මගේ රංගනය වෙනුවෙනුත් සම්මාන, ඇගයීම් ලැබේවි | Page 2 | සිළුමිණ

මගේ රංගනය වෙනුවෙනුත් සම්මාන, ඇගයීම් ලැබේවි

ආලෝකා ධනංජි කියන්නේ කාලෙන් කාලෙට විවිධ වූ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන දක්ෂතා සපිරි රංගන ශිල්පිනියක්. මැයි මාසේ 6වෙනිදා කියන්නේ ආලෝකාගේ ජීවිතේට ආලෝකය එක් වුණු සුන්දර දවසක්. ඒ තමයි ඇයගේ විවාහ ගිවිස ගැනීම සිදු වූ දවස. ජිවිතේ හෙට දවස ගැන වගේම කලාවේ හෙට දවස ගැන කතා කරන්න ආලෝකා රසඳුන සොඳුරු කතාබහකට සම්බන්ධ කර ගත්තා....

 

කොහොමද ජිවිතේ

මේ දවස්වල ෂූටින් කරගෙන යන අතරේ ෂේප් එකේ ඉන්නවා.

 

මේ වෙද්දී දකින්න ලැබෙන නිර්මාණ කටයුතු ගැන කතා කරොත්

ස්වාධින රූපවාහිනීයේ මාණික්කාවත සහ කොළඹ ඉතාලිය විකාශය වෙනවා. ඒ එක්කම ඩයලොග් ටීවී චැනල් අංක 23 යනවා "සංගිලි කනදරාව"

 

ආලෝකා කලාවට එන්නේ කොහොමද?

මම එන්නෙ සිරස ෆිල්ම් ස්ටාර් රියැලිටි වැඩසටහන හරහා. එකේ Best Female Vilan කියන කැටගරි එකට නිර්දේශ වුණා. ඒ හරහා තමයි ක්ෂේත්‍රයට එන්නේ. ලොකු කට්ටක් එක්ක ආව ගමනක්. එකිනෙකට වෙනස් චරිත කරමින් එකිනෙකට වෙනස් අභියෝග බාර ගනිමින් කලාවේ හිමින් හොඳ ගමනක් යමින් ඉන්නවා.

 

ආලෝකා නිළියක් වෙන්නමද සිහින මැව්වේ

පොඩි කාලේ ඉඳලා හීන ගොඩක් තිබ්බා. මුලින්ම මම ආස කරේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න. ඒකත් එක්කම රඟපාන්න ඕනේ කියන උණත් තිබ්බා. ටීවී එකේ මොකක් හරි චරිතයක් දැක්කම ඒක මම කණ්නාඩිය ඉස්සරහට ගිහින් කරලා බලනවා. ඒ චරිතය මටත් පුළුවන්ද කියලා. මම මාවනැල්ල ගමේ හැදෙන කෙනෙක්. ඒ වගේ ගමක ඉන්න අයට අවස්ථා ලැබෙනවා හරි අඩුයි. මම ආවේ ෆිල්ම් ස්ටාර් රියැලිටි වැඩසටහන හරහා. ඒක රියැලිටි වැඩසටහනක් වුණාට ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ඒ නිසා ඒක හොඳ පිටුවහලක් වුණා මේ ක්ෂේත්‍රයට එන්න.

 

පවුලේ විස්තර මොනවාද?

අම්මයි තාත්තයි. අක්කයි මමයි ඉන්නේ. අක්කා මේ වෙද්දී විවාහ වෙලා ඉන්නේ. මගේ අම්මා ඉන්නේ රට. අම්මා තමයි මගේ හොඳම ප්‍රේක්ෂිකාව. මම ඉන්න හැම නිර්මාණයක්ම බලලා එයාට දැනෙන විදියට මට ප්‍රතිචාර දක්වනවා. සාමාන්‍යයෙන් දෙමාපියන් කැමති නැහැනේ මේ ක්ෂේත්‍රයට එනවට. නමුත් මගේ අම්මා තාත්තා දෙන්නම මුල ඉඳන්ම මට සහයෝගය දුන්නා.

 

ලැබෙන ආරාධනා ගැන තෘප්තිමත් ද?

