මම බටහිර වෛද්‍යවරයෙක් වුණාට පාරම්පරික වෙදකමේ ගු ණ හොඳට දන්නවා | සිළුමිණ

මම බටහිර වෛද්‍යවරයෙක් වුණාට පාරම්පරික වෙදකමේ ගු ණ හොඳට දන්නවා

මම සතා සිවුපාවාට බොහොම ආදරය කරන කෙනෙක්. කුඩා කාලයේදී අධිකාරම්තුමාගේ ඇසුර නිසා සතුන් කෙරෙහි ආදරය, කරුණාව දැක්වීම තවත් වැඩි වුණා

ගමට පත්තර අරන් එන පත්තර බයිසිකලයෙන් හැමදාම දිනමිණ පත්තරේත්, සති අන්තයේ සිළුමිණ පත්තරේත් අරගන්න තාත්තා පුරුදු වෙලා හිටියා. පත්තර බයිසිකලය ගේ ළඟට ඇවිත් බෙල් එක ගහද්දි මම දුවලා ගිහින් පත්තර ගන්නවා. ඒ මොහොතේදී ම පත්තර පෙරළලා බලන්න ආසා වුණත් තාත්තාට මුලින් ම පත්තර දීලා මං පැත්තකින් වාඩි වෙලා ඉන්නවා

ඔහු ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ මාධ්‍ය සම්බන්ධිකාරක හා කාර්යභාර වෛද්‍ය නිලධාරී ලෙස ද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කළා

 

ප්‍රතිභාපූර්ණ මෙන් ම ඉතා සංවේදී ලේඛකයෙකු ද වන වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි අපට බොහෝ සමීප වන්නේ විද්යුත් හා පුවත්පත් මාධ්‍ය සන්නිවේදකයකු ලෙසිනි. එකී මාධ්‍යවල වෛද්‍ය වැඩසටහන්වලදී විවිධ රෝග හා ප්‍රතිකාර සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන ඔහු පරිසර ඡායාරූපකරණයට ද දැඩි ව බැඳුණු අයෙකි.

 

බදුල්ල මහා රෝහලේ දී 1955 ජූලි 23 වැනිදා උපන් ඔහුගේ පියා බදුල්ල දිස්ත්‍රික්කයේ, එගොඩවෙල විද්‍යාලයේ හිටපු විදුහල්පති නොඑසේ නම් ලොකු ඉස්කෝලේ මහත්තයා වූ විල්බර්ට් හෙට්ටිආරච්චි ය. ඔහු ගාම්භීර තැනැත්තෙකි. ජාතික ඇඳුම අඳින ඔහුගේ අතේ නිතර වේවැලක් රැඳුණේ පාසල් භූමියේ සිටියදී ය. පසු කලක පහළ හෙවෙස්ස පාසලේ විදුහල්පති ව, පැලවත්තේ සතිපොළ දවසට පාසලට පහළින් වූ පාර දිගේ අවුත් පාසලට නොපැමිණ පිට පාරේ මව්පියන් සමග පොළට යන දරුවන්ට පඩිපෙළ පාමුළ රැක සිට වේවැල් පාරක් දෙකක් දුන්නේ ඔවුන්ගේ මව හෝ ඔවුන් රැගෙන යන වැඩිහිටියාට ද සමඟ ය.

ඔහුගේ පෞර්ෂයට ගමක් අවනත වූවා පමණක් නොව ගෞරවය ද දැක්වීය.මව එම පාසලේ ම ගුරුවරියක වූ යසවතී ජයසේකර ය. ගමේ උදවිය, සහෝදර ගුරුවරු ඇයට කීවේ ‘ලොකු ඉස‍්කෝලේ හාමිනේ’ කියා ය. ඇය ඉතා කාරුණික තැනැත්තියකි. ගමේ සෑම දරුවෙක් ම ඇයට දරුවෙකි. පියාගේ ගම් පළාත වන්නේ කළුතර, අගලවත්තේ පැළවත්ත ග්‍රාමය යි. මව මාතර කිරින්ද පුහුල්වැල්ල ග්‍රාමයේ තැනැත්තියකි. ජීවිතයේ වැඩි කාලයක් පියාගේ ගම වන අගලවත්ත පැළවත්තේ විසූ නිසා අදටත් වෛද්‍ය හෙට්ටිආරච්චි සිය ගම ලෙස සලකන්නේ පියාගේ ගම් පළාත යි.

