
සිහිල් සුළං රැලි හා එතී මල් සුවඳ වගුරුවන සීත වනයක් සොබා අසිරිය විඳීමට රිසි කාගේත් සිත් තුළ රසවත් සරාගී හැඟීමක් ජනිත කරවයි. ඒ රසවත් හැඟීම විනිවිඳ දකිමින් සොබා දහමේ යථා ස්වාභාවය අවබෝධ කර ගැනීමට වෙර වීරිය දරන්නවුන්ගේ මනස මේ සුන්දර වන පියස විසින් ම ප්‍රභාෂ්වර ආරම්මණයකට පිවිසවනු ලබයි.
“රමණීයානි අරඤ්ඤානි” යනුවෙන් වනාන්තර රමණීය බව බුදුන්වහන්සේ පවා අනුදැන වදාළේ ඒ නිසාය. අරඤ්ඤානි යනු පිපුණුමල් ඇති ගස්වලින් යුතු, නිර්මල ජලය ගලා බසින ඇළදොළ ඇති ආරණ්‍යයෝය. මේ නිසා සොබාදහම රස විඳීමට රිසි රාගී රසවතුන් පමණක් නොව විතරාගී භික්ෂූන් වහන්සේලා පවා අතීතයේ පටන් තම ආරාම සකසා ගත්තේ සුන්දරත්වයෙන් අනූන නිහඬ නිසංසල වන ගොමු ඇසුරු කරගනිමිනි. එවැනි ඇතැම් වනබිම් අදවන විට ප්‍රකට වන සෙනසුන් බවට පත්ව තිබේ. ඒවා විතරාගී භික්ෂූන් වහන්සේලාගේ පමණන් නොව කාමභෝගී ජනයාගේද ගත සිත සුවපත්
කිරීමට සමත් වෙයි. දුක් දොම්නස් පිරි ජීවිත ගත කරන බොහෝ ජනයා එක් දිනක් හෝ තම ගත සිත නිවා ගනු රිසියෙන් මේ වන බිම් සොයා එති. ඉංගිරිය, මඩකඩ රක්ෂිත වනය මැද පිහිටි මඩකඩ ආරණ්‍ය සේනාසනය එවැනි බොහෝ පිරිසක් සොයා එන මෙරට ප්‍රමුඛ ආරණ්‍ය සේනාසනයකි.
කටුක නගරය මග හැර වන පියසට ඇතුළුවත්ම දැනෙන සිසිලසත්, ගසකින් ගිලිහෙන තුරුපතක් වැටෙනා හඬ පවා හොඳින් ඇසෙනා නිහැඬියාවත් මෙහි රසය මෙන්ම සැනසීම ද ඇති බවද කියාපායි. ඉඳහිට හඬ නංවන විහඟුන් හැරුණුවිට යම් හඬක් නැගේ නම් ඒ සේනාසනය මායිමෙන් ගලා යන්නා වූ නාච්චිමලේ දොළින් නැඟෙන සිහින් රාවයේ හඬ පමණි. මඩකඩ වනයේ නාච්චිමලේ දොළට මායිම්ව වනයෙන් වැසුණු ස්වාභාවික ගල්ලෙනක් ආවාසය ලෙස සකසා ගනිමින් රංවල සද්ධාතිස්ස හිමියන් විසින් 1948 වසරේදී ආරම්භ කළ භාවනානුයෝගී වන සෙනසුන වර්තමානය වනවිට මෙරට ප්‍රමුඛ වනවාසී ආරණ්‍ය සේනාසනයක් බවට පත්වී තිබේ. වනවාස මහ නිකායට අයත් ආරණ්‍ය සේනාසනයක් වන මෙම වන සෙනසුනට ඉහල ආකර්ෂණයක් හිමිවී ඇත්තේ එහි පවතින පාරිසරික සුන්දරත්වය නිසා මෙන්ම කොළඹට ආසන්නව පිහිටීමෙන් ඉතා පහසුවෙන් ළඟා වීමට ඇති හැකියාව නිසාය.