මම මේතාක් කරපු හැම චරිතයක්ම එකිනෙකට වෙනස් වූ චරිත. පෙම්වතියගේ චරිතය වුණත් සාමාන්‍ය පෙම්වතියගේ චරිතය නෙවෙයි මම කළේ. ඒ නිසා මම තෘප්තිමත්.

 

මෙතෙක් කරපු චරිත අතරේ ආලෝකා කැමතිම චරිතය මොකක් ද?

මම කරපු චරිත අතරේ කැමැතිම "ගරුඬ මුහුර්තය" බිලිඳිගේ චරිතයට.

 

මෙතෙක් නොකරපු කරන්න කැමති චරිත මොනවද?

මම කැමතියි බාහිර ස්වරූපයේ වෙනසක් එක්ක චරිතයක් කරන්න. ඒ කියන්නෙ හිගන්නියක්ගෙ, පිස්සියෙක්ගෙ චරිතයක් එහෙම නැත්නම් කරවල වේළලා ජිවිතේ ගැටගහ ගන්න උත්සහ දරන චරිත වගේ ඒවා කරන්න කැමතියි.

 

සිනමාවට කොහොමද ලැබුණු ආරාධනා

සනත් අබේසේකර මහත්මයාගේ ‘ගුත්තිල‘ සහ සනත් ගුණතිලක මහත්මයාගේ "ගැහැනු" කියන චිත්‍රපට දෙකට මම රංගනයෙන් දායක වුණා. ඒ චිත්‍රපට දෙක තිරගත වීමට නියමිතව තියෙනවා.

 

වේදිකාවේ අත්දැකීම් කොහොමද?

පාසල් වේදිකාව කියන්නේ මම නැතුවම බැරි තැනක්. මගේ පාසල මේ වෙලාවේ මතක් කරන්න ඕනේ බැද්දවල ජාතික පාසල. පාසල් වේදිකාවෙන් පස්සෙත් වේදිකා නාට්‍යය නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා වේදිකාව සිනමාව සහ පුංචි තිරයේ අත්දැකීම් තියෙනවා.

 

මැයි 6 ජිවිතේ අලුත් වුණු දවසක් නේද?

ඔව්, මගේ විවාහ ගිවිස ගැනීම තිබ්බේ පසුගිය මැයි 6වනදා. ඔහු නාමල් සඳුසෙන්. එයා නර්තන ශිල්පියෙක්. මේ කලාව නිසාම තමයි මට ඔහුව මුණ ගැහෙන්නේ. ඇත්තටම කිව්වොත් මගේ වැඩවලට කියන්න බැරි තරම් ලොකු සහයෝගයක් ඔහු ලබාදෙනව. ඒ නිසා මගේ ජිවිතේ මම සතුටෙන් ගෙවනවා.

 

විවාහය කොයි වගේ කාලේ ද සැලසුම් කරලා තියෙන්නේ

ලබන වසරේ දී වගේ විවාහ උත්සවය ගන්න ඉන්නවා.

 

විවාහයෙන් පස්සේ රංගනයට සමුදෙයි ද?

කොහෙත්ම නැහැ. මේක මම වෘත්තීය මට්ටමින් කරගෙන යන දෙයක්. එයත් කැමතියි මම රඟපානවට.

 

ආලෝකාට සම්මාන ලැබිලා තියෙනවද?

තවම නම් සම්මාන ලැබිලා නැහැ. සම්මාන බලාගෙන රඟපාන්නේ නැහැ. නමුත් ලැබෙන චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරන්න කැපවෙනවා. ඒ නිසා ඉදිරියේදී මගේ රංගනය වෙනුවෙනුත් සම්මාන, ඇගයීම් ලැබෙයි.

 

ඔබේ ඉලක්කය හොඳම නිළිය සම්මානය?

ඔව්. දක්ෂතම පැත්තෙන් සම්මාන ලබන්න ආසාවක් තියෙනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

රංගනය පැත්තෙන් චරිතාංග නිළියක් විදියට ඉස්සරහට එන්න බලාපොරොත්තු වෙනවා.

Comments