අරගලයේ මාධ්‍යවේදියා | සිළුමිණ

අරගලයේ මාධ්‍යවේදියා

ජනතාවට තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන් විදිහට ජනතාවගේ ප්‍රවෘත්ති අවශ්‍යතාව වෙනුවෙන් තියෙන වගකීම මාධ්‍යවේදී හැඳුනුම්පත බෙල්ල එල්ල ගැනීමට විතරක් වලංගු වෙන්නේ නෑ.අනික මේක අට පහ රස්සාවක් නෙවෙයි

හේම නලින් කරුණාරත්න ඉස්සර නවයයි පහට අම්මා ලියලා යවන හැම කවියක්ම කියවනවා. අම්මා තමයි මාධ්‍යයට මාව තල්ලු කළේ

අහුන්ගල්ල කටුවිල ගම්මානයේ ඉපිද බලපිටිය රේවත විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ වින්දන ප්‍රසාද් කරුණාරත්න ජනතාව අතරට වඩාත් සමීප නිවේදකයෙක් සහ මාධ්‍යවේදියෙක්. නිවුස් ෆස්ට් සහය කළමනාකාරවරයෙක් වන ඔහු මේ දිනවල සිරස ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රේක්ෂකයන් හමුවන්නේ ගෝල්ෆේස් අරගල භූමියේ රැඳෙමින් එහි තොරතුරු ගෙන එමිනුයි.

 අරගල භූමියේ ඔබේ අත්දැකීම කොහොමද.?

මේක අපේ රටට වගේම මටත් අලුත් අත්දැකීමක්. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අයිතියක් තියෙනවා තමන්ගේ අදහස් දක්වන්න. විවෘත පරිසරයක අව්ව වැස්ස, කඳුළු ගෑස්, ජල ප්‍රහාර මේ හැමදේටම ඔරොත්තු දෙන ගමන් අපි ජනතාව එක්ක ඉන්නවා.

මාධ්‍යවේදියෙක්ට කැපකිරීම කෙතරම් වැදගත්ද?

කැප කිරීම කියන්නේ මාධ්‍යවේදියෙක් සතුව තියෙන්න ඕනේ ප්‍රධාන ගුණාංගයක්. ඕනෑම වෘත්තියක තමන්ගෙ තත්ත්වය ඉස්සරහට ගේන්න කැපකිරීම බලපානවා. ජනතාවට තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන් විදිහට ජනතාවගේ ප්‍රවෘත්ති අවශ්‍යතාව වෙනුවෙන් තියෙන වගකීම මාධ්‍යවේදී හැඳුනුම්පත බෙල්ල එල්ල ගැනීමට විතරක් වලංගු වෙන්නේ නෑ.අනික මේක අට පහ රස්සාවක් නෙවෙයි.

සාර්ථක මාධ්‍යවේදියෙක් වෙන්න මොනවද අවශ්‍ය.?

මං හිතනවා තමන්ගෙ විෂය පිළිබඳව ඇති දැනුම වැදගත් වෙනවා කියල.යම් කිසි ප්‍රවෘත්තියක් හොයනකොට,විශ්ලේෂණයක් කරන්න ගියාම සියලුම තොරතුරු දැනගෙන සිටීම වඩාත් වැදගත් වෙනවා. අලුත් කරුණු සොයා යාමේදී තොරතුරු ලබාදෙන පාර්ශ්වයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන එකත් කළ යුතුයි. වර්තමානයේ මං දකිනවා මාධ්‍යවේදීන් තමන්ගේ ගුවන් කාලයට අනුව තමයි තොරතුරු හොයා ගන්නෙ. විනාඩි ගාන කීය උනත් ඒ විෂයට අදාළ හැම කරුණක්ම එකතු කරගන්න පුළුවන් නම් ඒක තමයි දක්ෂතාව.