ආරණ්‍ය සේනාසනයේ පිවිසුම් දොරටුවේ සිට සදාහරිත වනයක් මැදින් ගොස් සුන්දරත්වය මනාව විඳගත හැකි මෙම වන සෙනසුන ස්වාභාවික වනය තුළ ගිලී යන පරිද්දෙන් ඉදිකොට ඇති නිසා දවස පුරා සිසිල් සැනසිලිදායක පරිසරයක් සේනාසන බිම තුළ පවතී. මේ නිසා මනා සිහියෙන් පරිසර සුන්දරත්වය
අත්විඳිමින් සේනාසනය පුරා
සක්මනෙහි යෙදෙමින් වන්දනාමාන කිරීමට මේ වන සෙනසුන වෙත එන්නකුට අවස්ථාව හිමි වේ. ස්වාභාවික වන බිම ආරාමයකට සුදුසු අයුරින් හසුරුවා ඇති මේ වන අරණෙහි ගස්වැල් වැවී වියනක් ලෙස අලංකාරවත්ව ඇති බිම් තීරුව දිගේ නිහඬවම ඇවිද යමින් සොබා සිරිය විඳිය හැකි අතර ජීවිතය දෙස සෞන්දර්යාත්මක ලෙස එබී බැලීමටද අවස්ථාවක් උදාකර දී තිබේ.
වන මං පෙත් ඔස්සේ විහාර අංගයන් වන්දනා කරන අතරතුර ජීවිතේ අරුත හා සොබාදහමේ යථාව වටහා ගැනීමට එහි අගය දැක්වෙන ආදර්ශ පාඨයන් ගමන් පථ දිගේ දක්වා තිබේ. මෙම වන සෙනසුනෙහි ප්‍රධාන විහාර මන්දිරය මුළුමනින්ම ස්වාභාවික විශාල ගල් ලෙනක් තුළ ඉදිකරන ලද්දකි. මෙය රංවල සද්ධාතිස්ස හිමියන් මෙම වනයට පැමිණ වනාන්තරයේ භාවනානුයෝගීව වැඩ විසූ ගල් ගුහාව වන අතර මේ වන විට සිතුවමින් හා මලින් අලංකාර කරන ලද නෙත් සිත් බඳනා විහාර මන්දිරයක් බවට එය පත්ව තිබේ. ආරණ්‍ය සේනාසනයේ එක් මායිමක පිහිටි
නාච්චිමලේ දොළ ආරණ්‍ය සීමාවේදී ගල්කුළු වලින් සමන්විත අපූරු ජල තටාකයක්ද නිර්මාණය කරයි. අලංකාර දිය ඇල්ලක් සහිත මෙම ගල් තඩාගය වන සෙනසුනෙහි සුන්දරත්වය තවත් ඔප් නංවනවා මෙන්ම විශාල බිම් පෙදෙසකස පැතිරුණු වන බිමට සිසිලක්ද ගෙන එයි.
කළුතර දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික් මායිමෙහි පිහිටි ඉංගිරිය අඩවියට අයත් අක්කර 550 ක් පමණ වූ මඩකඩ රක්ෂිත වනාන්තරය තුළ අක්කර 28 ක් පුරා විසිරුනු මෙම වන සෙනසුනෙහි සොබාදහම තුළ ජීවිතය දැකීම අරමුණු කරගත් වනවාසී භික්ෂූන් වහන්සේලා විසි නමක් පමණ වැඩ වාසය කරයි. උන් වහන්සේලා වනයෙහි වූ කුටි තුළට වී භාවනානුයෝගීව වැඩ වාසය කරමින් දානය ලබා ගැනීමට පමණක් පිටතට වැඩම කරන නිසා මෙහි පවතින්නේ බාහිර ලෝකයෙන් වෙන් වූ පරිසරයකි. මේ නිසා කලබලකාරී වටපිටාවෙන් මිදී අරුත්බර දිනයක් ගත කිරීමට මෙහිදී අවකාශ හිමි වේ. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට බාධා නොවන පරිදි උන්වහන්සේලා වැඩ සිටින කුටි සමීපයට නොයා සෙනසුනේ මං පෙත් දිගේ ඇවිද යමින් එය වන්දනාමාන කර ගැනීමටත් සොබාදහමේ අරුත දෙස එබී බැලීමට දොරටුවක් විවර කර ගැනීමටත් මෙහිදී හැකිය. එසේ විවර වන දොරටුව තුළින් නිෂ්කාමී සිතක පහළ වන නිරාමිස ප්‍රමෝදය අත්විඳිමට මෙය තරම් සුදුසු තවත් තැනක් නැතිබව නාච්චිමලේ දොළ ගලා යන සිහින් හඬ අතරින් දැනේවි.