“මට අක්කලා තුන් දෙනෙක් ඉන්නවා. එයින් දෙන්නෙක් අදටත් අගලවත්ත, පැළවත්ත ගමේ ජීවත් වෙනවා. එක අක්කා කෙනෙක් ගුවන්විදුලියේත් වැඩ කළා. මම බදුල්ලේ ඉපදුණාට මට බදුල්ල ගැන මතකයක් නැහැ. බදුල්ලෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම කැටගොඩ විද්‍යාලයට ස්ථාන මාරු සහිතව දෙමව්පියන් පැමිණ තිබෙනවා. මට ඒ පිළිබඳ මතකයක් තියෙනවා. අපි බොහෝවිට ජීවත් වුණේ පාසල්වල විදුහල්පති නිල නිවාසවල යි. අපේ අම්මායි, තාත්තායි තදබල අසනීපයකට හැ‍ර වෙනත් කිසි ම දවසක නිවාඩු අරගෙන නැහැ.

ඒ වෙනුවෙන් පිරිනමන සම්මාන ගන්න ඒ දෙන්නාට සෑම වසරක ම වාගේ කොළඹ එන්න සිදු වුණා. අම්මායි, තාත්තායි හිටිය පාසල්වලට ම අපිත් ගියා. ගාල්ලෙන් පස්සේ තාත්තා කළුතර දිස්ත්‍රික්කයේ, පහළ හෙවෙස්ස විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළ කාලයේදී, මගේ පාසල් ගමන එම පාසලෙන් ආරම්භ වෙනවා. ඒ පාසලේ පහේ පන්තිය දක්වා මම ඉගෙන ගත්තා. ළමයි තමන්ට තියෙන ඇඳුමක් ඇඳගෙන ඉස්කෝලේ ආවා. පාසල් නිවාඩු කාලෙට පාසලේ ගොඩනැගිලි හිස් වුණා. නිවාඩු දෙන්න කලින් දවසේ පන්ති කාමරවල ඩෙස් පුටු එක පැත්තකට ගොඩ ගහලා අයින් කරනවා. එතකොට දිග ශාලාවල ලොකු තීරුවක් හොඳට ඉඩ කඩ සහිත වෙනවා. මම පුංචි ම පුංචි කාලේ ඒ ගොඩනැගිලිවල මගේ රෝද තුනේ බයිසිකලය හරි ම සතුටින් පැදගෙන ගියා. අපි සෙල්ලම් කළේ පාසල් භූමියේම යි. පහළ හෙවෙස්ස විද්‍යාලය ටිකක් උස් බිමක පිහිටා තිබුණා. අපි නතර වෙලා හිටිය නිල නිවසේ සිට අවට බලද්දි හරි ම ලස්සන පරිසර දසුන් දැක ගත හැකි වුණා.

පාරේ ඉඳලා පාසලට පඩි පෙළ පන්ති තුනක් තිබුණා. පාසලේ ඉහළ සිට පහළ බලද්දි ගඟ පේනවා, ගඟ ළඟ තිබුණු ළඳු කැළෑව පේනවා, පාර පේනවා, පාර ළඟ තිබුණු ඇළ බෝක්කු ආදිය පේනවා, කඩ මණ්ඩිය පේනවා. මහා වැසි කාලෙට ගං වතුර ගලාගෙන ළඳු කැළෑව පහු කරගෙන පාරත් යට කරගෙන පාසලට පහළ විශාල ප්‍රදේශයක් ගංවතුරෙන් යට වන හැටි ඒ කාලේ අපි බලාගෙන හිටියා. ඒ ගං වතුරේ දිය බල්ලන් පීනගෙන ආ හැටි අපි දැක්කා. මේ පරිසරයත් එක්ක වැඩුණු මගේ ජීවිතය සහ සිතුවිලි පසු කාලයක මා සන්නිවේදකයෙක්, ලේඛකයෙක් බවට පත් කළා. ඒ විතරක් නෙවෙයි ගමට පත්තර අරන් එන පත්තර බයිසිකලයෙන් හැමදාම දිනමිණ පත්තරේත්, සති අන්තයේ සිළුමිණ පත්තරේත් අරගන්න තාත්තා පුරුදු වෙලා හිටියා. පත්තර බයිසිකලය ගේ ළඟට ඇවිත් බෙල් එක ගහද්දි මම දුවලා ගිහින් පත්තර ගන්නවා. ඒ මොහොතේදී ම පත්තර පෙරළලා බලන්න ආසා වුණත් තාත්තාට මුලින් ම පත්තර දීලා මං පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. තාත්තා පත්තරේ බලලා පැත්තකින් තිබ්බ ගමන් මං දුවලා ගිහින් පත්තරේ අරන් බලනවා.

