‘රූමා’ සමඟ ඔබේ ආලින්දයට එන තුර්කි නිළිය - ලෙයිලා | සිළුමිණ

‘රූමා’ සමඟ ඔබේ ආලින්දයට එන තුර්කි නිළිය - ලෙයිලා

ජීවිතයේ අනේක විධ කම්කටොලු හමුවේ 'සේරා' ඉන් මිදෙන්නට වෙහෙසෙන දිරිය ගැහැනියකි. තම පවුලේ අඟහිඟකම් නිසාවෙන්ම ඇය මෙහෙකාර සේවයේ යෙදුනාය. තම දරුවන්ගේ අභිලාෂයන් වෙනුවෙන් කැපවුණු ඇය, දරුවන්ගේ යුතුකම් ඉටු කරන අපුරු මවක් වූවාය. තම එකම දියණියගේ අභියෝගාත්මක, යොවුන් ආදරය හමුවේ ‘සේරා‘ මවක් ලෙස, මැදහත්, මධ්‍යස්ථ සිතින් ඉවසීමෙන් කටයුතු කළාය.

 

ඒ අභියෝගාත්මක ආදර කතාව ‘රූමා‘ ලෙස හිරු ටී. වී. ඔස්සේ සතියේ දින පහේම රාත්‍රි 9.30 ට විකාශය වන්නේ එලෙසිනි. ඉන්දියානු මෙගා නාට්‍ය වලට අභියෝගයක් වෙමින්, ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින්, විකාශය වන 'තුර්කි' ටෙලිනාට්‍ය, මේ වන විට අපේ රටේ ප්‍රේක්ෂකයාගේද ආකර්ෂණය දිනා අවසන්ය.

ලංකාවේ ‘රූමා‘ ලෙස සිංහලෙන් හඬ කවා විකාශය වන මෙම ටෙලිනාට්‍යයේ සැබෑ නම, ඇඩිනි ෆෙරිහා කොයිඩම් ය. (ADINI FERIHA KOYDUM) ෆෙරිහා නම් ගැහැනු දැරිය (THE GIRL NAMED FERIHA) එය 2011 - 2012 වසර ඇතුළත තුර්කි ටෙලි තිරයේ විකාශය වුවකි.

මෙම ටෙලි වෘතාන්තයේ ප්‍රධාන චරිතය වන රූමාගේ චරිතයට පණ පොවන්නේ තුර්කි මෝස්තර නිරූපිකාවක මෙන්ම ජනප්‍රිය නිළියක් වන ලෙයිලා හසල් කායා ය. (LEYLA HAZAL KAYA)

කායා උපත ලැබුවේ 1990 ඔක්තෝබර් මස තුර්කියේ කොන්යා හිදීය. ඇගේ දෙමාපියන් නීතීඥවරුන් වන අතර කායාට අවුරුදු හතේදී ඔවුන් දික්කසාද වූහ. ඉන් පසු ළාබාල වියේදීම ඇය කලාවට පිවිස. වසර හතක් පමණ මුද්‍රා නාට්‍ය සහ වයලීන් වාදනය ප්‍රගුණ කළාය.

කායාට, තම මවු භාෂාව මෙන්ම, ඉංග්‍රීසි සහ ඉතාලි භාෂාව චතුර ලෙස කතා කිරීමේ හැකියාවක් ඇත. මේ වන විට ඇය ජර්මානු භාෂාවද හදාරමින් සිටී. 2006 වසරේ ජෙන්කෝ (GENCO) ටෙලි කතා මාලාවට රංගනයෙන් දායක වීමෙන් ඇය ඇගේ රංගන දිවිය ආරම්භ කළාය. එතැන් සිට දිගටම රංගනයේ යෙදුනු කායා 2011 දී චිත්‍රපටකයකට දායක වීමෙන් පසු පුළුල් ලෙස රංගනය හැදෑරීමට පියවර ගත්තාය.

මෙම ‘රූමා‘ ටෙලි වෘත්තාන්තයේ රඟපෑමෙන් ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් විය. අගහිඟකම් මධ්‍යයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ‘රූමා‘ විශ්ව විද්‍යාලයේ ජනප්‍රියතම සිසුවා සේම, ධනවත් පවුලක කඩවසම් තරුණයෙකු සමඟ ආලයෙන් බැඳේ. ඒ ආදරය හමුවේ මුහුණ දෙන ගැටුම් නිරාකරණය කර ගනිමින් ජීවිතය ගෙවන අයුරු ඇය අපුරුවට නිරූපණය කරමින් මෙහි රංගනයේ යෙදෙයි.

‘රූමා‘ ටෙලි වෘත්තාන්තය තුර්කියේ ඉහළම ශ්‍රේණි ගත කිරීමට ලක් වූ එකකි. ‘රූමා‘ කතා මාලාවන් දෙකකින් සමන්විත වුවද, කායා 2012 වසරේ එහි රංගනයෙන් ඉවත් වුවාය. ඉන් පසු ටෙලි කතා කිහිපයකම ප්‍රධාන චරිත රඟපෑ ඇය, මේ වන විට තුර්කියේ ඉහළම වැටුප් ලබන නිළියන්ගෙන් කෙනෙකි. 2014 වසරේ ලොව වඩාත්ම බලවත් නම් අතර හසල් කායාගේ නම ඇතුළත්ව තිබූ අතර, කලාකරුවන්ගේ කාණ්ඩයේ ජාත්‍යන්තර විශිෂ්ටත්ව පදක්කම ඇයට හිමි වීම විශේෂත්වයකි.

ඈ 2015 දී ලෙබනන් සම්මානයෙන් පිදුම් ලද එකම තුර්කි ජාතිකයාද වුවාය. 'WORLD MOST BEAUTIFULS' වෙබ් අඩවියේ, 2016 වසරේ ලස්සනම කාන්තාවන් දස දෙනාගේ ලයිස්තුවේ ඇයට පස් වන තැන හිමි විය.

අද වන විට සම්මාන පිට සම්මාන හිමිකරගෙන සිටින කායා, දිනාගත් සම්මාන ගණන දාහතකි. 2010 දී ඇය යොවුන් නිළියට හිමි සම්මානය දිනා ගෙන MOST BEAUTIFUL ACTRESS ලෙස 2011 දී සම්මානයට පාත්‍ර වූවාය. මේ වන විට ඇය හොඳම නිළියට හිමි සම්මාන 8ක් දිනාගෙන තිබීමත් තම ජීවිතයේ සුවිශේෂී දෙයක් බවයි ඇය පවසන්නේ.

"මේ දවස් වල මං මගේ පුංචි පුතාගේ හුරතල් බල බල කාලය ගත කරනවා. එයාට වයස අවුරුදු දෙකයි මාස අටක්. හරිම හුරතල්.“

ෆික්‍රෙට් අලි අටේ (FIKRET ALI ATAY) ලෙස නම් තබා ඇති කායාගේ සුරතල් පුතු, උපත ලැබුවේ 2019 වර්ෂයේදීය. තුර්කි නළු අලි අටේ (ALI ATAY) සමඟ කායා විවාහ වුවේ 2019 වසරේ පෙබරවාරි 06 වෙනිදාය.

අපේ රටේ ‘රූමා‘ ලෙස විකාශනය වන මෙම ටෙලි වෘත්තාන්තය යුක්රේනය, පකිස්ථානය, ඉරානය, සර්බියාව, පේරු, ඉන්දියාව වැනි රටවල් ගණනාවක මේ වන විට විකාශය වී ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන ඇත.

 

Comments