මං ආසයි ක්‍රිකට් ගහන්න සචින් | සිළුමිණ

මං ආසයි ක්‍රිකට් ගහන්න සචින්

ගුග්ලි ටෙලි නාට්‍යයේ සහේන් චරිතයට මම ගොඩක් කැමතියි

හොඳට ඉගෙනගන්න එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව

 

 

හෙට දවසේ කලා ලොව මහා වෘක්ෂයක් විය හැකි සලකුණු පහළ කරන දක්ෂ අංකුර ළමා නළුවෙක් තමයි සචින් නෙත්සර කියන්නේ. ගුග්ලි, මහ පොළව වැනි ටෙලි නාට්‍ය ගණනාවක් හරහා සිය දස්කම් විදහා පාමින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් වයස අවුරුදු එකොළහක් වන මේ පුංචි පුතා නමින් සචින් නෙත්සර.

 

මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ශිෂ්‍යත්වය විභාගෙන් පස්සෙ හෝමාගම රාජපක්ෂ විද්‍යාලයට තේරිලා ඉන්නේ. තවමත් පාසල පටන් ගත්තේ නැති ඔහු නිවසට වී සිටින ඔහුගෙන් කලා ක්ෂේත්‍රයට යොමු වීම ගැන අපි විමසුවා.

 

සචින් රඟපාන්න පටන් ගත්තෙ කොහොමද.?

පෙර පාසල් කාලෙ තමයි මම මුලින්ම රඟපෑවෙ. තාත්තා රට ඉන්න කාලේ අම්ම යවපු මගේ ෆොටෝස්, වීඩියෝස් දැකලා තාත්තගේ යාළුවෙක් එයාට කියලා තිබුණ පුතා ගොඩක් දක්ෂයි කියලා. ඒ කාලෙ මට ඉංග්‍රීසි උගන්වපු ගුරුවරියක් හිටිය නදීකා කියලා. ඒ ටීච මගෙ හැකියාවන් අඳුනගෙන ඒ ගැන අම්මටයි තාත්තටයි කිව්වා. තාත්ත රට ඉඳන් ආවෙ මගෙ මොන්ටිසොරි කොන්සර්ට් එක දවසෙ. එදායින් පස්සෙ තාත්ත මාව රංගනයට යොමු කළා. මුලින්ම කැලැන්ඩර් එකක ෆොටෝ එකකට හිටියා. ඊට පස්සෙ වෙ‍ෙළඳ දැන්වීම් වලට රඟපාන්න ලැබුණා.

 

රඟපාපු ටෙලි නාට්‍ය මොනවද කියලත් මතක් කරමු.?

මුලින්ම රඟපාපු ටෙලි නාට්‍යය තමයි රතු පිච්ච.

සුමිත් රත්නායක මාමා අධ්‍යක්ෂණය කරපු මහ පොළොව, මේනක රාජපක්ෂ මාමගෙ 'ගුග්ලි' ටෙලි නාට්‍යයේ රඟපෑව. “රේස්'ටෙලි නාට්‍යයේ රියස්, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයේ දේවදත්තගෙ ළමා කාලය චරිතයත් කළේ මම.

 

රඟපාපු චරිත වලින් කැමතිම මොන චරිතයට ද.?

මම කැමති ගුග්ලි නාට්‍යයේ සහේන් ගෙ චරිතයට සහ මහපොළව නාට්‍යයයේ රතු අප්පො චරිතයට. ඒ දෙකම ගැමි පරිසරයක කරපු නිර්මාණ නිසා ඒවට මම කැමතියි.

 

රඟපාන අතර වෙච්ච අමතක නොවන සිදුවීම් කීපයක් මතක් කළොත්.?

