
හිරුට මුවාවෙන් මෙරට ටෙලිනාට්‍ය ඉතිහාසයේ කාගේත් කතාබහට ලක් වූ ටෙලිනාට්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ, එවක ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයකු වූ හර්බට් රංජිත් පීරිස් ය. ඉඳිආප්ප හදන ගෙදරක ගැහැනු ළමයෙක් වටා ගෙතුණු කතාවක් නිසා, එදා බොහෝ දෙනෙක් එම ටෙලිනාට්‍ය හැඳින්වූයේ, “ඉඳි ආප්ප කතාව ලෙසිනි. ඒවාගේම ටෙලි නාට්‍යයේ කතාවත් ඉතාම රසවත් වීම හේතුවෙන්, එවක බොහෝ දෙනෙක් එම ටෙලිනාට්‍ය නැරඹීමට වඩාත් ප්‍රිය කළ බවයි සැලවෙන්නේ. ඊටත් වඩා හිරුට මුවාවෙන් ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වූ ශ්‍රීයන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, සිරිල් ධර්මවර්ධන, ජේ. එච් ජයවර්ධන, දයා ද අල්විස් ගේ රංගන විලාසයන් හි තිබූ ආකර්ෂණීය බව ටෙලිනාට්‍ය ජනප්‍රිය වීමට බොහෝ සේ ඉවහල් වූවා. ඒ වගේම මෙම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ චම්පා ශ්‍රීයාණිගේ මවගේ චරිතය නිරූපණය කළේ, ලියොනි කොතලාවලයි. ඇයගෙන් හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යට ලැබුණේ සුවිශේෂී වූ දායකත්වයක්. එවැනි පසුබිමක ඇයගේ රංගනයටත්, බොහෝ පිරිසක් ඇළුම් කිරීමට පටන් ගත්තා. අදටත් මෙරට බොහෝ ප්‍රේක්ෂකයන්ට ලියෝනි කොතලාවලගේ නම ඇසුණු හෝ සඳහන් වන තැනකදී සිහියට නංවාගන්නේ, ඉඳි ආප්ප කතාවේ ප්‍රීතීමාලීගේ අම්මාව නැතිනම් ඉඳිඅප්ප විල්සන්ගේ පවුලව. හිරුට මුවාවෙන් ටෙලිනාට්‍ය ඇතුළු තවත් නිර්මාණ ගණනාවක මතකයේ රැඳුණු චරිත නිරූපණය කරමින්, ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඇය, 2022 ජූනි මස 19 වන දින දිවිගමන නිමා කළේ, කලාලොවට මහත් සංවේදනාවක් ඇතිකරමිනි.
ලියෝනි මෙන්ඩිස් වීරසිංහ කලා ක්ෂේත්‍රයෙහි අත්පොත් තබන්නේ, පාසල් යන සමයේ දී. ඒ පාසල් වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වීමෙනි. පාසල් සමයේ දී, ඇයට එසේ වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වීමට උපකාර කර ඇත්තේ, සිල්වියා විජේසේකර ගුරුතුමිය විසිනි. පසුව තම පියාගේ සොහොයුරකු වූ ස්ටැන්ලි වීරසිංහ විසින් ඇයව ගුවන් විදුලියේ ළමා පිටියට යොමු කර තිබේ. එහිදී ප්‍රවීණ ගීත නිබන්ධකයකු මෙන්ම සන්නිවේදනඥයකු වූ කරුණාරත්න අබේසේකරයන්ගේ මඟපෙන්වීම මත ගීත ගායනා කිරීමට ද අවස්ථාව උදා වී තිබේ.