ඒ කාලේ පත්තරේ ගිය චිත්‍ර කතා මං කියවලා, කපලා පොතක අලවලා පොතක් විදිහටත් හැදුවා. තාත්තා පාසලේ නිල නිවාසයේ පදිංචි වෙන නිසා පාසලේ පුස්තකාලේ පොත් පරිහරණය කිරීමේ අවස්ථාව අපට ලැබුණා. එයින් පොත් කියවන්න වඩාත් යොමු වුණා. ඊට අමතර ව ඉස්සර අපි ගුවන්විදුලියට සවන් දුන්නේ ගුවන්විදුලිය දිහා බලා ගෙනනේ. සාලය මැද තරමක් උසට ප්‍රමාණයෙන් ලොකු පෙට්ටියක් වගේ ගුවන්විදුලි යන්ත්‍රයක් අපේ ගෙදරත් තිබුණා. හැන්දෑවට ගුවන්විදුලි ළමා වැටසටහන යද්දි මම දුවගෙන ඇවිත් ගුවන්විදුලිය ඉස්සරහ වාටිවෙලා ඒ දිහා බලාගෙන වැඩසටහන අහගෙන ඉන්නවා. මාගේ නිර්මාණාත්මක ශක්‍යතාව වර්ධනය වීමට එයත් හේතු වුණා.

ගුවන්විදුලියට පාවිච්චි කරන බැටරිය ටික දවසකින් ඉවත් කරනවා. ඒ බැටරිය පාවිච්චි කරලා අපි වෙසක් කාලෙට හදන තොරණෙ බල්බය පත්තු කර ගන්නවා. අපට ලැබෙන වෙසක් පත් එකතු කරලා තියාගෙන ඉඳලා අක්කලාත් එකක් එකතු වෙලා අපි වෙසක් තොරණ හදනවා.අක්කලා එක්ක සෙල්ලම් කරද්දි කන්දෙන් පහළට රෝල් වෙලා සීරීම් තුවාල ඇති වූ අවස්ථාත් ඕනෑ තරම් මගේ ජීවිතයේ තිබෙනවා. ඒ වගේ වෙලාවකදී ළතෝනි දීලා අඬද්දි අම්මා උණු බෙහෙත් තෙල් තැටියක එබූ දෙහි පළුවකින් තුවාල පෙදෙස තවනවා. අපටත් නොදැනී ඒකෙන් ම තුවාලය සනීප වුණා. තැලීමක් වුණත් ඒවාටත් අම්මා ගොඩ වෙදකමක් කරනවා. මම බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන වෛද්‍යවරයෙක් වුණාට අපේ පාරම්පරික වෙදකම, අපේ අම්මා කළ අත් බෙහෙත්වල ගුණ මම හොඳට දන්නවා. මම අදටත් ඒ ගැන අගය කරනවා. පාරම්පරික ඇස් වෙදවරු, සර්ප වෙදවරු අපි දන්නවා. ඔවුන් හරියට ම ප්‍රතිකාර කළා. අපේ රටේ අද මේ වටිනා දේවල් විනාශ වෙලා. බොරු කරන අය නිසා පාරම්පරික වටිනාකම් හෑල්ලු වෙලා තියෙනවා.”

