවැනි පිරිසක් එකතු වීමත් හරි සතුටු දායක දෙයක්. හොඳ දේවල් වැළඳගන්න පිරිස ටිකක් අඩුයි. නරක දේවල් වැළඳගන්න පිරිස වැඩියි. විවිධ තරාතිරම්වල අය මේ දෙවල් සම්බන්ධව මම සමඟ කතා කරනවා. මේ හරහා දැනුම තියන වෘත්තීයවේදීන් මා සමඟ එහි ඇතුළාන්තය ගැන කතා කරනවා. ජීවිතය අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපිට ඕන විදියට මුදල් හම්බ කරන්න පුළුවන්. ඒ දේට අපි වෙනස් විය යුතුයි. මම හැමවෙලේම මේ වීඩියෝවලින් දෙන්නෙ ධනාත්මක දේවල් පමණයි.
නදීපා මේ සියලු දේවල් ධනාත්මක ලෙස ඔබ හමුවට ගෙන එන්නේ මායා දොරටුව නමින් පෙනී සිටිමින්ය. අද ජීවත්වන අප සියලු දෙනාම මායාවක ජීවත් වන නිසාත්, ඒ මායාව කඩාගෙන අලුත් දොරටුවක් විවෘත කිරීම තුළින් අපේ මාවත සොයා ගත හැකි වේ. මං මේ හදලා තියෙන formula එක හරියට කවුරු හෝ මාස දෙකක් කළොත් ඔහු හෝ ඇයට තමාගේ ගමන වෙනස් කරගත හැකියි. මායා දොරටුව නමින් මම වැඩ සටහනක් කරන්නේ යූ ටියුබ් නාලිකාවෙන්. මම මෙය නදීපා රණසිංහ නමින් කරනවා. මා සමඟ එකතු වෙලා ඉන්න ගොඩක් අය ජීවිතේ වෙනස් කරගන්න ඕන කියලා හිතන අයයි. කෙටියෙන් කියනවා නම්, සෞභාග්‍යය ළඟා කරගන්න ඕනෑ කියලා ධනාත්මක ලෙස හිතන අයයි. මනුෂ්‍යයකුගේ මොලේ තියෙනවා පරමාණු බෝම්බ තිහකට වැඩි සංඛ්‍යාවක් එක හරියට ප්‍රයෝජනයට අරගෙන වැඩ කළොත් ඔහුගේ ගමන ඔහු ජය ගන්නවා මයි. මම මේ හැම දේකින්ම කියාදෙන්නේ ජයග්‍රහණය කරා ළඟා වන දේ පමණයි. මම හිතන විදිහට හැමෝටම මේ දේට ළඟා වෙන්නටත් බැ. මේ දේ දැනීමේ ශක්තිය සහ හිතීමේ ශක්තිය අනිවාර්යෙන්ම තිබිය යුතුයි. මේ සැම විඩියෝ එකකින්ම සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ සැනසීමක් පමණයි. 2030 දි ලෝකයේ වැඩියෙන්ම මිනිසුන්ට සිදුවන්නේ විශාදියයි. මම කරන්න යන්නේ ඒ දේට විසඳුමක් ලබා දෙන එක තමයි. මගේ වැඩසටහන්වලින් මට දැනට වැඩියෙන්ම කතා කරන්නේ වෛද්‍යවරු සහ නීතිඥවරු යි. මේ අතර මහාචාර්යවරුත් ඉන්නවාය. ගොඩක් බුද්ධිමත් පිරිස තමයි එකතු වෙලා ඉන්නේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පැත්තට වැඩිය විනෝදාස්වාදය පැත්තට නැඹුරුතාවය වැඩියි. මම මේ තුළින් ගොඩක් බොහෝ අයට නොමිලේ වැඩ සටහන් කරලා දෙනවා. විවිධ මාධ්‍ය ආයතන හරහා මම මේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සමාජ මාධ්‍ය ජාලාවේ මම කරන යහපත් වැඩේ නිසා මට ගෞරවය, ආදරය, සතුට හොඳටම ලැබෙනවා. සතුට සහ ආදරය, ගෞරවය මිනිස්සුන්ට දෙන්න පුළුවන් වූ නිසා ඔවුන්ගෙන් ලැබෙන උණුසුම් ආදරේ මම හරිම සතුටින් වැළඳ ගන්නවා.
මගේ අම්මා තාත්තා බලාපොරොත්තු වුණේ මමත් නඩුකාරියක් වෙයි කියලා. ඒත්, මගේ ස්වාමියා මම යන මාවත තේරුම් අරගෙන මගේ ගමනට උදව් කළා. ඒක මට හරියට යෝධ ශක්තියක් වගේයි. මම දැන් ඒ සියලු දෙනා වෙනුවෙන් පුද්ගල පරිවර්තනයක් වෙලා. ඒ වගේම මේක මගේ වෘත්තියත් වෙලා. අපි දවසට පැයක්වත් අඩුම ගානේ හිනාවෙලා ජීවත් වෙන්න ඕනෑ. අලුත් පරම්පරාවට මම දෙන ආදර්ශය තමයි හොඳ දේවල් පමණක් සමාජයට දිය යුතුයි කියන එක. ඒ තුළ විනෝදාශ්වාදය, හා අධ්‍යාපනය තිබිය යුතුයි. මගේ ඉදිරි බලාපොරොත්තුව ඉංග්‍රීසි භාෂාවෙන් මේ සියලු දේවල් ලෝකයට රැගෙන යාමයි.''