විවාහය කියන්නේ පොතේ අත්සන් කිරීම පමණක් නොවේ | Page 2 | සිළුමිණ

විවාහය කියන්නේ පොතේ අත්සන් කිරීම පමණක් නොවේ

වර්තමානය වන විට විවාහය විවිධ හැලහැප්පීම් මැද ක්‍රියාත්මක වන්නක් බවට පත් වී ඇති නිසා ම, ඒ පිළිබඳව සිතා බැලීමට පාඨක ඔබට යම් මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා දීම වෙනුවෙන් අපි මෙවර සාකච්ඡාවට එක් කර ගත්තේ මෙරට කීර්තිමත් මනෝ විද්‍යාඥයකු, පෞරුෂ සංවර්ධන උපදේශකයකු, දේශකයකු මෙන් ම විද්වතකු ද වන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාළයි.

 

" වර්තමානය වෙනකොට පවුල් සංස්ථාව ආශ්‍රිතව ඉතා දියුණු සම්මත රටාවක් ගොඩනැගිල තිබෙනවා. දෙදෙනෙක් එක් වුණා ම ඒ සබඳතාව දිගු කාලීනව පවත්වාගෙන යන්න පිළිගැනීම, එකඟතාව, මිත්‍රශීලීත්වය, හිතවත්කම, වගේ ම දැනුවත්කමත් අවශ්‍යයි. විවාහය කියන්නෙ පොතේ අත්සන් කරල කසාද බඳින එක විතරක් ම නොවෙයි. ජීවිත කාලය පුරා එක්ව ජීවත් වෙන්න පුළුවන් මිත්‍රශීලී බවක්, සබඳතාවක් ගොඩනඟා ගැනීම අවශ්‍යයි. ඒ විදියට ජීවිත කාලය ම එකට යන්න පුළුවන් කෙනෙක් සොයාගැනීම ඉතා වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් හිතනවා විවාහයට කලින් තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය තුළ දකින්නට ලැබෙන යම් යම් වැරදි බැන්දයින් පස්සෙ හදාගන්න පුළුවන් වේවි කියල. මනෝවිද්‍යාත්මකව එහෙම වෙන්නේ නැති බව පැවසිය යුතුමයි. මිනිස්සු කියන්නේ යම් කිසි පුරුදු සමූහයක් දිගින් දිගට ම පවත්වාගෙන යන ජීවීන් කොට්ඨාසයක්. ඒ පුරුදු නැවත වෙනස් කිරීමට ලොකු වෙහෙසක් දැරීමට සිදුවෙනවා. ඉතා කලාතුරකින් කෙනෙකුට තමන්ගේ පුරුදු වෙනස් කරගැනීමට පුළුවන් වුණත්, බහුතරයකට එය අපහසුයි. උදාහරණයක් විදියට මත්පැන්වලට හෝ සූදුවට ඇබ්බැහි වුණු කෙනෙක් අරගෙන බැලුවොත්, ඒ අය බොහෝ දෙනෙක් විවාහ වුණා කියල ඒ පුරුදු අතාරින්නෙ නැහැ.

ඒ නිසා ම විවාහ වීමට කලින් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය විදියට තෝරගන්න කෙනා විවාහ ජීවිතයක් ගත කිරීමට සුදුසුයි ද, ඔහුගේ හෝ ඇයගේ සිතුම් පැතුම් තමාගේ සිතුම් පැතුම් රටාව සමඟ ගැළපෙනවද කියන කරුණුවලට අවධානය යොමු කිරීම ඉතා වැදගත්. සහකරුවා හෝ සහකාරිය හැම වෙලාවෙම කෙනෙකුගෙ අදහස්වලට විරුද්ධ වෙනවා නම්, තමුන්ගෙ විනෝදාස්වාදය, ආගමික චින්තනය වගේ දේවල් ප්‍රතික්ෂේප කරනවා නම් විවාහ ජීවිතයක් සාර්ථක වෙන්නෙ නැහැ. තමන්ට ගැළපෙන කෙනෙක් ලැබුණොත් ජීවිත කාලය ම සතුටින් ජීවත් වීමට පුළුවන්. ඒ නිසා ම තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය තෝරා ගනිද්දි දෙවරක් සිතන්න කියලා මම අවධාරණය කරනවා. "

විවාහ වීමට පෙර වෙන වෙන ම ජීවත් වුව ද විවාහයෙන් පසුව දෙදෙනකු එක්ව ජීවත්වීම අරඹති. එහි දී එකිනෙකාට උපකාර කිරීමට, සහයෝගය දැක්වීමට දෙදෙනා ම වගබලා ගත යුතුය. පවුල් සංස්ථාව නම් ආයතනය සාර්ථකව ක්‍රියාත්මක වීමට නම්, සැමියා හා බිරිය යන දෙදෙනා ම තමා වෙත පැවරී ඇති භූමිකාවන්ගේ වගකීම් ඉටු කිරීමට මෙන් ම, ඇතැම් වගකීම් සාමූහිකව ඉටුකිරීමට ද වගබලාගත යුතුය. එහි දී එකිනෙකාගේ භූමිකාවන් පිළිබඳව එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත් එහි දී ගැටලුකාරී අවස්ථාවන් උද්ගත විය හැකිය.