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට ඔහු ඇතුළත් වුණේ පහේ පන්තියෙන් පසුව ය. අපොස සාමාන්‍ය පෙළ දක්වා එහි ඉගෙන ගන්නා ඔහු එවකට මතුගම මන්ත්‍රී ව සිටි දයා ටී. පැස්කුවල්ගේ නිවසේ නවාතැන් ගන්නේ දෙමව්පියන්ගේ දැන හැඳුනුම්කම් හේතුවෙනි. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වූ දයා ටී. සමඟ සමාජ අවබෝධය ලබමින් විවිධ සමාජ කටයුතුවල නිරත වූයේ ය. එවක දේශපාලඥයන් තුළ වූ පොතපත කියවී‍මේ පුරුද්ද, දැනුම අවබෝධය නිසා දයා ටී. පැස්කුවල්ගේ දෛනික චර්යාවන් නිතර ඇස ගැටුණු ශාන්ත හෙට්ටිආරච්චි පාසල් දරුවකු වුව ද පමණට වඩා සමාජ ඥානයෙන් වැඩෙන්නට විය. ඔහු තුළ දේශපාලන ඥානය ද ක්‍රමයෙන් ඇති වූ නමුත් සිය ඉලක්කය වූ සාමාන්‍ය පෙළ විභාග කඩඉම ද හොඳින් ජය ගන්නට පසුබට වූයේ ද නැත. ඒ සියලු දේ අතරේ ඔහු නොයෙක් දේ ලිව්වේ ය.

“අපට ඒ කාලේ ඉගැන්වූ ප්‍රජාචාරය, භූගෝලය, ඉතිහාසය, සිංහල සාහිත්‍ය වගේ විෂයයන් මට තවමත් මතකයි. ව්‍යවහාරික ගණිතයට මම කැමති ම නැහැ. විෂයයන් තෝරා ගැනීමේදී ව්‍යවහාරික ගණිතයට අකැමති අයට සිංහල සාහිත්‍ය තෝරා ගන්න පුළුවන්කම තිබුණා. මම බොහොම කැමැත්තෙන් සිංහල සාහිත්‍ය තෝරා ගත්තා. මගේ ලිවීමට ඒ ඉගෙනීම විශාල උදව්වක් වුණා. අපට සිංහල සාහිත්‍ය ඉගැන්වූ රුද්‍රිගු ගුරුතුමා ජාතික ඇඳුමින් සැරසී පාසලට ආවා. සුනේත්‍රා, වවුළුව, බුත්සරණ, අමාවතුර වගේ පොත් අපට කියවන්න තිබුණා. රුද්‍රිගු ගුරුතුමා අපට දැනෙන්න ඉගැන්නුවා. මා නවාතැන් ගෙන සිටි ගෙදර දයා ටී. පැස්කුවල් මන්ත්‍රීවරයා සමඟ මමත් නොයෙකුත් තැන්වල ගියා. ඔහු ගුරුවරයෙකු ව සිටි කෙනෙක් නිසා මගේ ජීවිතයට යහපත් දේ ඔහුගෙන් නිරතුරු ව ලැබුණා. ඔහුගේ දේශපාලන ගමන් බිමන්වලටත් මං එක් වුණා. මහා රාත්‍රීවල ඔහු මළ ගෙවල්වල යනවා. දුෂ්කර ප්‍රදේශවල, දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල්වලට යනවා. ඔහු ඒ ගමන්වලට මාවත් එක්කගෙන ගියා. සමහර මළ ගෙවල්වලට කඳු දුර්ඝ පාරවල්වල පා ගමනින් යද්දි ඈතින් වෙස්සන්තර කවි ලස්සනට ගායනා කරනවා අපට අනන්තවත් ඇහිලා තියෙනවා.