එහෙම සිදුවීම් ගොඩක් තියෙනවා. ගුග්ලි ටෙලි නාට්‍යයෙ චාමර අයියයි ගිහාන් අයියයි මාව පැහැරගෙන යන සිද්ධියක් තිබ්බා. එතනදි බයික් එකෙන් මාව අරගෙන යන වෙලාවේ අපි තුන්දෙනාවම බිමට වැටිල තුවාලත් වුණා. තව දවසක් මහ පොළව ටෙලි නාට්‍යයේ ගව පට්ටියට ගිහින් එළදෙනට වඳින සිදුවීමක් රඟපාන්න තිබුණා. අපි එතනට වෙලා ඉද්දී මගේ තාත්තා විදියට රඟපාපු මාමා මට බොරුවට ගැහුවා. ඒක අපේ අත්තම්මා දැකල ඒක ඇත්ත කියලා හිතලා එයාට කේන්ති ගිහින් මොකද මේ ළමයාට ගහන්නේ කියලා බැන්නා. පස්සෙ තමයි අත්තම්මට තේරුම් කළේ මට ගුටියක් දුන්නෙ බොරුවට කියලා.

 

ඉස්කෝලෙදි ආසාවෙන්ම ඉගෙනගන්න විෂය මොකක්ද.?

මම වැඩියෙන්ම කැමති ගණිතයට. ඒ වගේ ම දෙමළ ඉගෙනගන්නත් කැමතියි. මොකද ටැමිල් ෆිල්ම්ස් ගොඩක් බලන නිසා ඒව තේරුම් ගන්න පුළුවන්නෙ.

 

ඔයා කැමති ම නළුව කවුද කියල මං ඇහුවොත්.?

එහෙම විශේෂ ම කෙනෙක් නෑ.හැබැයි මං ඉන්දියාවේ ධනුෂ්ට ගොඩක් කැමතියි.

අපේ ගෙදර හැමෝම එකතු වෙලා එයාගෙ චිත්‍රපට බලනවා.

 

පුතාගෙ පවුලෙ කවුද ඉන්නේ?

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, මමයි, මල්ලියි. මගෙ අයිය පහන් සන්දීපත් රංගනයට සම්බන්ධයි. එයයි මායි දෙන්නම එකට රඟපෑව නිර්මාණ කිහිපයකුත් තියනවා.

 

ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකක් ද.?

එහෙම විශේෂ බලාපොරොත්තුවක් නම් නැහැ. හොඳට ඉගෙන ගන්න තමයි උත්සහ කරන්නෙ. මං කාලයක් කුංග්ෆු හැදෑරුව. ස්කෝලෙ පටන් ගත්තම ක්‍රිකට් සෙල්ලම් කරන්නත් ආසාවෙන් ඉන්නවා.

 

ඉදිරියේදි අපිට බලන්න පුළුවන් ඔයා රඟපාපු නිර්මාණ මොනවද .?

වනික පෙරේරා මාමා අධ්‍යක්ෂණය කරපු පස් ටෙලි නාට්‍යය ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. ඒකෙ පොඩ්ඩ කියන චරිතය තමයි මං රඟපාන්නෙ. ඉන්දියාවෙ ප්‍රදර්ශනය ආරම්භ කරන්න නියමිත අභිනික්මන චිත්‍රපටයෙ රඟපාන්නත් මාව තේරුණා.

 

ඔයාගෙ ගමනට උදව් කරපු අය මතක් කරමු නේද.?

විශේෂයෙන් මතක් කරන්න ඕන මගෙ පවුලෙ අයව. රංගන වැඩ නිසා මම මොන්ටිසෝරි කාලෙ ඉඳන් ම කොණ්ඩෙ වවාගෙන තමයි හිටියෙ. ඒකට අවසර දුන්න පෙර පාසලත්, ස්කෝල දෙකේ විදුහල්පති වරු, නදීකා ටීචර් සහ නිලුක්ෂි ටීචර් ඇතුළු සියලුම ගුරුවරු, මගෙ අධ්‍යාපන කටයුතු වලට උදව් කරන අයිය, මගෙ යාළුවොන්ටත්, මාව නිර්මාණ වලට සම්බන්ධ කරගත්ත නැන්දල මාමලටත්, මට ආදරය කරන හැමෝටමත් මං ගොඩක් ආදරෙයි

Comments