ජනමාධ්‍ය හදාරන්න තැන් කොතෙකුත් තිබුණත් ඒ හැමෝම මාධ්‍යවේදීන් නොවෙන්න ඇයි.?

දක්ෂතාව තමයි මං හිතන්නේ ඒකට බලපාන්නෙ. අපි අතීතයේ දැකපු විදිහේ අධ්‍යයනය කළ හැකි චරිත දැන් ඉන්නෙ අතළොස්සයි. ඒ කාලෙ බන්දුල වර්ණපුර, පාලිත පෙරේරා, ප්‍රේමසිරි ඈපාසිංහ වගේ අයගෙන් අපි ඉගෙනගත්තා. කේ. ඩී. කේ. ජයන්ත සමඟ තමයි මම මුලින්ම හොඳම නිවුස් රීඩර් විදිහට නොමිනේට් වෙන්නේ. එතනදි අම්ම කිව්වා ඔහුට තමයි මේ සම්මානය ලැබෙන්නෙ කියලා.

යම් කිසි මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීම මාධ­්‍යවේදියෙක්ට සුදුසුයි ද?

පෞද්ගලිකව මම ජනතාවට තොරතුරු දැන ගැනීම සම්බන්ධව සාධනීය දෙයක් වෙනව නම් ඇරෙන්න මගේ දේශපාලන මතවාද ඉදිරිපත් කරන්න නැහැ. ඕනම කෙනෙක්ට ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඇතුළේ ජීවත් වෙනකොට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒ මතය කොයිතාක් දුරකට සමාජයට වැදගත්ද කියල මාධ්‍යවේදියෙක් හිතන්න ඕනේ. මාධ්‍යවේදීන් කියන්නේ ජනතා නියෝජනයක් නිසා දේශපාලන පක්ෂයකට කඩේ යන එක සුදුසු නෑ.

පුංචි කාලේ කවුරු වෙන්නද හිතුවෙ.?

මම ක්‍රිකටර් කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියෙ. ක්‍රිකට් ගහන්න ගිහිල්ලා අම්මගෙන් ගුටිකාපු අවස්ථා ඕන තරම්. ඉස්කෝලේ කාලේ මම දඩබ්බර චරිතයක්. ඒ දවස් වල මාර්ෂල් ආර්ට් පවා කළා. උසස් පෙළ විභාග පටන් ගන්න කලින් දවසෙත් මම ක්‍රිකට් ගහන්න ගිහින් අම්ම සූදානම් කරපු බෝධි පූජාවට යන්නත් බැරි උණා. අම්ම සිංහල ගුරුවරියක් නිසා එයා ලියන්න දක්ෂයි. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා නැතිවුණු වෙලාවෙ SLBC එකේ ස්වර්ණ ගුණවර්ධන කියවපු සටහනක් අපෙ අම්මා තමයි ලියලා තිබුණේ. ඒකට ස්තූති කරලා ඔහු එවපු ලියුම අපේ අම්මා ගාව තිබිල මම හිරු එකට ආපු මුල් දවස් වල දුන්නා. හේම නලින් කරුණාරත්න ඉස්සර නවයයි පහට අම්මා ලියලා යවන හැම කවියක්ම කියවනවා. අම්මා තමයි මාධ්‍යයට මාව තල්ලු කළේ.

මයික්‍රෆෝනයක් අතට ගත්ත මුල්ම දවස මතකද?

දවසක් ඉස්කෝලෙන් පැනලා ගිහිල්ලා අපි කුන්ග්ෆු ෆිල්ම් බැලුව යාළුවෙක්ගෙ ගෙදර.ඉස්කෝලේ පුස්තකාලෙ පිටිපස්ස තාප්පෙන් ඇතුළුවෙන්න හදනකොට ගුරුවරුන්ට අහුවුණා.අපිට දුන්න දඬුවම තමයි ක්‍රියාකාරකමක් කරල ඉස්කෝලේ ශිෂ්‍ය නායකයන්ට බ්ලේසර් මහන්න සල්ලි එකතු කරල දෙන්න කියල.'සමාධි ගී දැහැන' කියන ඒ ප්‍රංගයේදියි මුලින්ම නිවේදනය කළේ.