ගැමි ජීවිතවල ගතිගුණ සිරිත් විරිත් මගේ නිර්මාණවලට එක් වුණා. දයා ටී. පැස්කුවල් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට යද්දි එයාගේ වාහනෙන් මාවත් පාර්ලිමේන්තුවට එක්කගෙන යනවා. මාව ගැලරියේ තියලා ඔහු පාර්ලිමේන්තුවට ගිහින් වැඩ කරගෙන එනතුරු මම ගැලරියට වෙලා හිටියා. ඒ කාලේ දේශපාලඥයන් බොහෝ දෙනෙක් මම එහිදී දුටුවා. ඔවුන්ගේ හැසිරීම් පවා අදට වඩා වෙනසක් තිබුණා. ආචාර්ය ඊ.ඩබ්. අදිකාරම්තුමාවත් ඒ ගමන් අතරතුරදී මට හමු වුණා. එතුමා සමගත් බොහෝ ඇසුරු කරන්න ලැබුණා. එතුමාගේ ජීවිතයේ අවසාන කාලයේදීත් මම එතුමාගේ සුවදුක් බලන්න නිතර ගියා. මම සතා සිවුපාවාට බොහොම ආදරය කරන කෙනෙක්. කුඩා කාලයේදී අධිකාරම්තුමාගේ මේ ඇසුර නිසා සතුන් කෙරෙහි ආදරය, කරුණාව දැක්වීම තවත් වැඩි වුණා.”

අදටත් වෛද්‍ය ශාන්ත හෙට්ටිආර්ච්චිට හිතවත් බල්ලන්, බළලුන්, දියකාවන්, කෑරලුන්, කොකුන්, කොරවක්කන් බොහෝ දෙනෙක් බෙල්ලන්විල ඇවිදින මංතීරුව ආශ්‍රිත පෙදෙසේ ඇවිදගෙන යද්දී දැක ගත හැකි ය. එහි ඇවිදින්නට යන සෑම දිනකම ඒ සතුන් වෙනුවෙන් බිස්කට් බෙදමින් ඇවිදින්නට වෛද්‍ය හෙට්ටිආරච්චි අතපසු නොකරයි. දුර සිට ඔහු දකින කුරුල්ලන් වහ වහා ඔහු සමීපයට පියඹා එන අයුරු වෛද්‍ය හෙට්ටිආරච්චි සැණෙකින් සිය කැමරා කාචයට නගා ගන්නේ මහත් ප්‍රීතියෙනි. ස්වාභාවික පරිසරයේ නිදහසේ ජීවත් වන සතුන් සමඟ විවිධ සන්නිවේදනයේ යෙදී ම මානසික සුවයක් බව වෛද්‍ය හෙට්ටිආරච්චි පවසයි.

“අදටත් මම පාන්දර 4.30 ට නැගිටලා පිරිසිදු වෙලා 5.15 වෙද්දි බෙල්ලන්විල අත්තිඩිය පරිසර පද්ධතියේ ඇවිදින්න යනවා. ඒ යන අතරමගදී මහ මග සැරිසරණ අසරණ සුනඛයින්ට මම කෑම දෙනවා. ඔවුන් ඈතදී ම මාව හඳුනාගෙන වලිගය වනමින් නටමින්, ආචාර කරමින් ළඟට එනවා.

කුරුලු වර්ග බොහෝමයක් මගේ සමීපයට ම එනවා. මේ ආකාරයට සතුන්ට ආදරය, කරුණාව දක්වමින් ඔවුන් සමඟ සන්නිවේදනයේ යෙදීමෙන් අපගේ මොළයේ රසායනික ද්‍රව්‍යයක් නිකුත් වන බව අද වෛද්‍ය විද්‍යාවේ සොයා ගෙන තිබෙනවා.

ඒ ගැන දැනගෙන මම එහෙම කළා නෙවෙයි. එමගින් අපේ මානසික ආතතිය සමනය කරන බවත්, ශාරීරික රෝගාබාධවලින් ආරක්ෂා විය හැකි බවත් මෑතකදී සොයාගෙන තිබෙනවා. මට මේ දේවල්වලින් ලැබෙන වාසිය වන්නේ මගේ නිර්මාණාත්මක සිතුවිලි පුබුදු කිරීම යි.

