‘පාර දිගේ’ ගීත ගයා සංගීත ලොවට පිවිසි "RAWDS" | Page 4 | සිළුමිණ

‘පාර දිගේ’ ගීත ගයා සංගීත ලොවට පිවිසි "RAWDS"

ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ එදා මෙදා තුර නිර්මාණය වූ සංගීත කණ්ඩායම් බොහොමයක් පවතී. ඒ ඒ සංගීත කණ්ඩායම් කලා ලොවට එකතු වූ ආකාරය ද විවිධය. කෙසේ වෙතත් සංගීතයේ නව මානයන් සොයා යන්නට වෙර දරන RAWDS සංගීත කණ්ඩායම ගැනයි මේ කතාබහ.

 

RAWDS සංගීත කණ්ඩායමේ විශේෂත්වය වන්නේ මෙය නිර්මාණය වෙන්නේ මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන සද්ධා මංගල සූරියබණ්ඩාර ලියන ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන චාමර සමරවික්‍රම නිෂ්පාදනය කරනු ලබන “පාරදිගේ“ නාට්‍යය තුළින් වීම. නාට්‍යය කෙතරම් ජනප්‍රියද එතරම් ජනප්‍රිය වූ චරිත බවට පත්ව ඇත්තේ භානු, බණ්ඩා, ජූඩ්, අභියා සහ බන්ටි. මේ චරිත නිරූපණය කරන්නේ ගයාන් ගුණවර්ධන (භානු), කුසල් මධුරංග (බණ්ඩා), ඉඳුවර සූරියබණ්ඩාර (ජූඩ්), සචින් චතුරංග (අභියා) සහ දුෂේනි ද සිල්වා (බන්ටි).

RAWDS සංගීත කණ්ඩායම මුලින්ම අපිට සමීප වන්නේ "පාරදිගේ" නාට්‍යය තුළින් වුවත්, මේ වෙද්දී නාට්‍යයෙන් පිටත සැබෑ ජිවන රටාවේ සංගීතයේ පෙරළියක් කරමින් දිගු ගමනක් යන්න RAWDS සංගීත කණ්ඩායම සුදානමින්. මෙම සංගීත කණ්ඩායමේ නායකයා ගයාන් ගුණවර්ධන. ගයාන් ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. දශක පහකට අධික කාලයක් තුළ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ නුවන් ගුණවර්ධනගේ පුත් වන ගයාන් උපන් දා සිටම හැදී වැඩෙන්නේ සංගීතය සමඟ.

“පාරදිගේ නාට්‍යය තුළ භානු, අභි සහ ජූඩ් කියන අපේ චරිත ගලා යන්නේ විදී සංගීත කණ්ඩායමක් විදියට. ඊට අමතරව බණ්ඩා සහ බන්ටි එක්ක අපි අඟුලාන ජිවිතේ අමාරුවෙන් ගත කරන ආකාරය. සංගීතය තුළින් අපි මුදලක් උපයා ගන්න දරන උත්සාහය. මේ දේවල් තමයි අපේ චරිතය තුළින් ගලා යන්නේ. රූගත කිරීම් කරගෙන යද්දී මමත් සචිනුත් ඉඳුවරත් මිතුරන් බවට පත්වුණා. අපිට දැනුණා අපි අතර මේ චරිත වලට එහා ගිය බැඳීමක් නිර්මාණය වන බව. ඒ වගේම මමත් සචිනුත් මිට පෙර ත් සංගීත කණ්ඩායමක් කරලා තියෙන නිසා ඉඳුවර සමඟත් අපි කතා වුණා මේ සංගීත කණ්ඩායම දිගටම පවත්වාගෙන යමින් එළියේ තියෙන ප්‍රසංග සහ උත්සව වලට සහභාගී වෙන්න. ඒ අනුව 2021 නොවැම්බර් වගේ වෙද්දී තවත් සාමාජිකයින් කිහිපදෙනෙක් එකතු කරගෙන RAWDS සංගීත කණ්ඩායම නමින්ම අපේ සංගීත කණ්ඩායම ආරම්භ කළා. මේ නම දැම්මේ සද්ධා මංගල සූරියබණ්ඩාරයි. රෝ කියන්නේ අමු, රෝඩ් කියන්නේ පාර. පාරේ අමුවෙන් ගීත ගයන තරුණ සංගීතවේදීන්ගේ අදහස් ප්‍රකාශනය තමයි මේතුළ තියෙන්නේ. මේ වෙද්දී මාස පහ හයක් වගේ කාලයක් තිස්සේ මංගල උත්සව සහ ප්‍රසංග වලට සහභාගී වෙමින් අලුත් නිර්මාණ කරමින් සිටිනවා.

