සිංහල සින්දු ගයා The Voice Teens කිරුළ දිනූ ප්‍රනිර්ෂා | Page 3 | සිළුමිණ

සිංහල සින්දු ගයා The Voice Teens කිරුළ දිනූ ප්‍රනිර්ෂා

The Voice Teens Sri Lanka අවසන් මහා තරගය පසුගිය දා (03) උත්කර්ෂවත් ලෙසින් රත්මලාන, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විණ. ක්ෂේත්‍රයේ ජනකාන්ත ප්‍රවීණයින් සිව් දෙනකුගේ පුහුණුවෙන්, නව යොවුන් හඬ පෞර්ෂ‍ 4 ක් එම රාත්‍රියේ එකම කිරුළක් උදෙසා තරග වැදුණු අතර එම තරගකරුවන් වූයේ බණ්ඩාරවෙලින් ආ ප්‍රනිර්ශා ත්‍යාගරාජා, කටුනේරියෙන් ආ සසිඳු රවීන්, මීගමුවෙන් ආ නවෝද්‍ය පෙරේරා සහ දියතලාවෙන් ආ රසාල් තේමින්දයි.

සිරස The Voice Teens සංවිධායකයින් පවසන්නේ මෙතරම් අසීරු හා අභියෝගාත්මක කාල සීමාවක කෙතරම් බාධක පැමිණිය ද අඛණ්ඩව මෙම වැඩසටහන ඉදිරියට රැගෙන ගියේ තරුණ තරුණියන්ගේ ජවය පෙන්වීමට වේදිකාවක් ලබාදීම සඳහා බවයි. කෙසේ වෙතත් අවසන් මහා රාත්‍රියේ The Voice Teens Sri Lanka 2022 කිරුළ දිනාගන්නට සමත් වුණේ බණ්ඩාරවෙල ප්‍රනීර්ෂායි.

 

නම - ප්‍රනීර්ෂා ත්‍යාගරාජා

ගම - බණ්ඩාරවෙල

පාසල - බණ්ඩාරවෙල දෙමළ

මධ්‍ය මහා විද්‍යාලය.

කී වෙනි වසරේද ඉගෙනුම ලබන්නේ - 9 වෙනි වසර (ඉංග්‍රීසි මාධ්‍යයයෙන්)

 

පවුලේ විස්තර - අම්මා ආරුමුගන් කවිතා. අම්මා ගුරුවරියක්. තාත්තා පෙරුමාල් ත්‍යාගරාජා. තාත්තා ව්‍යාපාර කටයුතු කරන්නේ. අක්කා රිදුර්ෂා ත්‍යාගරාජා. ඇය බණ්ඩාරවෙල සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබනවා.

 

වොයිස් ටීන් එකට ඇප්ලයි කරන්න හිතුවේ ඇයි?

කලින් සැර වල The Voice Teens බලලා ආසාවක් තිබුණා කවදා හරි The Voice Teens වේදිකාවේ ගීත ගයන්න. ශක්ති ටීවී එකේ වැඩසටහන් වලටත් ඇවිත් තියෙන නිසා එක් අතකින් බැලුවාම නැවතත් ස්ටයින් මැදිරි සංකීර්ණයේදී The Voice Teens වේදිකාවේ ගීත ගැයීම හීනයක් කිව්වොත් නිවැරදියි.

 

කොහොමද මේ අවස්ථාව උදා කර ගන්නේ

දවසක් අපට ආරංචි වුණා The Voice Teens එකේ ඔඩිෂන් එකක් බණ්ඩාරවෙල තියෙනවා කියලා. එතැනට යද්දී දහස් ගණන් ළමයි ඇවිත් හිටියා. එදා මම මගේ ඉදිරිපත් කිරීම කරලා ගෙදර ආවා. සති දෙකකින් පස්සේ වගේ තමයි දැන ගත්තේ මාව තේරිලා කියලා, ඊට පස්සේ තමයි කොළඹට ආවේ.

 

විශ්වාසයක් තිබුණද ජයග්‍රහණය කරා යන්න ලැබෙයි කියලා?

නැහැ. එහෙම දැඩි විශ්වාසයක් තිබ්බේ නැහැ. පාසලේ දී වුණත් මට ඕනේ තරගයකට සහභාගී වෙන්න පමණයි. දිනන්නම ඕනේ කියලා එකක් නැහැ. සහභාගී වෙන්න ලැබීමම මම දකින්නේ එක්තරා විදියකට ජයග්‍රහණයක් කියලා. එහෙම තමයි මම මේ තරගයට ආවෙත්. එදා දවසේ ඉදිරිපත් කිරීමට උපරිම සාධාරණයක් කරන්න පමණයි මම උත්සහ කළේ.