මම ලියූ සඳැස් කවියක් මුලින් ම පුවත්පතක පළ වෙන්නේ 1973 දී යි. ඒ ජන කවි පුවත්පතේ යි. එදා මෙදාතුර සෑම මාධ්‍යයකට ම මා සම්බන්ධ වී තිබෙනවා. අදටත් පුවත්වත්වලට කවි, ලිපි ආදිය ලියනවා. පද්‍ය නිර්මාණ, කෙටිකතා, විශේෂාංග ලිපි, තීරු ලිපි, ටෙලිනාට්‍ය තිර රචනය, ගීත රචනය ආදිය මම කර තිබෙනවා. මේ වනවිට පද්‍ය සංග්‍රහ හතරක් ඇතුළු ව ග්‍රන්ථ 18ක් ලියා තිබෙනවා.

වෛද්‍ය වෘත්තියේ නියැළෙන අතර ම මේ වගේ නිර්මාණ කාර්යයට සම්බන්ධ වන්න ලැබීම ගැන මම බොහෝ සතුටට පත් වෙනවා. වෛද්‍ය ශිෂ්‍යයෙක් ව සිටි කාලයේදීත් මම බොහෝ නිර්මාණ කළා. වෛද්‍ය පීඨයට ඇතුළු වන ස්ථානයේ ම රඳවා තිබූ බිත්ති පුවත්පත මම අඛණ්ඩ ව කරගෙන ගියා. ඒ සඳහා නිර්මාණ එකතු කිරීම, තේරීම, නිර්මාණ පල් වන්නට නොදී නිතර මාරු කරමින් බිත්ති පුවත්පතේ නව්‍ය බව ආරක්ෂා කිරීම මා අතින් ම සිදු කළා. එහි සංස්කාරක හැටියට සංස්කාරක සටහනත් දෙසතියකට වරක් ලිව්වා.”

අපොස උසස් පෙළ අධ්‍යයන කටයුතු සඳහා කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වන්නේ 1978 දී ය. 1983 දී උපාධිය සම්පූර්ණ කර ඔහු වෛද්‍ය වෘත්තියට පිවිසෙන්නේ 1984 දී ය. එතැන් සිට මාතර මහා රෝහල, කුරුණෑගල ළය චිකිත්සාගාරය (කාර්ය භාර වෛද්‍ය නිලධාරි), මධ්‍යම ලේ බැංකුව, කොළඹ මහා රෝහල, ජාතික ලේ බැංකුව, මහරගම පිළිකා රෝහල (කාර්යභාර වෛද්‍ය නිලධාරි), නැවත කොළඹ මහා රෝහල ව්‍යාධිවේද අංශය, ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහල, ද සොයිසා කාන්තා රෝහල හා කාසල් කාන්තා රෝහල ආදියෙහි වෘත්තීය වෛද්‍යවරයකු ලෙස ඉමහත් කාර්ය භාරයක් ඉටු කළ ඔහු ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ මාධ්‍ය සම්බන්ධිකාරක හා කාර්යබාර වෛද්‍ය නිලධාරී ලෙස ද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කර ඇත.

2011 සිට 2019 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ලෙස ද 2019 සිට මේ දක්වා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ද කාර්යයන් රැසක් ඉටු කරන වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි 2011 සිට මේ දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකි. එම විශ්වවිද්‍යාලයේ ම වෛද්‍ය පීඨයේ කායික විද්‍යා අංශයේ මහාචාර්යවරියක වන ප්‍රියදර්ශිකා හෙට්ටිආරච්චි නැතහොත් මහාචාර්ය ඒ.වී. සුරවීරයන්ගේ ආදරණීය දියණිය වෛද්‍ය හෙට්ටිආරච්චියේ ආදරණීය බිරිය වූවා ය.

මොරටුව විශ්වවිද්‍යාලයේ, පරිගණක තාක්ෂණ පීඨයෙන් උපාධි ලැබ, සම්පත් බැංකුවේ විධායක නිලධාරි තනතුරක් දරන සමිත යසස්වි හෙට්ටිආරච්චි ඔහුගේ පුතා වන අතර එම විශ්වවිද්‍යාලයේ ම ගෘහ නිර්මාණ පීඨයේ උපාධිධාරී, ගෘහ නිර්මාණ ශිල්පී සපුනි තිලංගි හෙට්ටිආරච්චි ඔහුගේ ආදරණීය දියණිය යි.

Comments