රූපවාහිනී නාට්‍ය අතරට ‘වීනස්ගේ උපත’ ගෙන එන රවීන්ද්‍ර | Page 2 | සිළුමිණ

රූපවාහිනී නාට්‍ය අතරට ‘වීනස්ගේ උපත’ ගෙන එන රවීන්ද්‍ර

‘මිණිමුතු’ගෙ චරිතය ඉතාම ප්‍රවේශමෙන් තෝරාගතයුතු චරිතයක්. ලස්සන කෙලිලොල් බව වගේම වගකීම් සහගත බව පෙන්වන්න පුළුවන් හැඟීම් හොඳින් ඉදිරිපත් කළ හැකි කෙනෙක් අප හෙව්වා. අපි කිහිප දෙනකුම ගෙන්නලා පෙරහුරු කිහිපයක් කළා. ඉන් අපට හොඳින්ම හිතට දැනුණේ ශලනි තාරකා.

ළඟදි විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය පිළිබඳ සොදිසි කරන විට හරි අපූරු ටෙලි සිත්තමක් ගැන අහන්න ලැබුණා. සූර ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන රවීන්ද්‍ර විජේරත්න වෙනස් ගමනකට මුලපුරමින් මේ දිනවල ප්‍රවීණ ලේඛිකා ශමෙල් ජයකොඩි විසින් විරචිත ‘වීනස්ගේ උපත’ නම් නවකතාව ටෙලි සිත්තමට නඟමින් තිබෙනවා.

 

රවින්ද්‍ර විජේරත්න කියන්නේ වසර තිස්දෙකක් පමණ ක්ෂේත්‍රයේ පළපුරුදු ප්‍රවීණයෙක්. රවින්ද්‍ර විජේරත්ත හා හා පුරා කියල 2002 වසරේ ‘ඉන්ද්‍රචාප’ කියන ටෙලි සිත්තමත් එක්ක ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ භූමිකාවට පණ පොවනවා. එතැන් සිට ලංකාවේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන් එතෙක් බාර නොගත් අභියෝගයක් රවින්ද්‍ර බාර ගන්නවා. ඒ ඉන්දියානු අධ්‍යක්ෂකවරුන් යටතේ තැණුන මෙගා ටෙලිනාට්‍ය රැල්ලට වෙනුවට අපේ හැඩය මුසුවූ පළමු මෙගා ටෙලිනාට්‍ය ලෙස ‘ජීවිතේ ලස්සනයි’ නිර්මාණය කරමින්. එතැන් සිට ‘රුවන් මාලිගා, අපි අපි වගේ, තූර්යා, සඳ සඳ වගේ, සහ මේ දිනවල කාගේ කතාබහට ලක්ව තිබෙන ‘බොනිකරතරු’ ආදී ටෙලිනාට්‍ය හතළිස් පහක් පමණ නිර්මාණය කළ ඔහු ‘වීනස්ගේ උපත’ එක්ක මේ අර අඳින්නේ තවත් අභියෝගාත්මක වැඩකටයි.

ඒ ගැන ඔහු කියන්නේ මේවගේ කතාවක්

“අලුත් පොතක් ආවම මම හරිිම ආසාවෙන් ඒක අරන් කියවනවා. ඒ වගේ ආස හිතිල කියවපු පොතක් තමයි ශමෙල් ජයකොඩි කියන ප්‍රවීණ කතුවරියගේ ‘වීනස්ගේ උපත’ නවකතාව. ඒක කියෙව්වම මට හිතුණා මේකෙන් ටෙලි නිර්මාණයක් කරන්න ඕන කියලා. මං මෙතෙක් නවකතාවකින් ටෙලි නිර්මාණයක් කරල තිබුණේ නැහැ. ඒ නිසා ඒ අභියෝගයත් ජයගන්න ඕන කියන අදහස ඇති වුණා. මං අපේ ‘දුරුතු ක්‍රියේෂන්’ හි නිෂ්පාදක තරංග දිසානායකට කතා කළා. ඔහුට පොත දුන්නා. ඔහුත් ඒක කියවලා මගේ මතය අනුමත කළා. ඊට පස්සේ අපි ශමෙල් ජයකොඩි මහත්මියට කතා කරලා අපේ අදහස කිව්වා. ඇය ඊට බෙහෙවින් කැමති වුණා. තිරපිටපත ලියන්න දක්ෂ තරුණ පිටපත් රචකයකුවන අසංක සායක්කාරට දුන්නා. ඊට පස්සෙ තමයි අභියෝගාත්මක අවස්ථාව ආවේ. ඒ තමයි නළු නිළියන් තෝරා ගැනීම.

