ගීයට කවියට පෙම්බඳින අසංක | සිළුමිණ

ගීයට කවියට පෙම්බඳින අසංක

පත්තරවලට  කවි ලියපු මම අද  ගීත රචකයෙක්...

ගේය පද රචකයෙකුට සංගීත දැනීමත්  තිබිය යුතුයි...

 

ඇසූ පිරූ තැන් ඇත්තෙකුගේ ජීවන අත්දැකීම් සමුදාය පිපිරී සමාජගත වන්නේ ඔහුගේ නිර්මාණ තුළිනි. ඔහු ද එසේ බොහෝ ක්ෂේත්‍රයන් සියුම්ව ස්පර්ශ කර එකී අත්දැකීම් නිර්ලෝභිව සමාජයට මුදා හළ කෙනෙකි. කවියෙක් ගීත රචකයෙක් මෙන්ම කලාවට බොහෝ ඇල්ම කළ ද ඔහු වෛද්‍ය පරීක්ෂකයෙකි. රැකියාවත් කලාව කටයුතුත් සමබරව කරගෙන යන ඔහු අසංක රුවන් සාගර ය.

 

ඔබට මෑතකදී සම්මානයක් හිමි වුණා. අප එයින්ම අපේ කතාව අරඹමු.

නිර්මාණකරුවෙකුට නිර්මාණයක් හරි බරට දැනෙනවා .ඒ වගේම මුළු ජීවිතයටම පිරුණු බවක් දැනෙනවා. මටත් ඒ සම්මානය ගැන දැනුනේ එහෙම හැඟීමක්. ඕනෑම නිර්මාණකරුවෙක් කැමතියි තම නිර්මාණය කුමන හෝ විදියකින් ඇගයිමකට ලක්වෙනවට. ජූරියක් එනම් විනිශ්චය මණ්ඩලයකින් ලැබෙන විනිශ්චයකට වෙනම අගයක් ලැබෙනවා. මෙම නිර්මාණයට ජූරිය සම්මානයට පෙර ලැබුණු රසික සම්මානය අතිමහත්.

 

ඔබ තුළ තිබූ කවීත්වය ගී පද රචනයට අඩිතාලමක් වුණේ කොහොමද?

කවියාට වඩා මා තුළ සිටින්නේ ප්‍රීතිමත් කතන්දරකාරයෙක්. ඒ කතන්දරකාරයා පෝෂණය කළේ මගේ අම්මයි තාත්තයි. සංසාරය පුරා පුරුදු පුහුණු කළ එකී ශක්තිය මට තිබෙන්නට ඇති කියා මම හිතනවා. ප්‍රවේණිගතව මාගේ මව ගෙන් සහ පියාගෙන් ලැබුණු ජානමය තල්ලුවත් ඊට හේතු වන්නට ඇති. මාව සාහිත්‍ය ලෝකය අඳුරගන්නේ අසංක රුවන් සාගර කියන කවියා විදිහටයි. ඒ නිසා මම 2009 අවුරුද්දේ මගේ පළමු පොත එළි දක්වනවා. “හද බිම් පංගුව“ මාගෙ පළමු කවි පොතයි. තවමත් ඒ කවියා මා තුළ ජීවත් වෙනවා. හොඳ කවියක් තුළ ගීතවත් බවක් තිබෙනවා. සමාජය හා ජීවිතය විනිවිද දකින කවියන්ට හොඳ ගීත රචකයෙක් විය හැකියි. නමුත් හොඳ ගීත රචකයන් කවියන් ලෙස අර්ථ දක්වන්නත් අපහසුයි. කවිත්වය ගීත රචනයට උත්තේජනයක් හා තල්ලුවක් මිසක එය වළක්වන ගල්පර්වතයක් නොවේ.

 

ඔබගේ නිර්මාණ ජන කවිය, ජනප්‍රවාද හා බෙහෙවින් ළැබැඳියි නේද

මම අතීතකාමී මනුස්සයෙක්. ඕනෑම කෙනෙක් අතීතයේ පිළිබඳ සාංකාවක සිටිනවා. මට තිබෙන්නේ ප්‍රීතිමත් ළමා කාලයක්. මා තුළ සිටින කතන්දරකාරයා මුලින්ම ග්‍රහණය කර ගන්නේ ජනප්‍රවාද, ජන සාහිත්‍යය හා ජන කවියයි. මගේ ගීත නිර්මාණවල ජනප්‍රවාද චරිත තුළින් සිතළුවක් නිර්මාණය කිරීමට මම උත්සාහ කරනවා. ඒ නිසා ජනප්‍රවාද, ජන ජීවිතයේ සෙවණැලි මගෙ නිර්මාණවල තිබෙනවා යැයි මම විශ්වාස කරනවා.

 

බොහෝ නිර්මාණ බිහිවන්නේ සත්‍යය හා කල්පිතය අතරයි. ඔබගේ නිර්මාණකරණ‍යටත් පෞද්ගලික අත්දැකීම් හේතු වී තිබෙනවාද

