කවුරුත් මට ආදරේට කියන්නේ පැට්ටෝ කියලා; තෙනුකි සන්සේයා | Page 2 | සිළුමිණ

කවුරුත් මට ආදරේට කියන්නේ පැට්ටෝ කියලා; තෙනුකි සන්සේයා

රූගත කිරීම් සඳහා නිදාගත්තම මට ඇත්තටම නින්ද ගිහින්.

වෙළෙඳ දැන්වීමක තමයි මං මුලින්ම රඟපෑවේ.

 

රංගනයෙන් විස්කම් පාන පුංචි සුරංගනාවියක් ළමා නිළිය තෙනුකි සන්සේයා මෙවර අප ඔබට හඳුන්වා දෙන්නෙමු. හොරණ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු අටක් වන ඇය මේ දිනවල පුංචි තිරයේ 'මීනු' ටෙලි නාට්‍යය තුළින් ස්වාධීන රූපවාහිනිය හරහා ඔබේ නිවසට ගොඩවෙනවා.

 

තෙනුකි කියනවටද කැමති මිනුකි කියල කතා කරනවටද.?

මිනුකි කියනවට මං කැමතියි. ඒ නමින් තමයි මට දැන් ගොඩක් අය කතා කරන්නේ.

 

කියන්නකො අපිට මීනු ටෙලි නාට්‍යය ගැන.?

මීනු ටෙලිනාට්‍යයේ මං ගොඩක් ආසාවෙන් රඟපාන්නේ. මිනුකි තාත්තට ගොඩක් ආදරේ කෙනෙක්. මමත් ඒ වගේමයි. ඉරේෂ් ලොකුබණ්ඩාර මාමා තමයි ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නෙ.

එහි තිර රචනය කරන්නෙ ගයනි අශිංසනා නැන්දා. මේනක මාමයි ශලනි නැන්දයි එක්ක තමයි මම රඟපාන්නේ.

 

ඔයා මුලින් ම රඟපෑවෙ කොයි කාලෙද.?

එතකොට මට අවුරුදු පහයි. වෙ‍ෙළඳ දැන්වීමක තමයි මං මුලින්ම රඟපෑවේ. ඊට පස්සෙ තවත් වෙ‍ෙළඳ දැන්වීම් කීපයක රඟපාන්න ලැබුණා.

 

එතකොට ඔයා රඟපාපු ටෙලි නාට්‍ය මොනවද.?

කසුන් තරින්ද මාමා අධ්‍යක්ෂණය කරපු අකුරු මැකී නෑ ටෙලි නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ.ඒ බෝනස් නංගි ගේ චරිතය. ඊළඟට නිවන්ත ප්‍රසාර මාම අධ්‍යක්ෂණය කරපු සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ සකුනිගේ පුංචි කාලේ චරිතයට රඟපෑවා.

ඉන්පස්සේ වෙස් ගත්තෝ ටෙලි නාට්‍යයේ ප්‍රධාන ළමා නිළියට සම්බන්ධ වෙන්නත් අවස්ථාවක් ලැබුණා. ඒ නාට්‍යය අධ්‍යක්ෂණය කළේ ගයාන් මහගලගේ මාමා. එහි රඟපෑවෙ සඳුනි කියන චරිතය. වගීෂ විතාන මාමාගෙ පරෝපකාරය කියන ඒකාංගික ටෙලිනාට්‍යටත් රංගනයෙන් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.

 

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද කියල මතක් කළොත්.?

ලාල් දේවරත්න මාමා අධ්‍යක්ෂණය කරන කලියුග කාලය චිත්‍රපටයට මාව තෝරගෙන තියනවා. එහි කැකුළි කියන ප්‍රධාන ළමා චරිතය තමයි මම රඟපාන්නෙ.

 

රඟපානකොට වෙච්ච අමතක නොවන සිදුවීම් ගොඩක් ඇති නේද.?

දවසක් මීනු ටෙලි නාට්‍යයේ ශලනි නැන්දා එක්ක රඟපානකොට මට නිදාගන්න සීන් එකක් තිබුණා. රූගත කිරීම් සඳහා නිදාගත්තම මට ඇත්තටම නින්ද ගිහින්. ඉතින් මම නැඟිටලා හොඳටම ඇඬුවා. එදා ආයෙත් රඟපාන්න බැහැ කියලා. හැබැයි මට ඉරේෂ් මාමා බැන්නේ නැහැ. පහුවෙනිද ඉඳන් මම ආයම ආසාවෙන් රඟපෑවා.

 

ඔයාට මේ ගමන එන්න උදව් කළේ කවුද.?

අභාවප්‍රාප්ත රංගන ශිල්පී දමින්ද මෙන්ඩිස් ගුරුතුමා යටතේ මම රංගනය හැදෑරුවා. මට රඟපාන්න ලැබුණෙත් ඒ ලබපු පුහුණුව නිසා. මීනු ටෙලි නාට්‍යයේ පිටපත ලියූ ගයනි අසිංසලා නැන්දා, සහාය අධ්‍යක්ෂ නිශාන්ත රණසිංහ මාමා, අධ්‍යක්ෂක ඉරේෂ් ලොකුබණ්ඩාර මාමා, ශලනි නැන්ද, මේනක මාම ඇතුළු හැමෝම මට ගොඩක් ආදරෙන් හැමදේම කියල දෙනවා. පැට්ටො කියල තමයි හැමෝම මට කතා කරන්නෙ. මම රඟපානකොට වැරදීම් වුණොත් එයාල මාව දිරිමත් කරනවා. හැමෝම මගෙ රඟපෑම් අගය කරනකොට මට හරිම සතුටුයි.

 

ඔයාගෙ පවුලෙ විස්තර ටිකක් කියමු.?

මගෙ පවුලේ අයියයි, අක්කයි, අම්මයි, තාත්තයි තමයි ඉන්නෙ. මගෙ අයිය සහන් සහ අක්ක විශ්මි ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා. එයාල මට ගොඩක් උදව් කරනවා. අම්මයි තාත්තයි ටුවරිසම් තමයි කරන්නෙ. ඒ දෙන්නම මට ගොඩක් ආදරෙයි. තාත්තා තමයි රඟපාන හැමතැනකටම මාව එක්කගෙන යන්නේ. දවස් ගණනක ෂූටින් ගියත් තාත්තා මාත් එක්කම ඉන්නවා. හැබැයි මම රඟපාන ඒවා වැඩිපුරම බලන්න කැමැති මගෙ අම්මා.

 

අනාගත බලාපොරොත්තු මොනවද.?

හොඳට ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඔස්ට්‍රේලියාවට යන්න ඉන්නෙ. හැබැයි දිගටම රඟපාන්න ආසයි. මට සිංදු කියන්න වගේම නටන්නත් පුළුවන්. ඒ නිසා රංගනය වගේම නර්තනය සහ ගායනයත් හදාරන ගමන් ඉදිරියටත් කලා කටයුතු වල නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා.

Comments