සාම්ප්‍රදායික යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධ නවකතාවක් ලියන්න ආසයි | Page 2 | සිළුමිණ

සාම්ප්‍රදායික යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධ නවකතාවක් ලියන්න ආසයි

තලල්ල මහා විද්‍යාලයෙන් අකුරු කර වූ ප්‍රබෝධනි එදිරිසිංහ නවකතා ලිවීමට නැඹුරු වන්නේ පාසල් වියේ සිටයි. 2017දී මුහුණු පොතට නවකතා ලිවීම ආරම්භ කළ ඇය මේ වනවිට පළකර ඇති නවකතා ගණන පහක්. ‘සදෙව් පබ්ලිකේෂන්ස්’ නමින් ඇගේම ප්‍රකාශන ආයතනයක් ආරම්භ කළ ඇය ඒ මඟින් නවක  ලේඛිකාවන්ගේ පොත් ප්‍රකාශනය සඳහා අතහිත ලබා දෙන්නීය.

1. මගේ පළමු නවකතාව

මගේ අතින් ලියැවුණු පළමු නවකතාව 'දෙව්ලි'. එය 2017 අප්‍රේ ල් 18 වැනිදා 'කතාඅරණ' නම් ඔන්ලයින් නවකතා පිටුවේ පළ කළා. ඒ ලියූ පළමු නව කතාවේ ඉඳන් පාඨක පිරිසක් මා වටා රැඳී සිටිමින් නිතර මා දිරිගැන්වූවා. ඒ සිටි පාඨකයන් අතර චතු රසාංගි නම් අපුරු හිතවතිය මට මුණ ගැහෙනවා. ඇය මට හොඳ යෝජනාවක් ගෙනාවා. ඒ නවකතා පොතක් පළ කිරීමට. ඇයගේ ඒ ඉල්ලීම මත ආසාවක් හිතුණා නවකතා පොතක් එළිදැක්වීමට. ඒ ආසාව මත මුද්‍රිත

මාධ්‍යයෙන් එළිදැක්වුණු පළමු නවකතාව "කඳුළකි නුඹ මට" කෘතියයි. කඳුළකි නුඹ මට නවකතාව මා ලියු දහවෙනි

නවකතාව වුණත් මුද්‍රණය වූ

පළමුවැන්නයි. දෙව්ලි, අමායා, ඔබට මාමෙන්, පතිනි දෙවොල, හිමාෂා, භුමි,නපුරු කවියක් නුඹ, පැතු සෙනෙහේ, වැඩිමහල් ප්‍රේම

අසම්මතයක් දෝ, නවකතා නවයක් මුහුණුපොතට ඒවනවිට මා අකුරුකර අවසන් කර තිබුණා.

2. එහි සිත්ගත් හා සංවේදි අවස්ථා

සංවේදී අවස්ථා අනන්ත තිබුණත් මගේ හිත අදටත් මොහොතකට නතර කරන පිටු කීපයක් ඒ පොත ඇතුළේ තියෙනවා. පියාගේ හව්හරණක් නොමැති ව තම මව සමඟ ජීවනාලිය ගෙවන ඇයට හදිසියේම තම මවත් අහිමිව යන්නේ පිළිකා රෝගය වැලඳීමෙන්. මවගේ හදිසි වියෝවත් එක්ක සහෝදර සහෝදරියන් කිසිම කෙනෙක් නැතුව මේ ලෝකේ තනිවුණ ඇයට ප්‍රේමයත් අහිමිව යනවා. ඒ වේලාවේ දැනුණ හැඟීම වචනවලට පෙරළන්න ගියාම හරිම අමාරුයි. ඒ පිටු කිහිපය ලියද්දි මට හැඬුණ වාර අනන්තයි.ඒවගේම අස්විදු දෑරංගල කතා නායකයාගේ නපුරු හිතුවක්කාර දඩබ්බර සිතුවිලිවලට මම පෞද්ගලිකව කැමතියි. ඒ නපුරුකම් මැද ඒ හිතේ සඟවා ගෙන ඉන්න ආදරය ප්‍රකාශ කරන විලාශයට ඒ කටින් පිටවෙන හැම වචනයකට ම මම කැමතියි.

3.මගේ වෙනත් නවකතා සහ ලැබුණු පාඨක ප්‍රතිචාර

''කඳුළකි නුඹ මට" පොතට පසුව නපුරු කවියක් නුඹ, පැතු සෙනෙහේ, ඔබට මා මෙන්, මල්වැහි නවකතා පිළිවෙළින් පාඨකයන්ට තිළිණ කරන්න මට හැකිවුණා. මං හිතන්නේ ඒ අතරින් ඉහළම පාඨක ප්‍රතිචාරයක් ලැබුණේ පසුගිය වසරේ අහස් ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ "නපුරු කවියන් නුඹ" නවකතාවට.

