
වසර 2017 දි ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ජීවත්වන දිනවල ඇය තම රැකියා ස්ථානයේ පැය13ක සේවා මුරයක නිරත විම නිසා දැඩි මානසික ආතතියක්න් පීඩා විඳිනවා. ඇය විඳින පීඩාව දුටු ලංකාවේ සිටින ඇගේ මව තමයි ඇයට මතක් කරන්නේ එදා පාසල් කාලයේ ලියුවා වගේ නවකතා ලියන්න ආයෙත් පටන් ගන්න කියලා. දවසක් ඇය කෝචිචියේ ගෙදර යන ගමන් මුහුණු පොතේ කියවන්නට ලැබෙන්නේ එක් නිරූපිකාවකට සමාජ මාධ්‍යවල අසැබි විදිහට මිනිස්සු බැණ වදින අන්දම. මේ ගැන ඇගේ හිතට නැගෙන සිතුවිල්ලක් කතාවක් ලෙස ලියලා ‘සුළඟේ සැඟවුණු ආදරේ‘ නමින් මුහුණු පොතේ පළ කරනවා. එදා පුංචි කතාවට ලැබුණ පාඨක ප්‍රතිචාරය තමයි චේතනා ද සිල්වා නම් ලේඛිකාවගෙ නවකතා ලිවීමේ ශක්තිය වන්නේ.
චේතනාද සිල්වා කොලොන්නාව බාලිකාවෙන් පහ වසර ශිෂත්වයෙන් සමත්වෙලා කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කරනවා.
පාසල් යන කාලේ නර්තනයට ඇලුම් කළ ඈ රැජින සෙල්වනායගම් ගුරුතුමියගේ සිසුවියක්. නමුත් උසස් පෙළට වාණිජ විෂයයන් හදාරන චේතනා ඉන්පසු පෞද්ගලික බැංකුවක රැකියාවට යනවා.
වරලත් ගණකාධිකාරි පාඨමාලාව හදාරමින් පෞද්ගලික ආයතන කිහිපයක රැකියාවේ නිරත වුණු ඇය විවාහයෙන් වසර පහකට පසු විදෙස් ගත වෙනවා. යලිත් මව්රට පැමිණෙන ඇය ‘අහස් ප්‍රකාශන‘ නමින් තමන්ගේම ප්‍රකාශන ආයතනයක් ආරම්භ කර ඒ හරහා තවත් බොහෝ ලේඛකයන්ගේ පොත් එළි දක්වන්නට ශක්තියක් වී සිටිනවා.
1 මගේ පළමු නවකතාව
'මුද්‍රිත මාධ්‍යයෙන් එළිදැක්වූ මගේ පළමු නවකතාව 'අනුරාවී'. ඒ 2020 වසරේදි. නමුත් නවකතා පාඨකයන් අතරට මාව රැගෙන ආවේ මුහුණු පොතේ ලියවුන 'සුළගේ සැඟවුණ ආදරේ" කියන ආදර කතාවයි. නිරූපිකාවක් වටා ගෙතුණ සුළගේ සැඟවූ ආදරේ නවකතාව මුහුණු පොතෙන් පාඨකයන් පිළි නොගත්තා නම් අද මම මෙතන නෑ කියලයි මම හිතන්නේ. 'අනුරාවී' මම මුහුණු පොතට ලියපු දහවැනි නවකතාව වුණත් මට මුද්‍රිත මාධ්‍යයෙන් මුලින්ම එළි දක්වන්න සිදුවුණේ බොහෝ පාඨක ඉල්ලීම් නිසයි. නොසිතපු විදිහට අනුරාවී පොතේ පිටපත් 1000 පළමු මාස දෙක තුළ විකිණී අවසන් වුණා. ඒක නම් මට අදටත් අදහා ගන්න බැරි දෙයක්. 'අනුරාවී' මා අතින් ලියවුණ වෙනස්ම ආරක නවකතාවක්.
2. එහි සිත්ගත් හා සංවේදී අවස්ථා
පෞද්ගලිකව මම මෙම නවකතාව බොහොම සතුටින් රචනා කරන ලද්දක්. මෙහි කතා නායිකාව වන වියානා බොහෝ සෙයින් පොතට පතට ඇලුම් කරන්නියක්. ඇය තම පෙම්වතා හා දුරකථනය හරහා බැඳී යන්නේ මේ නවකතා පොත් ගැන කරන කතාබහ අතරතුරයි. ඉතින් වියානා පොත් ගැන කතා කරනා හැම විටම ඒ තුළ සිටියේ මමයි.
