
මුලින්ම සම්බන්ධ වුණේ රජරට සේවයට
ලක්හඬේත්, ස්වාධීන රූපවාහිනියේත් හඬ කැවීම් කරනවා
2020 'සින්දු නදී' හින්දි ගීත වැඩසටහන වෙනුවෙන් ප්‍රශස්තම ගුවන්විදුලි නිවේදිකාවට හිමි සම්මානය ලැබුණා
සහජ හැකියාවට පුහුණුවත් එක් වූ විට රස සාගරයක් මවන්න පුළුවන්. මාතලේ පුරවරයේ ඉපිද ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් සිප් සතර හදාරා 'ලක්හඬ' නාළිකාවෙන් ලංකාවට ම සිය හඬ ගෙන යන අපූර්වත ම මාධ්‍යවේදිනියක් අද රසඳුන සමඟ කතාබහකට එක් වෙනවා. ඇය ලක්හඬ ගුවන් විදුලියේ සහකාර නිෂ්පාදිකාවක් සහ නිවේදිකාවක් වන මොනිකා සේරසිංහයි.
මොනිකා ජීවිතේ දකින්නෙ කොහොමද ?
ජීවිතේ කියන්නෙ පොතක්. හොඳ පිටු, නරක පිටු වගේ ම තේරුම් ගන්න බැරි පිටුත් ඒ පොතේ තියෙනවා. හැබැයි ඒ එකක්වත් මඟ ඇරලා යන්න බෑ. ඔක්කොම පිටු ටික කියවගෙන ගියොත් තමයි පොත මොන වගේ ද කියලා අපිට අදහසක් ගන්න පුළුවන්.
පුංචි කාලෙ ඉඳන් ම නිවේදනයට කැමති ද ?
මට පොඩි කාලේ සින්දු කියන්න නම් පුළුවන්. හැබැයි නිවේදනයට නම් එහෙම ආසාවක් හෝ හැකියාවක් තිබ්බේ නැහැ. ඒ කාලෙ ගුවන් විදුලිය නිතරම අහනවා. නිවුස් කියන්න හරිම ආසයි. ඉරිදා සිළුමිණ පත්තරේ ගෙදරට ගෙනාවම පත්තරේ තියෙන ප්‍රවෘත්ති මං නිවුස් විදියට කියෙව්වා. හැබැයි ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි වැඩ කරන්න ඕනි කියලා බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ.
එතකොට කොහොමද නිවේදිකාවක් වුණේ?
උසස් පෙළින් පස්සේ මම ලෝ එන්ට්‍රන්ස් කරන්න පටන් ගත්තා. දවසක් පාඩම් කරමින් ඉන්න කොට රජරට සේවයේ නිවේදනයක් ඇහුණා සහන නිවේදක නිවේදිකාවන් බඳවා ගන්නවා ඒකට අයදුම්පත්‍ර එවන්න කියලා. ඒ වෙලාවේ අප්පච්චිත් මගේ ළඟ හිටියා. අප්පච්චි කිව්ව ඔයත් ඇප්ලිකේෂන් එකක් දාලා බලන්න; පුහුණු වෙන්න හරි පුළුවන්නෙ කියලා. අම්මගෙ නම් වැඩි කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ වෙනකොට ස්කෝලෙදි ප්‍රවෘත්ති කීම ඇරෙන්න වෙන කිසිම නිවේදන කටයුත්තක් කරලා තිබුණේ නෑ. සම්මුඛ පරීක්ෂණයට මාව තෝරගෙන තිබුණා. එදා ගොඩක් අය ඇවිල්ල හිටියත් ඔඩිෂන් එකට මාව තේරුණා. කටහඬ පරීක්ෂණයෙන් තෝරාගත් පිරිසට පුහුණුවක් ලබා දුන්නා. ඒ පුහුණුවෙන් පස්සේ බඳවගත්ත පහළොස් දෙනා අතරින් පළමුවැනියා මම. රජරට සේවයේ කාන්තා වැඩසටහනක්, ළමා සහ ගීත ඉල්ලීම් වැඩසටහන් ඉදිරිපත් කළා.
ලක්හඬට සම්බන්ධ උණේ කොහොමද.?
2009 සැප්තැම්බර්වල ඉඳන් තමයි මම ලක්හඬේ වැඩ කරන්නෙ. ලක්හඬ මැද මාවතේ යන චැනල් එකක් කියලා තේරුණ නිසයි සම්බන්ධ වුණේ. මම සතියේ දවස් හතම අවුරුදු කිහිපයක් එක දිගට ලක්හඩේ වැඩ කළා.එතකොට වැඩසටහන් කරන ගමන් නිවුස් කිව්වා. ඒ කාර්යබහුලත්වය හින්දම මට අධ්‍යාපන කටයුතු මඟ හැරුණා. හැබැයි මගේ කැපකිරීමට දැන් වටිනාකමක් ලැබිලා තියෙනවා.
