
මම විකට චරිත මවන නිසා මිනිස්සු හිතන්නෙ මට, පෞද්ගලිකවත් එයාලව හිනස්සන්න පුළුවන් කියලා. අනේ අපොයි, එහෙම කරන්න නම් කොහොමටත් බෑ. මොකද පෞද්ගලික ජීවිතේ මං හරිම නිශ්ශබ්ද කම්මැළි චරිතයක්.
“ඔබ සමීපයට මී මැස්සෙක් ආවොත් ඔබ කුමක් කරයිද?" අනිවාර්යයෙන්ම උගෙන් බේරෙන්න ඔබ, මොනවම හරි දෙයක් කරන බව නම් ස්ථිරයි. ඒ, මී මැස්සා දෂ්ට කරාවි යන බිය ඔබේ හිතේ තියෙන නිසයි.දිගින් දිගටම මී මැස්සගෙන් ඔබට බේරීමක් නැති වුණොත්, සමහරවිට ඔබ, අතට අහුවෙන දේකින් වුණත් ඌට පහර දෙන්න ඉඩ තියෙනවා.
අන්න ඒ විදිහට මී මැස්සෙක් නිසා අපමණ කරදරවලට මුහුණ දී අවසානයේ නීතිය හමුවට ගිය මිනිසෙක් ගැන කියවෙන කතාවක් තමයි “Man Vs Bee“ කියන්නෙ.
අපේ රටේ වගේම ලොව පුරා සිටින ලොකු, කුඩා, බාල, මහලු කොයි කාගේත් ජනාදරය දිනා සිටින ලෝක ප්‍රසිද්ධ විකට නළු රෝවන් සෙබස්තියන් ඇට්කින්සන් (Rowan Sebastian Atkinson) රඟන අලුත්ම විකට ටෙලි කතාමාලාව “Man Vs Bee“ Netflix හී විකාශය වනවා.
අපි කවුරුත් හඳුනන දන්න නමින් කියනවා නම් මිස්ට බීන් “Mr Bean“ ගේ අලුත්ම කොමඩි කතාව.
මුළු ලොවක්ම හඳුනන, ඇදෙන සුලු රබර් මුහුණක් ඇති මිනිසා ලෙස ප්‍රකට මිස්ට බීන් ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.
‘රෝ‘ Row කියන කෙටි නාමයෙන් හඳුන්වන රෝවන් ඇට්කින්සන් උපන්නේ 1955 ජනවාරි 6 වෙනිදා එංගලන්තයේ කොන්සෙට්හීදීය.
නිව් කාසල් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරපු ඇට්කින්සන්ට එහිදි තිර රචක රිචඩ් කර්ට්ස් ව මුණ ගැසෙනවා. මේ මිතුරන් දෙදෙනා විහිළු කතා ගැන විවිධ විදිහෙ අත්හදා බැලීම් සිදු කරනවා.
“80 දශකයේ බ්‍රිතාන්‍යයේ හිටපු ෆිල් කොලින්ස් ඩේවිඩ් බෝවි, ඩ්‍රරන් ඩ්‍රරන් වගේ අය සංගීතයෙන් මුළු ලොවක් වසඟ කරලා ලෝක ප්‍රසිද්ධ වෙලා ඉන්න එක ගැන මගේ හිතේ ඉරිසියාවක් තිබුණා. මටත් විකට චරිතයකින් ඒ වගේ ලෝක ප්‍රසිද්ධ වෙන්න බැරි ද කියලා නිතරම හිතුණා. කොහොම හරි මම ඒක කරන්න ඕන කියලත්, මට ඒක කරන්න පුළුවන් කියලත් විශ්වාසයක් තිබුණා.“
1990 දී ලොවක් සිනහ සයුරේ ගිල්වූ “මිස්ට බීන්“ චරිතය එළියට ආවේ අන්න ඒ ආසාවේ ප්‍රතිඵලයක් විදිහට කියලයි ඇට්කින්සන් කියන්නේ.
මිස්ට බීන් චරිතය මවන්න කලින් ඇට්කින්සන් චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වුණත් මුළු ලෝකයම ඔහු ගැන දැන ගත්තෙ “මිස්ට බීන්“ චරිතයෙනුයි.
වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ ඇට්කින්සන්ට 1980 BBC එකේ වැඩ කරන කාලේ සුනේත්‍රා සාස්ත්‍රි Sunetra Sastry නම් තැනැත්තියව මුණගැසෙනවා.
අවුරුදු කිහිපයක සම්බන්ධයකින් පසුව ඇට්කින්සන් 1990 දී ඇය විවාහ කර ගන්නවා.
දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වන ඔවුන් 2014 දී වෙන්වෙලා 2015දී දික්කසාද වෙනවා.
“මම විකට චරිත මවන නිසා මිනිස්සු හිතන්නෙ මට, පෞද්ගලිකවත් එයාලව හිනස්සන්න පුළුවන් කියලා. අනේ අපොයි, එහෙම කරන්න නම් කොහොමටත් බෑ. මොකද පෞද්ගලික ජීවිතේ මං හරිම නිශ්ශබ්ද කම්මැළි චරිතයක්.“
ඇත්තටම රඟපෑ චරිත ගැන සෑහීමකට පත්වෙනවද කියලා ඇහුවම, ඇට්කින්සන් කියන්නේ, සම්පූර්ණයෙන් ම ආඩම්බර වෙන්න පුළුවන් චරිතයක් රඟපාන්න තාමත් ලැබුණෙ නැහැ කියලයි.
ඒ වගේ ම මිස්ට බීන් කතා දිගින් දිගටම නිර්මාණය නොකොට නවතා දැමුවේ, ඒ චරිතය කවදාක්වත් වයසට නොයා සදාකාලික චරිතයක් ලෙස රසිකයන්ගේ මතකයේ තියෙන්න ඕන නිසා කියලයි ඔහු කියන්නෙ.
ඉතිං මිස්ට බීන්ගෙ කතා මාලාවෙන් පස්සේ ඇට්කින්සන්ගෙ අලුත්ම චරිතය තමයි ට්‍රෙවර්ගේ චරිතය.
නිවාඩුවක් ගත කිරීමට පිටත්ව යන ධනවත් පවුලකට හිමි වටිනා කලා කෘති වලින් පිරුණු සුඛෝපභෝගී නිවස බලාගන්න Housesitter ලෙස සේවයට පැමිණෙන ට්‍රෙවර් ට එම මන්දිරය තුළදී මී මැස්සෙකු මුණගැසී සිදුවන මහා ජංජාලය එහෙමත් නැත්නම් මී මැසි මිනිස් ගැටුම Man Vs Bee ලෙස ඔබටත් රසවිඳින්නට හැකියි.