මෙහි එන ‘මිණිමුතු’ගෙ චරිතය ඉතාම ප්‍රවේශමෙන් තෝරාගතයුතු චරිතයක්. ඒ චරිතය නිරූපණය කිරීම සඳහා ලස්සන කෙළිලොල් බව වගේම වගකීම් සහගත බව පෙන්වන්න පුළුවන් හැඟීම් හොඳින් ඉදිරිපත් කළ හැකි කෙනෙක් වෙන්න ඕන. අපි කිහිප දෙනකුම ගෙන්නලා පෙරහුරු කිහිපයක් කළා. ඉන් අපට හොඳින්ම හිතට දැනුණේ ශලනි තාරකා. ඇය විශාල පරාසයක වැඩ කළ හැකි දක්ෂ තරුණ නිළියක්. අපි ඇයව ප්‍රධාන චරිතය වන ‘මිණිමුතු’ විදියට තෝරගත්තා.”

මේ නවකතාවේ ඉන්න චරිත ගත්තාම මිණිමුතු වගේම ඉයුජින් ඒ හා සමාන ප්‍රධාන චරිතයක්. “ ඔව්, ඒ සඳහා අපි තෝරගත්තේ ප්‍රතිභාපූර්ණ නිළියකවන ජයනි සේනානායකවයි. ඊළඟට සිරිසුමණ ඇගේ සැමියා නාට්‍යකරුවා ලෙස තෝර ගත්තේ ජ්‍යේෂ්ඨ රංගවේදී හේමසිරි ලියනගේයි. බාල පුතා සංඛගේ චරිතයට සංජය මොරමුදලිවත්, දෙවැනි පුතාට ධනුක ඩිල්ෂාන්වත්, ලොකු පුතාට හර්ෂණ බෙත්මගේවත් තෝර ගත්තා. මෙහි එන තවත් චරිතයක් තමයි නාට්‍යකරුවාගේ නාට්‍යයේ පුහුණුවීම් කරන නව පරපුරේ නාට්‍යකරුවා. ඒ සඳහා ගිහාන් ප්‍රනාන්දුව තෝර ගත්තා. මේ ප්‍රධාන චරිත හැරුණුකොට සෙසු චරිත විදියට අනුරාධා එදිරිසිංහ සහ තව බොහෝ මේ සඳහා තෝරගත්තා.

‘වීනස්’ කියන්නෙ රෝම මිත්‍යා කථාවල හා ග්‍රීක මිත්‍යා කථාවල(ඇෆොඩයිටි) එන දේවතාවියක්. මෙම පුරානෝක්තිවලට අනුව ඇය රූපශ්‍රීයෙන් අනූන, සශ්‍රීකත්වය, ආලය හා රාගයට අධිපති දේවතාවියයි. ඇය සිය රූපශ්‍රීයෙන් හා ගැහැනු කමින් මුළු දෙව්ලොවම ඇගේ වසඟයට ගෙන සිටියා. ‘වීනස්ගේ උපත’ නම් නවකතාව තුළ අපට හමුවන “මිණිමුතු” ද රූසපුවෙන් අනූන ඕනෑම අයෙක් වසඟ කරන ගැහැනු කමින් පොහොසත් තරුණියක්. ඇගේ බලාපොරොත්තුව දවසක රටම පිළිගත් නිළියකවීම. ඇය තම ගෙදරින් පලා ඇවිත් නාට්‍යකරුවාගේ නිවසට පැමිණ ඇයව නාට්‍යයකට සම්බන්ධකර ගන්නා ලෙස ඉල්ලීමක් කරනවා. එතෙක් වසර ගණනාවක් තිස්සේ ඇඳට වී සිටින වයෝවෘද්ධ නාට්‍ය කරුවා දැඩි උද්යෝගයකින් පණ ගසා නැඟී සිටිනවා. එය දකින නාට්‍යකරුවාගේ බිරිඳ ඉයුජින් මිණිමුතු නිවසෙහි නතරකර ගන්නවා. තම වයෝවෘද්ධ ස්වාමියා වෙනදා නැති උද්යෝගයකින් සිටිනාව දැකීම ඇයට මහත් අස්වැසිල්ලක්. තරුණියගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නාට්‍යකරුවා නාට්‍යයක් ලියනවා. නාට්‍යයේ නම ‘වීනස්ගේ උපත’.

‘වීනස්ගේ උපත’ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේය. කැමරාකරණයෙන් නිරෝෂන් කොඩිප්පිලි, සංස්කරණයෙන් සමීර ප්‍රියරත්න, කලා අධ්‍යක්ෂණයෙන් රංග ජයලත්,වේෂනිරූපණයෙන් අමිල මිරිස්සගේ සහ සහය අධ්‍යක්ෂණයෙන් දිනේෂ් හග්ගල්ල දායක වෙති.

Comments