මම ගෙවන තත්පරයක් පාසා බලාපොරොත්තු වෙන්නේ සමාජ සත්කාරයක් කරන්න | සිළුමිණ

මම ගෙවන තත්පරයක් පාසා බලාපොරොත්තු වෙන්නේ සමාජ සත්කාරයක් කරන්න

මීරිගම පෙදෙසේ සුන්දර ගම් පියසක ඉපදී මිරිගම කනිෂ්ඨ විදුහලෙන් 6 වැනි ශ්‍රේණිය දක්වාත්, ඉන් අනතුරුව සුජාතා විදුහලෙන් සාමාන්‍ය පෙළ දක්වාත් ඈ අධ්‍යාපනය හැදෑරුවාය. කොළඹ විශාඛා විදුහලෙන් උසස් පෙළ හැදැරූ ඇය පසුව සරසවි වරම් හිමි කර ගත්තාය.

සමාජ සත්කාරයන්හි නියැළෙන ඇය මෙවර සිංහ සමාජ අතර දක්ෂතම කාන්තාවට හිමි සම්මානය හිමි කර ගත්තාය. 306 B_2 බියගම, උතුර, සිංහ සමාජයේ සිංහ කාන්තාවන් අතරින් සමාජ සත්කාරය වෙනුවෙන් කැපී පෙනෙන කාන්තාවක ද වන්නීය. ඈ නමින් ගයා විජේවර්ධනයි. පසුගිය දින ඇයට හිමිවුණු හොඳම සිංහ කාන්තාව ලෙස ලබා ගත් සම්මානය පිළිබඳ රසඳුන සමඟ මෙලෙස කතාබහට එක් වූවාය.

 

ඔබේ අතීතය යළි මතක් කළොත් ?

මම උපන්නේ මීරිගම. ගැහැනු දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා. මට මවත්, පියාත් දුන්නු ශක්තිය නිසයි අද මෙතැන ඉන්නේ. පියා මේ වන විට මිය ගිහින්. ගමේ පාසලත්, පන්සලත් මගේ අධ්‍යාපනයට මූලික අඩිතාලම වුණා. ඒ ශක්තිමත් පදනම වර්තමානයේ ජීවත්වෙන සියලු දෙනාට වටිනවා කියලා මම හිතනවා.

 

ඔබ පෞද්ගලික ආයතනයක රැකියාවකට එකතු වෙන්නෙ කොයි කාලෙද ?

මම විශ්වවිද්‍යාලයෙ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස සේවයට බැඳෙනවා. ඉන් අනතුරුව මම පෞද්ගලික ආයතනයක කෙටි කාලයක් සේවය කරනවා. මේ ආයතන දෙකේම කෙටි කාලයක් සේවය කළේ මගේ ලොකු අරමුණක් තිබුණා අනාගතයේ ව්‍යාපාරයක් කරන්න. පස්සේ එතැනින් අයින් වෙලා අපි ව්‍යාපාරයක් පටන් ගත්තා. දැන් එම ව්‍යාපාරය හොඳින් කරගෙන යනවා.

 

ඒ පටන් ගත්ත ව්‍යාපාරය මොකක්ද ?

Aplus Wroughtiron. කඳාන තමයි මෙම ව්‍යාපාරය මුලින්ම පටන් ගත්තේ. ඉන්පසුව ව්‍යාපාරය කඩවතට ගෙන ගියා. දැනට ප්‍රදර්ශනාගාරය කරගෙන යන්නේ නුගේගොඩ. ලෝහ උපයෝගී කරගෙන ගේට්ටු , ගෘහභාණ්ඩ, අත්වැල්, තමා නිෂ්පාදනය කරන්නේ. මගේ වැඩි කැමැත්තක් තිබ්බෙ ඉංජිනියරින් පැත්තටයි. ඒ නිසා තමයි මෙවැනි ව්‍යාපාරයට අත ගැහුවේ.

 

ඔබේ පවුලේ තොරතුරු කොහොමද ?

මගේ ස්වාමි පුරුෂයා බන්දුල වීරවර්ධන. මට දියණියන් දෙදෙනෙකු ඉන්නවා. දැනට ඔවුන් දෙදෙනාම අයර්ලන්තයේ තමයි පදිංචි වෙලා ඉන්නේ. ලොකු දුව විවාහකයි. මිනිබිරියකුත් ඉන්නවා. ඒ නිසා මම ආච්චි අම්මා කෙනෙක්.

 

ඔබ සිංහ සමාජයට එකතු වෙන්නේ කොහොමද ?

මමයි, මහත්තයයි කඩවත ක්‍රීඩාංගණයේ ඇවිදින්න යනවා. ඒ ගිය වෙලාවක සිංහ පරණමාන්න අපිට ආරාධනාවක් කළා සිංහ සමාජයට එකතු වෙන්න කියලා. ඊට පස්සේ 2007 අපි දෙන්නා සිංහ සමාජයට බැඳුණා. ඉන් අනතුරුව බියගම උතුර සිංහ සමාජයේ ආරම්භක සාමාජිකාවක් ලෙස කටයුතු කරන්නට මට අවස්ථාව හිමි වුණා. මේ දක්වාම සිංහ සමාජයේ කටයුතු කරනවා.

 

සිංහ සමාජයට බැඳෙන්න හිතුවේ මොන පදනමකින්ද ?