'ප්‍රේම තටාකය' ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත්.?
ඇත්තටම ඔව්. ප්‍රේම තටාකය මම කරන්න අරන් අවුරුදු දෙකක් විතර වෙනවා. ප්‍රේම තටාකය කියන්නේ ලක්හඬේ අනන්‍යතාව කැටිවුණු 2013 විතර පටන් ගත්ත වැඩසටහනක්. එහෙම වැඩසටහනක් මට ලැබෙනකොට පොඩි බයක් තිබුණා; සිංහල ගීත දැනුම අඩු නිසා කරගන්න පුළුවන් වෙයිද කියලා. මොකද මං ගොඩක් හින්දි ගීත තමයි ඇසුරු කළේ. හැබැයි සම්පත් දායකත්වය ලබාදෙන හංසමාලා රිටිගහපොළ , ධම්මික බණ්ඩාර ඇතුළු රටේ විවිධ ක්ෂේත්‍රවල ඉන්න හැම කෙනෙක්ම මට ලොකු සහයෝගයක් දෙනවා. දැන් පුස්තකාලයක් පරිහරණය කරනවා වගේ මට දැනෙන්නේ. ඇත්තටම එය ජීවගුණය තියෙන වැඩසටහනක්.
ඔබ ලැබූ ඇගයීම් පිළිබඳව මතක් කළොත්.?
ගුවන්විදුලි රාජ්‍ය සම්මාන 2019 දී ප්‍රශස්තම ගුවන් විදුලි නිවේදිකාව විදිහට නිර්දේශ වුණා. 2020 'සින්දු නදී' හින්දි ගීත වැඩසටහන වෙනුවෙන් ප්‍රශස්තම ගුවන්විදුලි නිවේදිකාවට හිමි සම්මානය ලැබුණා. 2021දි වසරේ ප්‍රශස්තම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනිය සම්මානයට නිර්දේශ වුණා.
කොහොමද නාට්‍යවලට යොමු වුණේ ?
රජරට ගුවන්විදුලියේ ඉන්න කාලේ ඉඳන් මම නාට්‍ය අංශයේ වැඩ කළා. මේ වනවිට ලක්හඬේත්, ස්වාධීන රූපවාහිනියේත් හඬ කැවීම් කරනවා. කලාසූරී අජිත් ධර්මසූරියගේ 'සංඛාංජලී'නාට්‍යයේ චරිත තුනකට හඬ ලබාදීම විශේෂ අත්දැකීමක්.
ඔබේ සුවිශේෂී වැඩසටහන් මොනවද.?
ලක්හඩ ඉර සේවය, සන්ධ්‍යාවේ සිහිනය සහ මා පැතූ සේ ආදරේ ගුවන්විදුලි නාට්‍යය වැඩසටහන්. උදේ පහේ ඉඳල රෑ දහය වෙනකම් සියලුම වැඩසටහන් වගේ කරලා තියනවා. ම්ඩියාවලට ආවට පස්සෙ මගේ ලොකු හීනයක් තිබුණා රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න. ඒත් මගේ ශරීරය මහත නිසා ඒ අවස්ථාව නම් මට ලැබුණේ නෑ.
ඔබ ලේඛන කටයුතුවලත් නියැළෙනවා?
මං පුංචි කාලේ ඉඳන්ම ලියන්න කැමතියි. හතර වසර ඉගෙනගන්න කාලෙ ඉඳන් මට දිනපොත් තිබුණා. මට විශේෂිත ළඟම යාළුවෝ හිටියෙත් නෑ. ඉතින් මං මට දැනෙන දේවල් ලියන්න තමයි පුරුදු වෙලා හිටියෙ. ලියන්න අවස්ථාව ලැබුණ තැන්වල දී මම ලියනවා.
කොයිතරම් මාධ්‍යය පාඨමාලා තිබ්බත් ඒව හදාරන හැමෝම මාධ්‍යවේදීන් නොවෙන්නෙ ඇයි?
මාධ්‍යය පාඨමාලාවලට සම්බන්ධ වුණත් පළවෙනි දේ තමයි තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙන්න ඕන. තමන්ගෙ ඇතුළෙ තියෙන අදහස්, වචන ගළපගෙන නියමිත කාලයක් තුළ වෙන කෙනෙක්ට පැහැදිලි වෙන විදිහට කියන්න පුළුවන් වෙන්න ඕන. ඒක දක්ෂතාවක්. මාධ්‍ය පාඨාමාලාවල තියෙන විෂය නිර්දේශයට වැඩිය පුළුල් දෙයක් තමයි මාධ්‍ය කියල කියන්නෙ. සමාජය ගැන හොඳ කියවීමක් තියෙන්න ඕනේ.