මගේ දැනුමට අනුව නම් දන්නා ඉතිහාසය තුළ ටෙලි නාට්‍යයකින් සංගීත කණ්ඩායමක් බිහි වූ පළවෙනි අවස්ථාව මේකයි. අපි තුන්දෙනාම රංගන ශිල්පින් වගේම සංගීතවේදීන්. ඒ නිසා මේ ගමන අපිට එකට එන්න පහසුවක් වුණා. බණ්ඩා - කුසල් මධුරංග අපේ සංගීත කණ්ඩායමේ ආරාධිත ගායන ශිල්පියෙකු ලෙස සහභාගී වෙනවා. ඒ වගේම බන්ටි පවා ආරාධිත චරිතයක් ලෙසින් අපේ මේ ගමන එක්ක ඉන්නවා. ඒ නිසා ටෙලි නාට්‍යය ඇතුළේ RAWDS සංගීත කණ්ඩායම නිර්මාණය වෙද්දීම ටෙලි නාට්‍යයෙන් පිටත සැබෑ ජිවිත වලටත් RAWDS සංගීත කණ්ඩායම එකතු වෙලා ඉදිරියට අරගෙන යමින් ඉන්නේ.

වර්තමානයේ තියෙන රටේ තත්වය එක්ක අපි ඉතාම කටුක මඟක මේ ගමන යන්නේ. අපේ පළවෙනිම ප්‍රසංගය දවසේ ලොකු හිත්රිඳීමක් වුණා. ඒ තමා සියල්ල මැනවින් සැලසුම් කරලා සෙනඟ පවා එන්න ගත්තට පස්සේ හදිසියේම කර්ෆියු දැම්මා. ඒක තමයි අපි RAWDS සංගීත කණ්ඩායම විදියට නාට්‍යයෙන් පිටත මංගල ප්‍රසංගය. ඊට පස්සේ කරන්න ගිය ප්‍රසංග පවා රටේ විවිධ ප්‍රශ්න මත කල් ගියා. ඒ නිසා අපි මානසිකව පවා වැටුණා. හේතුව අපේ හොඳම කාලේ, අපිට කිසි දෙයක් කරගන්න බෑ. මේක අපේ අපලයක් ද රටේ අපලයක් ද කියලා හොයා ගන්න බැරුව.

ඒ අතරේ සියලු බාධා එක්ක මංගල උත්සව, බර්ත්ඩේ පාටි වලට සහභාගී වෙමින් ඉන්නවා. නමුත් මීට වඩා දෙයක් අපිට කරන්න පුළුවන් කියන දේ අපි දන්නවා. අපේ පරම්පරාවේ සංගීත කණ්ඩායමක් විදියට මතක හිටින දෙයක් කරන්න තියෙන කාලය නේද කියලා හිතද්දී ඒ ගැන අපිට දුකයි. නාට්‍යය තුළත් අපි ජීවත් වෙන්න සටනක් කරන්නේ. ඒ වගේම තමයි සැබෑ ජිවිතේ පවා අපි ලොකු සටනක් කරන්නේ.

ටෙලි නාට්‍යය ඇතුළේ RAWDS සංගීත කණ්ඩායම "සිමෙන්ති බංකුවේ" කියන ගීතයක් නිර්මාණය කළා. ඒතුළ තියෙන්නෙත් මේ ජිවන අරගලය ගැන. එය ලිව්වේ නිලාර් එන් කාසිම් මහතා. සංගීතය ඉඳුවර සූරියබණ්ඩාර සහ ශම්මික ගීෂාන්ත්.