"නපුරු කවියන් නුඹ" පොතට ලැබුණු ප්‍රතිචාර අප්‍රමාණයි. අදටත් පුදුමාකාර විදියට කියන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ දෙනෙක් ඒ පොත ආදරයෙන් වැලඳ ගත්තා. පොතේ සමහර අවස්ථා ගැන පාඨකයන් මා එක්ක කතා කළා. ඔවුන්ගේ අදහස් බෙදා ගත්තා. මම හිතනවා මනුෂ්‍ය ජිවිතයක ඇතිවන සෑම හැඟීමක්ම නපුරු කවියන් නුඹ නවකතාව ඇතුළේ ජීවමානව තියෙනවා කියලා. මා පිය, දුදරු, අඹුසැමි, සහෝදර, හිතමිතුරන් බැඳීම් සියල්ලම කැටිව දරා ගැනීම්, ඉවසීම, කැප කිරීම් අතින් උඩින්ම ඉන්න චරිත දෙකක් වටා ගෙතෙන ඒ නවකතාව විශේෂ අත්දැකීමක් වුණා, පාඨකයන්ට. ඒ සමඟම මගේ නවකතාවලට ආදරේ කරන පාඨකයන්ගේ ආදරය මා නොඅඩුව අත්වින්ඳා. ඉතාම ආදරණීය පාඨක පිරිසක් නපුරු කවියන් නුඹ පොත වටා එක්රොක් වුණා කිවොත් නිවැරදියි. ඔවුන්ගෙන් ලැබෙන හැම ප්‍රතිචාරයක් ගැනම මා ඇත්තටම සතුටට පත්වෙනවා.

04. මා නොලියූ, මා කැමති වෙනත් පොත්

ඈ, භාවනා, සඳරාජිනි, අරලිය, හිමරෝස, තරුණි, වගේම රැජින, නවලිය ඇතුළු සඟරා හා පත්තර හැම මසකම හා සතියකට වරක් පාසාම කියවපු කෙනෙක් මම.ඒඅතරට නවකතා පොත් රාශියක් කියවපු කෙනෙක්. ඒ අතර සිත්ගත්ම නවකතාව තමයි සෝමා ජයකොඩි මහත්මියගේ "මදාරා" නවකතාව. චන්දි කොඩිකාර, ජයසේන ජයකොඩි, එඩ්වඩ් මල්ලවාරච්චි, යෞවන සමින්ද්‍ර රත්නායක, මහේෂ් රත්සර මද්දුමආරච්ච්,මනෝරි සිලිකා වික්‍රමාරච්චි, සුජීව ප්‍රසන්නආරච්චි වගේම සමන් එදිරිමුණි ලේඛක ලේඛිකාවන්ගේ පොත්වලට දක්වන්නේ අතිශය ආදරයක් හා කැමැත්තක්.

5. මගේ ඉදිරි සැලසුම්

මගේ බලාපොරොත්තුව ඉදිරියට මීට වඩා හොඳම නිර්මාණයක් මගේ පාඨකයන්ට ලබාදීමයි. ඒවගේම සාම්ප්‍රදායික යන්ත්‍ර මන්ත්‍ර ,තත්ත්‍ර, බලිතොවිල් ගිලිහි යන කාලයක ඒ හා සම්බන්ධ නවකතාවක් ලිවීමට ආසාවෙන් බලාගෙන ඉන්නවා.

මගේ අලුත්ම නවකතා කිහිපයක් ඉදිරියේදී නිකුත්වීමට තිබෙනවා. ඒ අතර ළඟදීම නිකුත්වීමට තියෙන පොතේ වැඩ කටයුතු මේ දිනවල සිදුකරමින් සිටිනවා. එය 'නොහඳුනන්නි' ප්‍රකාශන ආයතනය හරහා බොහෝදුරට අගොස්තු මාසයේ එළිදැක්වීමට නියමිතයි. ඒවගේම අහස් ප්‍රකාශන ආයතන හරහාත් මගේ පොත් ඉදිරියට පාඨකයන්ට කියවන්න ලැබේවි. ඒ හැරුණාම මගේ සදෙව් ප්‍රකාශන ආයතනය තුළින් හොඳ පොත් පාඨකයන්ට ඉදිරිපත් කිරීමේ කටයුතුත් හිමි හිමිට කරගෙන යනවා.

මේ මොහොතේ දී විශේෂයෙන් මතක් කළයුතු කිහිපදෙනෙක් ඉන්නවා.පොතක හීනය සැබෑකරගැනීම සඳහා කොන්දේසි විරහිතව මට මඟපෙන්වූ අනුෂා ප්‍රනාන්දු ලේඛිකාව හා අදටත් සෑම අවස්ථාවකදීම ඕනෑම දෙයක් නිර්ලෝභීව කියලා දෙන චේතනා ද සිල්වා, ඉමන්ති දුනිෂා, රෝෂනි අචලා අබේසිංහ, දිලිනි ගයානි ලේඛිකාවන් මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා. හැමදාමත් ලියන්නට ශක්තිය දෙන ආදරණීය අම්මා, තාත්තා, නංගිලා දෙදෙනාත්. ඒවගේම මානසික නිදහස උපරිමයෙන් ලබාදෙන මගේ ආදරණීය සැමියා චින්තකත්, නයනජිත්,සදෙව් දරු දෙදෙනාත්. ඒවගේ මා ලේලියක ලෙසින් නොව දියණියක් ලෙසින් ආදරයෙන් සලකන චින්තකගේ අම්මාත් තාත්තාත් මට එක්කුස උපන් සහෝදරියක් ලෙසින් සලකන මගේ සැමියාගේ අයියා,අක්කා,නංගිලා දෙදෙනාත්.රාණි කරුනානයක නැන්දණියත් ඉතාමත් ආදරයෙන් සිහිපත් කරනවා. ඒවගේම වචනයකින් පවා මට ශක්තියක් වන මගේ ආදරණීය පාඨක පිරිසට මගේ ස්තූතිය පුදකරන්නේ ඉමහත්

ගෞරවයෙන්.

 

Comments