ලියෝනි කොතලාවල මුල් වරට ප්‍රසිද්ධ වේදිකාවට පිවිස ඇත්තේ, ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ ඉන්ද්‍රානි විජේබණ්ඩාරගේ ගායනයකට මනරම් නර්තනයක් ඉදිරිපත් කිරීමෙනි. පසුව වර්ෂ 1962 දී ජී. ඩී. එල් පෙරේරා නිර්මාණය කළ “සාමා” වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමටත් ඇයට අවස්ථාව හිමි වී තිබේ. එමෙන්ම එවක කලා මණ්ඩලය මඟින් මුල්වරට සංවිධානය කළ, වේදිකා නාට්‍ය උළෙලේ දී “සාමා” වේදිකා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ඇයට හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමටත් අවස්ථාව උදා වේ. එම නාට්‍ය උළෙලේම හොඳම නළුවාට හිමි සම්මානය දිනාගෙන ඇත්තේ, ප්‍රවීණ රංගන ශිල්පී ජී. ඩබ්ලිව් සුරේන්ද්‍ර විසිනි. “සාමා” වේදිකා නාට්‍ය පසුව සිනමාවට නැඟීමත් සමඟ ලියෝනි කොතලාවලට එම නිර්මාණයේ ද රඟපෑමට අවස්ථාව උදා කරගෙන තිබේ. කෙසේ වෙතත් “සාමා” චිත්‍රපටය තිර ගත නොවුණද, ලියෝනි කොතලාවලට, එවක ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වූ රූබි ද මෙල් ගෙන් ආරාධනාවක් ලැබී තිබේ. ඒ “පිපෙන කුමුදු” චිත්‍රපටයේ රඟපෑමට ය. එම චිත්‍රපටයේ ඇයට රඟපෑමට අවස්ථාව ලැබී ඇත්තේ, ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ රුක්මණී දේවී සමඟිනි.
ලියෝනි කොතලාවලට සිනමාවේ දිගු ගමනක් යාමට බොහෝ සේ ඉවහල් වූයේ, වර්ෂ 1964 දී තිරගත වූ “චණ්ඩාලි” චිත්‍රපටයේ රඟපෑමෙනි. එම චිත්‍රපටය තිරගත වීමෙන් අනතුරුව සිනමාලෝලීන්ගේ පමණක් නොව, ඇයගේ රඟපෑම පිළිබඳව බොහෝ සිනමා සහ රූපවාහිනී නිර්මාණකරුවන්ගේ ද විශේෂ අවධානයක් යොමු වී ඇත. වජිරා, රජ දරුවෝ, පුනරුප්පත්තිය, එකමත් එක රටක, මචං, බොරදිය පොකුණ, බන්ධනය, දැවෙන විහඟුන් වැනි චිත්‍රපටවලද ඇයගේ රඟපෑම ඉතාම විශිෂ්ට අයුරින් නිරූපණය වී තිබේ.
ලියෝනි තොතලාවල පුංචි තිරයට සමීප වී ඇත්තේ, වර්ෂ 1982 දී. ඒ ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලයන්ගේ “සෝමාගේ සිහිනය” ඒකාංගික ටෙලි නාට්‍යයෙනි. පසුව තාරාදේවි, චරිත තුනක්, චාරුලතා, අරවින්ද සහ ඉන්දු මෙන්ම නෑදෑයෝ වැනි ටෙලිනාට්‍ය ගණනාවකම ඇයගේ රංගන දායකත්වය ලබා දී තිබේ. ටෙලිනාට්‍යවල රඟපෑමෙන් ඇයගේ රංගනය ශෛලිය වඩාත් ඇගයීමකට ලක්වන්නේ, “කුමාරිහාමි” ටෙලි නාට්‍යයේ රඟපෑමෙනි. ඇයගේ මුල්ම වෘතාන්ත ටෙලි නාට්‍යය වූයේද එම ටෙලිනාට්‍යයි. මෙම ටෙලි නාට්‍ය ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ තිලක් ගුණවර්ධනගේ නිර්මාණයක් විය.
එමෙන්ම කුමාරිහාමි ටෙලිනාට්‍යයේ ඇයට ලැබුණු සංකීර්ණ හා බැරූරුම් චරිතය ඇය විසින් මනා ලෙස නිරූපණය කළ හෙයින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ චරිතාංග නිළියක් බවට පත් වීමටත් හේතුවක් විය. එපමණක් නොව ඇයට වර්ෂ 1988 පැවති ඕ. සී. අයි. සී සම්මාන උළෙලේ දී, හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමටත් අවස්ථාව උදා වී තිබුණි. මෙහි තවත් සුවිශේෂීතාවක් වන්නේ, එකී සම්මාන උළෙලේම හොඳම නළුවාට හිමි සම්මානය ප්‍රවීණ රංගන ශිල්පී එච්. ඒ පෙරේරා විසින් හිමිකර ගැනීමයි. මින් පිළිබිඹු වන්නේ, ආරම්භයේ සිටම වේදිකාවේත්, සිනමාවේත්, පුංචි තිරයේත් ඇයගේ රංගනය ජ්‍යෙෂ්ඨයන් තරමට ප්‍රශස්ත මටටමක පැවති බවයි.