 

සිමෙන්ති බංකුවේ නිදන්න කලියෙන්

අහස් මාලිගේ සැලැස්ම ඇඳපන්

පතොක් ගහෙත් මල් පිපෙන්න පුළුවන්

වැටිච්ච තැන් වල ඉලක්ක හොයපන්

 

මේක තමයි RAWDS සංගීත කණ්ඩායම කරපු පළවෙනි නිර්මාණය. ලොකු කුඩා හැමෝම ආදරය කරන ගීතයක්. පාරදිගේ බලන රසික රසිකාවියන් හොඳින්ම දන්නා ගීතයක්. මේකෙන් පස්සේ අපි ගීත කිහිපයක්ම කරන්න සැලසුම් කරලා තියෙනවා. RAWDS සංගීත කණ්ඩායමේ ගීත ඇල්බම් එකක් විදියට. ඒ වගේම මේ වෙද්දී විදෙස් සංචාර වලට පවා අපේ කණ්ඩායමට ආරාධනා ලැබිලා තියෙනවා.

අපේ RAWDS සංගීත කණ්ඩායමේ සාමාජිකයන් ගැනත් මම මතක් කරන්නම්. මේ වෙද්දී නව දෙනෙක්ගෙන් සන්නද්ධ කණ්ඩායමක් ඉන්නේ. මම තමයි ප්‍රධාන ගායන ශිල්පියා. ඉඳුවර සූරිය බණ්ඩාර රිදම් ගිටාර් වාදන ශිල්පියා. සචින් චතුරංග ෆර්ගසන් වාදන ශිල්පියා. මනුජ ප්‍රනාන්දු ලීඩ් ගිටාර් වාදන ශිල්පියා. රෙහාම් බේස් වාදන ශිල්පියා. දශින් තවත් අපේ ගායන ශිල්පියෙක්. එතකොට ශම්මික ගීෂාන්ත් කී බෝඩ් වාදන ශිල්පියා. ඒ වගේම සෙවුනෙත් තමයි ඩ්‍රම්ස් වාදන ශිල්පියා.

මේ කාලේ අපි සියලුම දෙනා පුළුවන් තරම් රෝලක් ගහගෙන ජිවිතේ පවත්වාගෙන යන්න උත්සහ කරන්නේ. මම තමයි කණ්ඩායමේ ම වැඩිමල් කෙනා.

අනිත් හැමෝම මට වඩා බාලයි. ජූඩ් කියන චරිතේ වගේම තමයි ඉඳුවර සමහර දේවල් පටන් ගනිද්දිම කියනවා ඕක නම් හරියන්නේ නැහැ කියලා. වෙලාවකට චරිතේම තමයි ඇත්තම ජිවිතේ. මට මේ හැමෝම මගේම මල්ලිලා වගේ දැනෙන්නේ. ඒ නිසා මගේ හිත රිදුණත් මම ඒ ගැන නොපෙන්වා ‘ගණන් ගන්න එපා ඕවා ඔහොම තමයි‘ කියලා ඒ අයව ශක්තිමත් කරනවා. ඒ නිසා ලැබෙන බාධා හිත් රිඳීම් අබිබවා යන චේතනාවෙන් තමයි අපි කණ්ඩායම විදියට එකමුතුව වැඩ කරන්නේ.

RAWDS සංගීත කණ්ඩායමේ අලුත්ම වැඩ ටිකක් ආදරණීය රසිකත්වයට දෙන්න සුදානමින් ඉන්නවා. මෙතෙක් අහපු නැති විදියේ නැවුම් වූ ගීත කිහිපයක් කරන්න අපි උත්සහ කරනවා. රටේ තත්වය යහපත් වූ ගමන් අපි සුදානම් ලස්සනට බෑන්ඩ් එකේ වැඩ ටික කරගෙන යන්න. එතෙක් ආරාධනා කරනවා පාරදිගේ නාට්‍යය සමඟ වගේම RAWDS සංගීත කණ්ඩායම එක්ක හැමදාම ඉන්න කියලා.“

ගයාන් ගුණවර්ධන තම කණ්ඩායම ගැන පවසන්නේ බොහෝ ආදරයෙනි.

Comments