සිංහ සමාජයට බැඳෙන්න පෙර, අපිට වාර තුනකදී එහි කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීම් කරනවා. එයට කැමති නම් එකතුවෙන්න පුළුවන්. අකමැති නම් එකතු නොවී ඉන්නත් පුළුවන්. ශ්‍රී ලංකාව වටේ විසිරිලා තියෙන සිංහ සමාජවලින් කරන්නේ ලොකු සත්කාරයක්. ඒ සත්කාරයට උර දෙන්න ලැබුණ එක ගැන මම සතුටු වෙනවා.

 

සමාජ සත්කාරයට මුලපිරුවේ කොහොමද ?

මුලින්ම මම ඇස් පරික්ෂා කිරීමේ කඳවුරක් සංවිධානය කළා. එදා එම කඳවුරේ දී ඇස් පරික්ෂා කරල ඇස් නොපෙනෙන අයට අපි ඇස් කණ්ණාඩි දුන්නා. ඉන්පසු අඩු ආදායම් පවුල් දෙකක් සඳහා ගෙවල් හදලා දුන්නා. කළුතර බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් සඳහා මල් සාදන වැඩමුළුවක් පැවැත්වූවා.

දිළිඳු පවුල්වල දරුවන් වෙනුවෙන් පොත්පත් ලබාදිම හා අනුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද අපි සිදු කළා. ගංවතුර සහනාධාර ලබා දුන්නා.

ආබාධිතයන් සඳහා රෝද පුටු පරිත්‍යාග කිරීම වැනි කර්තව්‍යයන් ගොඩක් මේ සිංහ සමාජයෙන් කළා.

 

මේ ඇගයිම කෙරෙන්නේ කොහොමද ?

වසරකට වරක් සිංහ සමාජයේ සාමාජිකයෙක් හා සාමාජිකාවක් ඇගයීමට ලක් කෙරෙනවා. ඔවුන් කරන සමාජ සත්කාරය දිහා බලලා මේ වසරේදී ඒ ඇගයීම මට ලැබුණා. මම මෙය බලාපොරොත්තු වුණේ නැහැ. මේ කටයුතු කරන්නේ ඇගයීම් සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි. එහෙත් දැන් මේ ඇගයීම මගේ බලාපොරොත්තු හා ධෛර්යය දෙගුණ තෙගුණ කළා. තව තවත් සමාජයට මෙහෙවර කරන්න මාව දිරිමත් කළා. අපි හම්බ කරන මුදලින් දනට, පිනට යමක් දෙනවා කියන්නේ මහා ලොකු පින්කමක්.

 

කොහොමද සිංහ කාන්තා සම්මානය හිමි වුණේ ?

306.B දිස්ත්‍රික්කය තුළ සිදු වූ ව්‍යාපෘති අතර සිංහ ව්‍යාපෘතියක් වන ගෝල්ඩන් ජුබිලි අක්ෂි රෝහලට කඩවත ඕ. සී .ටී. ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම වෙනුවෙන් කළ අරමුදල් රැස් කිරීම ඇතුළු කටයුතුවලට කළ කැප කිරීම හේතුවෙන් තමා මට මේ සම්මානය ලැබුණේ .ඕ. සී .ටී . ස්කෑන් යන්ත්‍රය වෙනුවෙන් මිලියන 4.2.ක් එකතු කළා. දිස්ත්‍රික්කයේ කාන්තා සංගමය හරහා අපි මේ අරමුදල් රැස් කිරීම කළා.

 

මේ වගේ සමාජ සත්කාර කිරීමෙන් ලැබෙන තෘප්තිය කොහොමද ?

ඒ තෘප්තිය වචනවලින් කියලා නිම කරන්න බැහැ. මගේ ජීවිතයේ මම ලබපු ලොකු භාග්‍යයක් කියලා මම දකිනවා. නැති බැරි අයට උදව් කිරීම හා අසරණ රෝගීන් සඳහා රෝහල්වලට මෙවැනි පරිත්‍යාග කිරීම තුළින් ඒ රෝගීන් සුව වෙලා ඔවුන්ගෙන් මටත්, මගේ පිරිසටත් ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ. අපි ගෙනියන යමක් නෑ. කරන්න පුළුවන් කාලේ මේවා කළ යුතුයි. අපි පිරිසක් හැටියට එකතු වුණොත් ඕනම දෙයක් කරන්න පුළුවන්. මගේ පුංචි කාලෙදිම තමයි මං මේවට අත ගැහුවෙ. ඒ ගෙනාපු සාංසාරික පුරුද්ද වෙන්න ඇති සමාජ සත්කාරවලට දායක වෙන්න ලැබෙන්නේ. මට උදව් කළ සියලු දෙනාටම ස්තුතියි.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද ?

මම ගෙවන සෑම තත්පරයක් පාසාම බලාපොරොත්තු වෙන්නේ සමාජ සත්කාරයක්. මගේ ව්‍යාපාරයෙන් පවුල් ගණනාවක් ජීවත් වෙනවා. ඒ පවුල්වල දූ දරුවන් මං දෙන මුදල්වලින් තමයි අධ්‍යාපනය හදාරන්නේ. ඒ දේවල් සියල්ල මගේ අතින් ඉටු වෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.

 

ජායාරූප - සුදත් මලවීර

Comments