 

 ජයග්‍රහණය ලැබූ වෙලාවේ දැණුනු හැඟීම කොහොමද?

ඒ මොහොතේ වේදිකාවේ දී දැනුණු සතුටට වචන නැහැ. ඒ තරම් සතුටක් තියෙනවා.

 

වැඩිම ප්‍රතිචාරයක් ලැබුණු ගීතය මොකක් ද?

මගේ රටට දළදා හිමි සෙවණයි ගීතය ගායනා කළාට පස්සේ තමයි ප්‍රනීර්ෂා ත්‍යාගරාජා කියන නමින් ලංකාවේ හැමෝම වගේ මාව දැන ගත්තේ. ඒක මගේ මේ The Voice Teens වේදිකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් නිවැරදියි. ඊට පස්සේ මම ගැයූ "සාමි සාමි" කියන ගීතයට සිංහල දමිළ හැමෝගේම ආදරය මට ලැබුණා.

 

ඔබේ කෝච් අභිෂේකා විමලවීර, දුන්න මුල්ම උපදෙස මොකක් ද?

අපි හැමෝටම මේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න අවශ්‍ය කරන විනය තමයි කියලා දුන්නේ. ඒ වගේම තමන් ගායනා කරන ගීතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නේ කොහොමද? හඬ පාලනය කර ගන්නේ කොහොමද කියන දේවල් තමයි.

 

The Voice Teens වේදිකාව ගැන මොකද හිතෙන්නේ

සංගීත පාසලකට ගියා වගේ. සංගීතය ගැන විශාල දැනුම් සම්බාරයක් එකතු කරගන්න පුළුවන් වුණා. The Voice Teens කාලය පහුකරලා අවසන් මහා තරගයට ඉදිරිපත් වුණා කියන්නෙම විභාගයකට මුහුණ දුන්නා වගේ.

 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මා තමයි පුංචි කාලේ ඉඳන්ම සංගීතයට යොමු කළේ. අම්මාත් පොඩි කාලේ නැටුම් සංගීතය හදාරපු කෙනෙක්. අම්මා හරි කැමතියි අපි කලාවට සම්බන්ධ වෙනවට. අක්කටත් කලා හැකියාවන් තියෙනවා. අක්කා මා එක්ක සින්දු කියනවා.

 

දිගටම සංගිතයේ නියැළෙන්නද බලාපොරොත්තුව

පාසලේ දීත් සංගීත කටයුතු කරගෙන යනවා. අලුත් ගීත නිර්මාණ කිහිපයක් කරන්නත් අදහසක් තියෙනවා.

 

අනාගතයේ කවුරු වෙන්නද කැමති පුංචි කාලේ ඉඳන්ම හීන දකින්නේ වෛද්‍යවරියක් වෙන්න.

මේ දවස් වල හැමෝම කතා වෙන ප්‍රනීර්ෂා ත්‍යාගරාජා එක්ක ඇයගේ ආදරණීය පියාණන් තමයි තනි නොතනියට එන්නේ, තාත්තා ත් ඉන්න නිසා දුව ගැන අද දැනෙන හැඟීම නොඅසා හිටියොත් අඩුවක් කියලයි මට හිතුණේ, මොකද හිතෙන්නේ The Voice Teens කිරුළ දුවට හිමිවීම ගැන

ලොකු සතුටක් දැනෙනවා. අපි දෙමළ. නමුත් අපි දෙමළ කියන එක කවදාවත් දැනිලා නැහැ. ළමයින්ටවත් ජාති ආගම් පුරුදු කරලා නැහැ. අපෙ ගෙවල් අහල පහල සිංහල දෙමළ මුස්ලිම් හැමෝම ඉන්නවා. ඒ අය එක්ක සමඟියෙන් ඉන්නේ. මොන දේ තිබ්බත් අපිට කවදාවත් වෙනස්කමක් දැනිලා නැහැ. සිරසට ආවම වුණත් එක පවුලක් වගේ ඉන්නේ. මුල් කාලේ දුවට සිංහල පොඩ්ඩක් අමාරු වුණත් ළමයි එක්ක එකට පුරුදු වෙලා දැන් හොඳින් සිංහල කතා කරනවා. සිංහල සින්දු පවා ගායනා කරද්දී ඒ ගැන අපිටත් පුදුමයි.

Comments