
ටෝනි රණසිංහ රංගධරයා සිය රංගන දිවිය ආරම්භ කරනු ලැබුවේ වර්ෂ 1963 දී. ඒ ධර්මසිරි වික්‍රමරත්න නිෂ්පාදනය කළ “රන් තෝඩු” වේදිකා නාට්‍යයේ රඟපාමින්. ඒ වේදිකා නාට්‍යයේ “පියල්” නැමති චරිතයට පණ පොවමින් ඔහු සිදු කළ රංගනයට අග්‍රාණ්ඩුකාර සම්මානයත් හිමි වූවා. ඒ හොඳම නළුවා ලෙසින්.
මෙරට වේදිකා නාට්‍ය කලාවේ පුරෝගාමියකු වූ සුගතපාල ද සිල්වා මහතාගේ “බෝඩිංකාරයෝ”, “තට්ටු ගෙවල්” “නිල්කට්රොල් මල්” මෙන්ම “හරිම බඩු හයක්” වැනි වේදිකා නාට්‍යවල රඟපෑමෙන් ටෝනි රණසිංහයන් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියකු බවට පත් වූවා යැයි සඳහන් කළහොත් එය නිවැරදියි. එලෙසින්ම ඔහු වේදිකාවේ රංගනයෙන් ලද අත්දැකීම්, සිනමා රංගනයේදීත්, මැනවින් උපයෝගී කර ගනු ලැබූ බවයි අනාවරණය වන්නේ. එහෙත් ඔහු වේදිකා නාට්‍ය තුළ භාවිත කළ රංග රීතිය නම්, සිනමා මාධ්‍ය තුළ භාවිත කළේ නෑ, ඔහු සෑම විටම ප්රයත්න දැරුවේ සිනමාවට උචිත රංග ශෛලියක නියැළීමටයි. ඒ අනුව වේදිකාවට, සිනමාවට මෙන්ම, පසුකාලීනව රූපවාහිනී මාධ්‍යයටත් පැමිණි ටෝනි රණසිංහයන්, ඒ සියලු මාධ්‍යයන්වල රංග කාර්යයන්හි නිරත වූයේ, මනා අවබෝධයකින්.
සිංහල සිනමාවේ ප්‍රකට සිනමාවේදියකු වූ සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ “පුංචි අම්මා” සහ “රොඩී කෙල්ල” පිළිවෙළින් ටෝනි රණසිංහයන් රඟපෑ මුල්ම චිත්‍රපටයි. එහෙත් සිරිසේන විමලවීරයන්ගේ අභාවයත් සමඟ එකී චිත්‍රපටි සම්පූර්ණ නොවීම හේතුවෙන් තිරගත වී තිබී නෑ.
අනපේක්ෂිත එම සිදුවීම් ටෝනි රණසිංහයන්ට අභාග්‍ය සම්පන්න වූවත්, වර්ෂ 1963 දී තිරගත වූ “ගම්පෙරළිය” චිත්‍රපටයේ “බලදාස” නැමති චරිතයට පණ පෙවීමට හැකි වීම ඔහු ලද භාග්‍යයක්. ටෝනි රණසිංහයන් ස්වකීය සිනමා දිවිය පිළිබඳව ආවර්ජනයේ යෙදෙන බොහෝ අවස්ථාවලදී, සඳහන් කරනු ලබන්නේ, අග්‍රගණ්‍ය සිනමාවේදියකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ විශිෂ්ට නිර්මාණයකින් සිනමාලෝලීන් අතරට පැමිණීමට හැකිවීම තමන් ලද භාග්‍යක් වූ බවයි. ටෝනි රණසිංහයන් ආචාර්ය පීරිස් විසින් නිර්මාණය කරනු ලැබූ චිත්‍රපට ගණනාවකට සම්බන්ධ වී තිබේ.
ඒවාගේම ටෝනි රණසිංහයන් චරිතාංග නළුවකු බවට පත්වීමට ආචාර්ය පීරිස් මහතාගේ චිත්‍රපටිවල රඟපෑමත් ප්‍රබල හේතුවක්. ටෝනි රණසිංහයන් ආචාර්ය පීරිස්ගේ “ගම්පෙරළිය” චිත්‍රපටියේ රඟපෑමෙන් පසුව “දෙළොවක් අතර”, “රන්සළු”, “අහසින් පොළොවට”, “බැද්දේ ගම”, “කලියුගය” මෙන්ම “අවරගිර” වැනි චිත්‍රපටිවල ද විවිධ චරිත නිරූපණය කිරීමට සමත් වී තිබෙනවා. ඒ අතරින් “දෙලොවක් අතර” චිත්රපටයෙහි මානසික ගැටලුවකට හසුවුණු නාගරික තරුණයකු වූ “නිශ්ශංක” ගේ චරිතය පිළිබඳව සිනමා විචාරකයන්ගේ මෙන්ම සිනමාලෝලීන්ගේ ද විශේෂ අවධානයට පාත්රවීම ද විශේෂයක්.