සංවේදීම වුණ එක් අවස්ථාවක් නම්, වියානා තම පෙම්වතාගේ මරණය සැලවීමෙන් පසු දිනක් නිවසින් අතුරුදහන්ව යනවා. එහිදී ඔහුගේ සොහොයුරා ඔහුව සොයා එනවිට ඇය සිටින්නේ ඔවුන් දෙදෙනා තම ආදරයේ නව තැනක් කරගත් වීදුරු නිවස තුළයි. එහි ඇය බිම පුරා පාට තීන්ත විසුරුවා එහි දිගෑදී ඉන්නවා. සොහොයුරා ඇය එලෙස සිටින හේතුව විමසන විට ඇය පවසන්නේ එම තීන්තවල එයාගේ උණුසුම තියනවා කියලා. ඒ උණුසුමේ එයා ගුලිවෙලා ඉන්නේ. ඒ අවස්ථාව ලියද්දී මම ගොඩක් සංවේදි වුණා. මම හිතන්නෙ ගැහැනියක පිරිමියෙක්ගෙන් ලබන්න ආසම ඒ උණුසුමයි. ඔහු මිය ගියත් ඔහුගේ මතක රැඳුණ තැන්වල ඇය ඇවිද ඇවිද ඔහුගේ උණුසුම හොයනවා. ඒ වගේම තවත් තැනක ඇය ජීවිත කාලයේදිම ආදරය කළ පොත්වල පිටු ඉර ඉරා පුච්චනවා. මුළු පොත් රාක්කයම අළු කරනවා. ඒ ඇය ජිවිත කාලයේම පොත්වල විඳපු ආදරය ඇයගේ සැමියාගෙන් නොලැබෙන බව දැනෙද්දී ඇයට ආදරය කියන වචනය පවා පිළිකුල්ව යන මොහොතයි. ඒ අවස්ථා දෙක මම අනුරාවී පොත ලිවීමේදි සංවේදිම වුණු අවස්ථා දෙකයි.
3. මගේ වෙනත් නවකතා සහ ලැබුණු පාඨක ප්‍රතිචාර
මා විසින් රචිත නවකතා දැනට අටක් මුද්‍රිත මාධ්‍යයෙන් එළි දක්වලා තියනවා. අනුරාවී, පිනියහන්, සේයාවී, හංසියේ, මිරිඟුවකි ඔබ, මන්දාරම,අහස් සහ අහස් මේඝය, සීතල පෙම.
මෙම නවකතා අට ප්‍රභේද කිහිපයකින් ලියවුණ නවකතා කිහිපයක්. මේ නවකතා එකිනෙකට වෙනස් තේමා ගැන ලියවුණු නිසා විවිධ පාඨක කණ්ඩායම් අතරෙන් ප්‍රතිචාර ලැබුණා.
4. මා නොලියූ, මා කැමති වෙනත් පොත්
අදටත් මට ලියන්න බැරිවුණේ ලංකා ඉතිහාසය ගැන ඇතුළත් කතාවක්. ඒ ගැන මට ලොකු ආශාවක් තියෙනවා. මම කියවන්න ගොඩක්ම ආසත් ඉතිහාස කතා. ඒ වගේම ෆැන්ටසි ශානරයට ලියවුණ කතාවලටත් මම කැමතියි. ඒ අතරින් මං ආසම කරන පොතක් තමයි මොහාන් රාජ් මඩවල මහතාගේ රැජින නවකතාව.එම නවකතාව තුළ දිගහැරෙන්නේ ලාංකිය ඉතිහාසයේ කාමුකම රැජිනක් විදිහට හංවඩුගැහුන අනුලා දේවියගේ අපි අසා නොතිබුණ කතාවක්.කළු චරිතයක් විදිහට අපේ ඉතිහාස පොත්වල ලියවෙන අනුලා දේවිය ගැන අපිට ඇහැට කදුළක් නැගෙන තරම් සංවේදිව වෙනස්ම තතාවක් ඔහු එළිකරනවා. ඇත්තටම මම හැමදාමත් ඔහුගේ පොතක් කියවන කොට හිතා ගන්න බැරි එකම දේ ඒ තරම් හොදට ගැහැනු හිතක් ගැන ඔහු රචනා කරන්නෙ කොහොමද කියන එකයි.
5 මගේ ඉදිරි සැලසුම්
ඉදිරි සැලසුම් ගොඩක් මේ ආර්ථික පෙරළියත් එක්ක ඉටු කරගන්න අසීරුයි. මං ගොඩක් ආදරෙන් පටන් ගත්තු මගේ ප්‍රකාශන ආයතනය හරහා මගේ වගේම තවත් මුහුණු පොතෙන් ආපු රචිකාවියන් කිහිප දෙනෙකුගේම පොත් පහුගිය අවුරුදු එකහමාරක කාලය තුළ මම එළිදැක්වුවා. මම දැනට කරා ගන යන සිතුවිලි නිම්නය නවකතා පිටුව තුළින් මම තවත් අලුත් ලේඛකයන් මුද්‍රණය ක්ෂේත්‍රයට රැගෙන එන්නට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මම ඉතා ආදරයෙන් රචනා කළ 'සුසුම්' නවකතාව වෙනුවෙන් ලබන වසරේදි දොරට වැඩීමේ උත්සවයක් සංවිධානය කරන්නත් බලාපෙරොත්තු වනවා. මගේ මේ ගමන එන්නට උදව් කළ සැමදෙනාටම මගේ ස්තූතිය පිරිනමන්නටත් කැමතියි.