" සැමියා සහ බිරිය කියන දෙදෙනා ම රැකියාවක නිරත වෙනව කියල හිතමු. එහි දී එකිනෙකාගෙ රැකියාවේ ස්වභාවය ගැන අවබෝධ කර ගැනීම වැදගත්. එහෙම නොවුණොත් ගැටලු ඇති වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ වගේ ම විවාහ ජීවිතයක් සාර්ථක වීමට එකිනෙකාව තේරුම් ගත යුතුමයි. සැමියාගේ හෝ බිරියගේ අවශ්‍යතා මොනවා ද, ඔහුගේ හෝ ඇයගේ පුරුදු මොනවා ද, ඔහුගේ හෝ ඇයගේ රුචි අරුචිකම්, හැකියාවන් නොහැකියාවන් මොනවා ද කියා හොඳින් අවබෝධ කරගත්තොත් ගැටලු ඇතිවීමට තිබෙන අවස්ථා මඟහරවා ගෙන ජීවත් වීමට පුළුවන් වේවි. "

යම් පවුල් සංස්ථාවක සැමියා සහ බිරිය යන දෙදෙනා ම මෙලෙස කාර්යබහුල වීම ගැටුම්කාරි අවස්ථා නිර්මාණය කරයි. මෙවැනි තත්ත්වවල දී එකිනෙකාට හොඳින් ඇහුම්කන් දීම සහ එකිනෙකා තේරුම් ගැනීම ඉතා වැදගත්ය. විවාහය සම්බන්ධව ලියවී ඇති විවිධ පොත පත පරිශීලනය ද බොහෝ පවුල් ගැටලු නිරාකරණය කර ගැනීමට ශක්තිය ලබා දෙයි. එමෙන් ම යම් ගැටලුවක් පිළිබඳව දෙදෙනාට සාකච්ඡා කොට විසඳා ගත නොහැකි නම්, උපදේශන සේවාවක් වෙත යොමු වීම ද සාර්ථක විසඳුමක් ලෙස දැක්විය හැකිය.

" පවුල් ප්‍රශ්න නිසා දරුවන්ට ඇතිවෙන බලපෑම ඉතා විශාලයි. සමහර වෙලාවට දෙමව්පියන් කාර්යබහුල නිසා ඔවුන්ට දරුවන්ව මඟ හැරෙනවා. දරුවන් හැදීමට දැඩි කැපවීමක් අවශ්‍යයි. ඒ නිසා ම දරුවන් හදන්න කලින් ඔවුන් වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න පුළුවන්ද කියන එක කල්පනා කරන්න ඕනෙ. දරුවන්ට ඔහේ හැදෙන්න ඉඩ හැරීම අපරාධයක්. මේ ලෝකෙට දරුවන් බිහි කරනවා නම්, දරුවන් හොඳට හදල, ඔවුන්ට උගන්වල, මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. එසේ කරන්න බැරි නම් දරුවන් හදන්න එපා කියල අවුරුදු දෙදහස් හයසීයකට පමණ පෙර සොක්‍රටීස් වගේ පඬිවරු පවා කියල තිබෙනව. ඒ වගේ ම දෙමව්පියන්ගේ බලාපොරොත්තු දරුවන් මගින් ඉටුකරවාගැනීමට යාම නිසා දරුවන් පීඩාවට පත් වීමත් වර්තමාන සමාජයේ බහුලව දක්නට ලැබෙන තවත් ගැටලුවක් "

විවාහයක් යනු විවිධ අදහස් ඇති දෙදෙනකුගේ එක්වීමයි. එ නිසා ම පවුලක් තුළ විවිධ මත ගැටුම් ඇති වීම සාමාන්‍ය කරුණකි. ඇතිවන ගැටුම් දුරදිග යා නොදී අවබෝධයෙන් යුතුව නිරාකරණය කරගැනීම තුළින් බොහෝ පවුල් අවුල් නොවී බේරා ගත හැකිය.

"දෙදෙනෙක් විවාහයට පෙර හැදී වැඩෙන්නේ වෙනස් ම පරිසරයන් දෙකකයි. මේ නිසා විවාහ වන දෙදෙනා එකිනෙකා හොඳින් හඳුනා ගැනීම ඉතා වැදගත්. බොහෝවිට විවාපත් තමන්ගෙ පුතාට හෝ දුවට දෙමව්පියන් විවිධ උපදෙස් ලබා දෙන අවස්ථා අපට දක්නට ලැබෙනවා. සමහරවිට ඒ පවුල තුළ යම් ගැටුමක ආරම්භය එය ම වෙන්න පුළුවන්. විවාහ ජීවිතයට ඇතුළත් වෙන දෙදෙනෙකුට ස්වාධීනව ගොඩනැඟෙන්නට අවස්ථාව ලබාදීම අත්‍යවශ්‍යයි. විවාහ වුණු දෙදෙනෙක් අඩුම තරමේ අවුරුද්දක්වත් වෙන ම ජීවත් වෙන්න ඕනේ. යම් ගැටුමකදි කරන්න ඕනෙ හොඳ ම දේ තමයි, ගැටුමට හේතුව හඳුනාගෙන ඊට විසඳුම් ලබාදීම. ඒ තුළින් ගැටුමක් ඇති වීමට ඉඩ නොදී, එය වළක්වා ගැනීම ඉතා වටිනවා. අනිත් කාරණය තමයි තරුණ වයසේ ඉන්න දුවල පුතාල විවාහයට පෙර තමන්ගෙ ඇවතුම් පැවතුම් ගැන ප්‍රවේශම් විය යුතුමයි"

 

Comments