ප්‍රේමය කියන විෂයේදී එකී නිර්වචනය නිවැරදියි. මෙවර සම්මානනීය ගීතය තුළ ප්‍රකාශ වන්නේ සියලු දුක් ගැහැට විඳින මවකගේ භූමිකාවක්. එකී ගීතය රචනා කිරීමේදී මට විශේෂයෙන් මවක් සිතින් මවන්න අවශ්‍ය වුණේ නැහැ. මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. ඔහු මියයන්නේ අප කුඩා කාලයේදීමයි. මගේ මව ගුරුවරියක්. ඇය දරුවන් ලොකු මහත් කිරීමට දරන උත්සාහය ඒ මොහොතේ මට මැවී පෙනුණා. එය සැබැවින්ම පාරමිතාවක්. එකී ගීතය රචනා කිරීමේ දී මගේ මවගේ බොරපාට කඳුළු පිරිච්ච ඇස් දෙක මගේ හිතේ හොල්මන් කළා. මං කල්පිතයක් ගොඩනැඟුවත් ඒ තුළ මගේ අත්දැකීම් අන්තර්ගතයි. ඇලපාත හා ගජමන් වෙනුවෙන් මා නිර්මාණයක් කර තිබෙනවා. ඇලපාත ට සැවොම ගැරහූ වත් මං ඇලපාත වෙනුවෙන් පෙනී සිටිනවා. මොකද මා තුළත් ඇලපාත මෙන් මනමාල කවියෙක් සිටිනවා. ඒ නිසා මම ඔහුට පක්ෂග්‍රාහීයි. එසේ මගේ අත්දැකීමක් නොවුණත් මගේ ළබැදියාවක් එකී නිර්මාණ තුළ අන්තර්ගතයි. බොහෝ ඇගයීමට ලක් වුණු රාජ්‍ය සම්මාන, ටෙලි සම්මානවල හා සාහිත්‍යය ප්‍රකාශනවල මගේ අත්දැකීම් අඩු වැඩි වශයෙන් අන්තර්ගත වනවා .

 

ඔබ කේමදාසයන් වැනි දැවැන්තයෙක් යටතේ හැදී වැඩෙනවා. එකී ඇසුර ඔබගේ ජීවිතය උඩු යටිකුරු කළේ කොහොමද?

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පෙර වසරක පමණ කාලසීමාව තුළ මම කේමදාසයන් යටතේ සංගීතය හදාරනවා. මට දැනුත් තාලයකට ගීතයක් ගායනා කරන්නට බැරි කමක් නැහැ. මම අධ්‍යාපනය ලබන්නේ මතුගම සී. ඩබ්ලිව් ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලයේ. එහිදී මම හැදෑරුවෙ උඩරට නර්තනයයි. මා තුළ තාණ්ඩව නර්තන ශිල්පියෙක් ජීවත් වෙනවා. ඒ නිසා මගේ සංගීතමය හැකියාව වර්ධනය කර ගැනීමට මම කේමදාසයන් ළඟට යනවා. ඔහුගේ වචන ඉක්මවා ගිය සංගීතමය ප්‍රකාශනය අපගේ ඇතුළු හිත පාර වනවා. වචනවලින් නොකියවෙන ප්‍රතිවිරුද්ධ හැඟීමක් ඔහු අපට සංගීතයෙන් ලබා දෙනවා. මා කේමදාසයන් ඇසුරට ගියේ ගායකයෙක් වෙන්න නෙමෙයි. මට ඕනෑ වුණේ ඔහුගේ මායාමය ගුප්ත රසය හඳුනා ගැනීමයි. ඒ වෙනකොටත් මම පත්තර වල කවි ලියමින් සිටියා. ඒ නිසා ඔහුගේ ඇසුර මට වාසනාවක්ම වුණා.

 

ගේය පද රචකයෙක් ට සංගීතය හැදෑරීම කොතරම් වැදගත්ද

සංගීතය පිළිබඳ දැනුම ගේය පද රචකයෙක්ට බරක් නෙමෙයි. උදාහරණයක් ලෙස “කවිය ඔබ තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය ඔබ“ ගීතය සුනිල් ආර් ගමගේ රචනා කරන්නේ හරිම අසංවිධිත මාත්‍රා වලටයි. ඒ ගීතය රෝහණ වීරසිංහයන්ගේ නාද රටාවෙන් අපූර්වත්වයට ඔසවනවා. ඒ ගී පද රචනාව හරිම අසමතුලිත යි. එයට විරිත් දිය නොහැකියි. සංගීතය පිළිබඳ යම් අවබෝධයක් තිබුණා නම් අපටත් පුළුවන් හුදු සාම්ප්‍රදායික සිව්පද ආරෙන් මිදිලා පද කාණ්ඩ කරණයට යොමු වෙන්න. මම ගීතයක් නිර්මාණය කරන විට මට යම් තාලයක් මැවෙනවා. ඒ තාලයට ගයමිනුයි මම ගීත රචනය සිදු කරන්නේ. බොහෝ විට සංගීත අධ්‍යක්ෂකවරුන් ළඟට ගිය විට ඔවුන් මගෙනුත් යම් අදහසක් විමසනවා. එවිට සංගීතමය දැනුම තුළ මටත් යම් අදහසක් ලබා දිය හැකියි. ඒ නිසා හොඳ නිර්මාණයක් බිහි කරන්නට ගේය පද රචකයන්ට සංගීත දැනුම එයට අඩුමකුඩුම සපයනවා.

 

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවද?

මම රාජකාරි කරන්නේ ළමා රෝහලේ, වෛද්‍ය පරීක්ෂකයෙකු ලෙසයි. මාගේ පළමු රාජකාරි ස්ථානය තිබුණේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයයි. එහිදී මම බැක්ටීරියා, වෛරස ගැන බොහෝ හැදෑරීම් සිදුකළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශිෂ්‍යත්වයක් ලබා මම වැඩි දුර අධ්‍යාපනය සඳහා යන්නේ හොංකොං විශ්වවිද්‍යාලයටයි. එහිදී මං අණුක ජීව විද්‍යාව පිළිබඳව හදාරනවා. PCR පරීක්ෂණය වෛද්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය ආයතනයක කළ පළමු නිලධාරියා මමයි.

 

 

Comments