අපිට ඕන සරලව මිනිස්සු සතුටු කරන්න | සිළුමිණ

අපිට ඕන සරලව මිනිස්සු සතුටු කරන්න

සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වෙන කණ්ඩායම් අතරේ තවත් කණ්ඩායමක් අපිට මුණගැහෙනවා. ඒ තමයි sl meme boys. මේ අය යූ- ටියුබ්, Fb සහ ටික්ටොක් කියන මාධ්‍යයන් සියල්ලේම ඉන්නවා. ඔබත් මේ අයගේ වීඩියෝ නරඹලා ඇති. ඒ නිසා ඔවුන් ගැන දැනගන්න කැමති ඇතිනේ. රසඳුන මේ කතාබහ SL Meme Boys සමඟ

SL Meme Boys කියන්නෙ මොකක්ද?

අපේ කණ්ඩායමේ නම. අපේ බ්‍රෑන්ඩ් නේම් එක. අපි කිව්වෙ අකිල සහ තාරුක. SL Meme Boys කියන්නෙ අපි දෙන්නා සෝෂල් මීඩියාවල භාවිතා කරන නම.

කවුද මෙහි නිත්‍ය සාමාජිකයන්

අකිල සී සිරිවර්ධන හා තාරුක තිල්ෂාන්. අපි දෙන්නා තමා නිත්‍ය සාමාජිකයන්. ඊට අමතරව තාරුක විශ්වජිත් අයියයි එයාගෙ පවුලෙ අයයි ගොඩක් සමීප වෙලා අපර උදව් කරනවා. පසිඳු චාමිකත් අපේ මිතුරාත් අපට හැකි වෙලාවට උදව් කරනවා.

කොහොමද මේ යූටියුබ් නාළිකාව සහ fb පේජ් එක පටන් ගැන්ම සිදුවෙන්නෙ

අපි මුලින් බෝඩිමේ ඉන්න ගමන් පාළුව යන්න මීම්ස් හදන පේජ් එකක් පටන් ගත්තා. ඒක ගොඩක්ම සමීප වුණේ කැම්පස් යන අයට. ඒකෙ නම SL University Memes. 2019 දි අපි පටන් ගත්තෙ. ගොඩාක් රසිකයෝ අපේ මීම්ස් වටා එකතු වුණා. 2021 අග දවසක් අපි අපේම වීඩියෝ එකක් දැම්මා "online exam" කියලා. ඒකට නොසිතූ ලෙස රසිකයෝ කැමති වුණා. ඒ නිසා sl university memes නම යටතේ අපි දිගින් දිගටම වීඩියෝ දැම්මා. එන්න එන්නම ඒවට සමීප වෙන පිරිස වැඩි වෙන්න ගත්තා. මිලියන ගණන් නැරඹුම් වාර ලැබුණා. පස්සෙ අපේ නම common නිසාත්, වීඩියෝ වලට නොගැළපෙන නිසාත්, මතුවට ප්‍රශ්නයක් නොවෙන්න අපිට නම වෙනස් කරන්න වුණා. මුලින් රසිකයො මේකට අකමැති වුණත් කරුණු පහදලා දුන්නට පස්සෙ කැමති වුණා. ඉතින් අපි අපේ අලුත් නමත් එක්ක වැඩ පටන් ගත්තා. ඒ තමා SL Meme Boys ෆේස්බුක් පේජ් එක. දැන් අපිව 125 000 කටවඩා රසික පිරිසක් ෆේස්බුක් එකේ ෆලෝව් කරනවා. youtube චැනල් එක නම් මෑතක පටන් ගත්තෙ. ඒ වගේම අපි තාම ඒක ලොකුවට ප්‍රවර්ධනය කරේ නෑ. ඒකට හේතුව අපිට ආසාවක් තිබුණා, සහ තාමත් තියනවා වෙනස් දෙයක් එක්ක youtube එකට එන්න. දැනට වීඩියෝස් දාගෙන යනවා. තාම අපේ රසිකයන්ට බල කරේ නෑ youtube එකට එන්න කියලා.

ටික්ටොක් එක ගැනත්

ටික්ටොක් එකත් කරගෙන යනවා. ඒකත් මෑත කාලයේ තමා පටන් ගත්තෙ. ඇත්තටම මාසයක්වත් නෑ. දැනට ෆලෝවර්ස්ලා 6500කට අධික පිරිසක් ඉන්නවා. ලයික්ස් 73 000කට අධික ප්‍රමාණයක් මේ කෙටි කාලයට ලැබුණා. ඇත්තටම අපි ගොඩක් බරදීල කරන්නෙ ෆේස්බුක් එකට.