අහුන්ගල්ලෙ හිටපු වින්දන කොළඹට එන්නෙ ඇයි.?

ඒ ලෙවල් වලින් පස්සෙ ජනමාධ්‍ය පාඨමාලාවකට තමයි කොළඹ ආවෙ. ඒ අතරෙ මගේ වර්තමාන නාළිකා ප්‍රධානී සුරංග සේනානායක කිව්ව හිරු එකේ ඉන්ටවිව් එකක් තියෙනවා කියලා. එදා පිළිවෙළට ඉන්ටවිව් ඇවිල්ලා හිටපු අයව දැකල අපිට එතන ගැළපෙන් නෑ කියලා හිතුණ නිසා විහාරමහාදේවි එකට ගිහින් දවල්ට කාල හවස තුනට වගේ WTC එක බලන්න ආසාවට ආයම එතන්ට ආවා. ඒ ඉන්ටර්විව් එකෙන් තෝරගත්ත හතර දෙනාගෙන් අන්තිමට ඉතුරු වුණේ මාව විතරයි.

මැයි 27 තමයි මුලින්ම කටහඬ ඔන් එයාර් යන්නෙ. ඒ රග්බි මැච් එකක ලයිව් අප්ඩේට් එකක්. එතනින් එහාට මට ක්‍රීඩා අංශය තුළ බොහෝ වැඩ කොටසක් කරන්න ලැබුණ. වාඩිය, පාර්ටි ටයිම් වැනි වැඩසටහනුත් හඬකැවීම් සහ ඉන්ටර්විව් කළා. මෙගා බ්ලාස්ට් ෂෝ එක වසර හතරක් විතර මායි මෝක්ෂයි නිවේදනය කළා.

හිරු එකෙන් සිරසට ආගමනය වුණේ කොහොමද.?

යම්කිසි හිත් රිදවීමක් නිසා මං හිරු එකෙන් ඉවත් වුණේ ක්‍රීඩා කළමන­ාකරු ලෙස වැඩ කරද්දියි. සිරසට ආවයින් පස්සෙ

මාධ්‍යවේදියෙක් විදියට මට කළමනාකාරීත්වය ලබා දුන් ස්වාධීනත්වය ගැන සතුටු වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන හිටපු

සභාපතිතුමන්ව. ඔහුත් සමඟ මීටින්ග් වල

වාඩි වුණ වසර හතර තුළ මං බොහෝ දේ ඉගෙන ගත්තා.

ආදරය සහ විවාහය ගැන අදහස.?

තමන්ට නොගැළපෙන කෙනෙක් ළං වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් නිසා දැනට ආදරයට තිත තියල තියෙන්නෙ.

ඔබේ ගමනට සහයෝගය දුන් ගොඩක් අය ඇති.?

ආසියානු මාධ්‍ය ජාලයේ සේවය කළ අවුරුදු 17 පුරා උදව් කරපු හැමෝම.

කැපිටල් මහරාජා සමූහයේ හිටපු සභාපති ආර්. රාජමහේන්ද්‍රන්, වත්මන් සභාපති ශෂී රාජමහේන්ද්‍රන්, නිව්ස්ෆස්ට් සමූහ අධ්‍යක්ෂක ශෙවාන් ඩැනියෙල්, නාළිකා ප්‍රධානී සුරංග සේනානායක, අධ්‍යක්ෂක ගයාන් සම්පත් සහ රොෂාන් වටවල, චාමික රොෂාන්, ඔමායා කෝවිලගොඩගේ, රිනාස් මොහොමඩ් ඇතුළු මට සහයෝගය දුන් හැමෝම ගෞරවයෙන් මතක් කරනවා.

 

 

Comments