සිංහල සිනමාවේ සක්විති ලෙස විරුදාවලිය ලැබූ ආචාර්ය ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ “පරසතු මල්” චිත්‍රපටයෙන් රඟපෑමට අවස්ථාව උදා කර ගැනීම, ටෝනි රණසිංහයන්ගේ සිනමා දිවියෙහි විශේෂ කඩඉමක්. එම චිත්‍රපටියෙහි “සිරිසේන” නැමති ගැමි චරිතයකට පණ පොවමින් හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමිකර ගනු ලැබුවේ ටෝනි රණසිංහයන්. ඒ විතරක් නොවෙයි ඔහු තම සිනමා දිවියෙහි සම්මාන සහ ඇගයුම් බොහෝමයක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අතුරින් වර්ෂ 1969, 1976 සහ 1979 යන වර්ෂවලදී හිමි කර ගනු ලැබූ හොඳම නළුවාට හිමි සම්මාන ප්රමුඛ වනු ඇත. මේ ප්‍රතිභාපූර්ණ රංගධරයාණන් ජනතා සම්මානයට ද පාත්‍ර වෙමින්, චිත්‍රපටි රැසකට රංගනයෙන් දායක වූ බවත් සඳහන් කළ යුතුයි. ඒ අතුරින් හන්තානේ කතාව, දුහුල් මලක්, ගඟ අද්දර, සප්ත කන්‍යා, සළෙළු වරම මෙන්ම පවුරු වළලු වැනි චිත්‍රපටි කැපී පෙනෙනු ඇත.
ආචාර්ය පීරිස්, ආචාර්ය ගාමිණී ෆොන්සේකා, ලෙනින් මොරායස්, සුගතපාල සෙනරත් යාපා, නීල් රූපසිංහ, මිල්ටන් ජයවර්ධන, ස්රමිත්රා පීරිස්, එච්. ඩී ප්‍රේමරත්න, වසන්ත ඔබේසේකර, ප්‍රසන්න විතානගේ, සෝමරත්න දිසානායක, උදයකාන්ත වර්ණසූරිය සහ සුදත් දේවප්‍රිය වැනි අපේ රටේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට රංගනයෙන් දායක වූ ටෝනි රණසිංහයන් සිංහල සිනමාවේ විශිෂ්ට රංගධරයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. කොටි වලිගය, තරණය, දුවට මවක මිස, කෙළිමඩල. මෙන්ම පවුරු වළළු වැනි චිත්‍රපටිවල තිර රචකයා වූයේ ටෝනි රණසිංහයන්. අාදරණීය අයිරා, ජෝගි හමාරයි, මට කවුරුත් ආදරේ නෑ මෙන්ම හැමදාම ඔබ මගේ වැනි නවකතා තුළින් ද පොදු ජනතාව අතරට පැමිණි ටෝනි රණසිංහ කලාතුරකින් පහළ වන නිර්මාණකරුවෙක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.
වේදිකාව, සිනමාව සහ රූපවාහිනියේ ප්‍රවීණ රංගන ශිල්පියකු ලෙසත්, තිර නාටක රචකයකු, ග්රන්ථ කතුවරයකු, පරිවර්තකයකු මෙන්ම මාධ්‍යවේදියකු ලෙසත්, අඩසිය වසකට අධික කාලයක් නොමැකෙන මතක සටහන් තැබූ ටෝනි රණසිංහයන් කලා ලොවට සමුදුන් දින, සිය ගුණකථනයේ දී ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක සඳහන් කළේ “සමහර පුද්ගලයන්ගේ මරණ අපට දරා ගන්න බෑ, අපේ හිත කියනව, අප තනි වෙලා කියලා, එහෙම අපිට හිතෙන්නේ අමරණීය පුද්ගලයන් ගැන පමණයි. අද මේ මොහොතේ දැයෙන් සමුගන්නේ, ඒවගේ අමරණීය පුද්ගලයෙක්” ලෙසයි.
මෙරට සිංහල සිනමාවේ මුල්ම ආකර්ෂණීය නළුවා විජය කුමාරතුංග බවට පත් වෙද්දී, සිංහල සිනමාවේ මුල්ම කඩවසම් නළුවා බවට පත් වූයේ, ටෝනි රණසිංහ. ඒ කඩවසම් පෙනුමත්, ප්‍රවීණත්වයත් හේතුකොටගෙන එම වකවානුව තුළ බොහෝ සිනමා පුවත්පත් සහ සඟරාවල වැඩියෙන් පළ වූයේ, ටෝනි රණසිංහයන්ගේ ඡායාරූප. එම පළවීම් කෙතරම්ද යත්, ටෝනි රණසිංහ එවක ප්‍රකට වූයේ “පත්තර නළුවා” යන නාමයෙන්.
එනමුදු තම රංග කාර්යය ප්රශස්ත මට්ටමින් ඉදිරිපත් කළ ටෝනි රණසිංහයන්, නිරූපණය කළ යුතු චරිතය පිළිබඳව සැලකිලිමත් වූවා මිස, ස්වභාවධර්මයෙන් උරුම වූ තම කඩවසම් පෙනුම සිනමාවේ දී, තම ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට ප්රයත්න දැරුවේ නැත.
ඔහු සෑමවිටම සිනමාලෝලීන්ගේ මතකයෙන් ඈත් නොවන චරිත නිරූපණය කළේ ය. ඒවාගේම තම රූපකාය, චරිතයට වඩාත් උචිත වන අයුරින් හැඩගස්වා ගැනීමට වෙහෙසුණු ටෝනි රණසිංහ නිර්මාණය ඉහළට රැගෙන යාමට ප්‍රමුඛත්වක් ලබා දුන් නළුවකු විය. මේ සම්බන්ධව බොහෝ සිනමා විචාරකයන්ගේ අදහස වන්නේ, එය විශිෂ්ට රංගනවේදීන්ගේ ගුණාංගයක් වන බවයි.