මේ ඔස්සේ සමාජගත කරන්න උත්සාහ කරන්නෙ මොනවාද?

සරලකම. අපේ විහිළු සරලයි. මහ හයියෙන් හිනා වෙන්න නෑ. ඒ චරිතත් සරලයි. කතාව ඇතුළෙ බොහොම සරල ආකල්ප එක්ක එයාලා ජීවත් වෙන්නෙ. ඉතින් අපි ඒක තමා සමාජගත කරන්නෙ. හැමෝම එහෙම සරල වුණා නම් ප්‍රශ්න අඩුයි. අපේ වීඩියෝවල බලන්නකො ඒ චරිත මුහුණු දෙන ප්‍රශ්න, ගැටලු ඉතා සරලයි.

මෙහි එන වීඩියෝ ක්ලිප් වල පිටපත ලියන්නෙ කවුද ?

ගොඩක් වෙලාවට එක්කෙනෙක් අදහසක් කිව්වම දෙන්නගෙම අදහස් සම්මිශ්‍රණයක් වෙලා තමා පිටපත හැදෙන්නෙ.

වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු නිර්මාණය මොකක් ද ?

කොල්ලො ලයිසන් ගන්න ගියාම Vs කෙල්ලො ලයිසන් ගන්න ගියාම, සබන් ගාන හැටි 2019 vs 2021 දෙකම ඉතා ඉක්මනින් නැරඹුම්වාර මිලියනය පහු කරා. ඒ වගේම ටිපිටිප්, අතවරය කියන වීඩියෝ වලටත් ඉහළ රසික ආදරයක් ලැබුණා. ඒ සියල්ල අතරින් අපි YouTube දාලා තියෙන්නෙ "අතවරය" පමණයි.

යූටියුබ් නාළිකාවේ මේ වෙද්දි සබ්ස්ක්‍රයිබර්ස්ලා කී දෙනෙක් ඉන්නවද?

කලින් කිව්ව වගේ අපේ බලාපොරොත්තුව youtube එක ඇතුළෙ මීට වඩා වෙනසක් කරන්න. ඒ නිසා ලොකු ප්‍රවර්ධනයක් කළේ නෑ. මෑතක පටන් ගත්ත අපේ චැනල් එකට ඒත් 6000කට අධික පිරිසක් එකතු වෙලා ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා සබ්ස්ක්‍රයිබර්ස් 10 000ක් ආපු ගමන් ප්‍රවර්ධනය පටන් ගන්න. එතකන් හෙමීට ගියපු දෙන්.

මේ දේට අමතරව රැකියාවක් කරනවද?

අපි අපේ උපාධි සම්පූර්ණ කර ගන්න අවශ්‍ය සීමාවාසික පුහුණු කාලය ගත කරමින් ඉන්නෙ. අකිල - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙ, තාරුක - සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයෙ පුහුණුව ලබනවා.

ඉදිරියට කොයි විදියට ද ප්‍රේක්ෂකයන් වැඩි කරගන්න අදහස් කරන්නෙ

දැනට youtube එකට පිරිස ඈඳා ගන්න ගමන් ඉන්නෙ. කලින් නම් විශාල වැඩසටහනක් කරන්න සකස් කරන් හිටියා. මේ රටේ තත්ත්වය ඒකට සුදුසු නෑ.

යූටියුබ් නාළිකාවක් පටන් ගන්න කලින් වැඩියෙන්ම නැරඹුවේ කාගේ යූටියුබ් නාළිකාවේ වීඩියෝද?

බ්ලොක් ඇන්ඩ් ඩීනෝ, වස්ති තමා ආසම යූ ටියුබර්ස්ලා. වස්තිලාගෙ මියුසික් පැත්තට අපි මාරම ආසයි. දවසක් වස්තිලා බලන්නම කියලා මියුසිකල් එකකට ගියා. වස්තිලා පර්ෆෝම් කළේ අවසානෙටම. එතකොට පාන්දර එක පහුවෙලා. පහුවදා ලොකු ගමනක් යන්න තියෙද්දි අපි එතන හිටියා වස්තිලාගෙ පර්ෆෝම් එක බලල යන්න. හැබැයි YouTube එකට වඩා ෆිල්ම් පැත්තට තමා ගොඩක්ම ආසා.

රඟපාන්න අදහසක් නැද්ද?

රඟපාන්න ඉගෙන ගන්න එක, කොමඩි මියුසික් වීඩියෝ එකක් කරන එක, ටෙලිනාට්‍යක රඟපාන එක තමා ඉතින් හීනය.

 

Comments