සෞන්දර්ය විෂයයන් කරනවාට දෙමව්පියෝ ඒ කාලෙ කැමති වුණේ නැහැ | සිළුමිණ

සෞන්දර්ය විෂයයන් කරනවාට දෙමව්පියෝ ඒ කාලෙ කැමති වුණේ නැහැ

අපට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. දුව රවින්ද්‍රා රෝෂීණී ජයරත්නටත් හරි ලස්සනට ගීත ගැයීමේ හැකියාව තියෙනවා. ඉසුරු සම්පත් ජයරත්න අපේ පුතා යි. එයා ව නම් බොහෝ අය දැනටමත් දන්නවා.

මං ලියූ ගීත ටී.එම්. ගයනවා ඇහෙද්දි ගුරුවරියක වෙන්න බැරිවුණු දුක තුනී වෙනවා...ප්‍රවීණ ගේය පද රචිකා මාලිනී ජයරත්න කියයි...

 

පුංචි කාලේ අම්මාගේ සාරි පටලවා ගනිමින් ගුරුවරියක වීමට සිහින මැවූ ඇය ගුරුවරයකු සමඟ අතිනත ගැනීමෙන් ඒ සිහිනය බොඳ වූ බව අප සමඟ පැවසූවේ තරමක සංවේගයකිනි. එහෙත් රටක් ලොවක් දිනූ සැමියකුගේ ආදරණීය බිරිය වෙමින් සිය යුතුකම් තම දෑතින් ම ඉටු කරන්නට ලැබීම බිරිඳක් ලෙස ඇය ලැබූ වාසනාවක් යැයි ද ඇය කීවා ය. රටක් ලොවක් දිනූ මේ ආදරණීය සැමියා නම් ඔබේත්, මගේත් ආදරය දිනූ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පී ටී. එම්. ජයරත්න යි.

 

තෙන්නකෝන් මුදියන්සේලාගේ ජයරත්න 1944 බක් මහේ කොවුල් නාදය දසත පැතිරෙන 13 වැනිදාවක මෙලොව උපත ලද්දේ මහනුවර දොඩංවල ග්‍රාමයේ දී ය. අනුරාධපුරයේ ඇත්තියක වූ සුබසිංහ ආරච්චිලාගේ මේරි නෝනා ඔහුට මවු වෙද්දී පියා වූයේ තෙන්නකෝන් මුදියන්සේලාගේ බණ්ඩා යි. එතුමා මහනුවර ඇත්තෙකි. මල්ලිලා සිවු දෙනක් ද නංගිලා තිදෙනෙක් ද ඇති මේ පවුලේ ලොකු අය්යා ටී. එම්. ජයරත්න යි. පියා රාජ්‍ය සේවකයෙකි. ගම් පළාත මහනුවර දොඩංවල වුවත් ඔහු රාජකාරිය සඳහා නුවරඑළියට ගොස් සති අන්තයේ ගෙදර ආවේ ය. කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ වසර තුනක් පමණ ඉගෙන ගනිමින් සිටියදී පියාට අනුරාධපුරයට ස්ථාන මාරුවක් ලැබුණි. ලොකු පුතාගේ පාසල් ගමනට බාධාවක් වන නිසා එම ස්ථාන මාරුව මහත් වෑයමක් දරා කුරුණෑගලට හදා ගත්තේ ය. ටී.එම්. ජයරත්න කුරුණෑගල මලියදේව විද්‍යාලය ඇතුළත් කෙරෙන්නේ එම ස්ථාන මාරුවෙන් පසුව ය. ගමේ මුල් මිතුරන්ගෙන් ඉවත් වන්නට සිදු වීම ගැන ජයරත්නට පුංචි දුකක් ද තිබුණි. එහෙත් පියාගේ ස්ථාන මාරුව ඔහු අවබෝධ කර ගත්තේ ය.

“කුරුණෑගලට ආවාට පස්සේ විවාහ වනතුරු ම හිටියේ කුරුණෑගල යි. දොඩංවල යි, කුරුණෑගල යි අතර වෙනස්කම් බොහෝමයක් තිබුණා. ලොකු ම වෙනස තිබුණේ පාසල් දෙකේ යි. ශාන්ත අන්තෝනි විද්‍යාලය කතෝලික පාසලක් වගේ ම මලියදේව විද්‍යාලය බෞද්ධ පාසලක් නිසා ලොකු වෙනස්කම් දැනුණා. සංගීත විෂය නිසා මම පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් බවට පත් වුණා. පාසල් තරග, අන්තර් පාඨශාලා තරග, යුනෙස්කෝ තරග මෙකී නොකී තරග බොහෝමයකින් මමත් බැබළුණා පාසලත් බැබලුණා. එහෙම බැබළුණාට ඒ කාලේ සෞන්දර්ය විෂයයන් කරනවාට දෙමව්පියෝ කැමති නැහැ. සෞන්දර්ය ඉගෙන ගන්න ගිහින් විනය බිඳගත් අතළොස්සක් නිසා ඒ විෂය ඉගෙනීමට බොහෝ තහංචි ඒ කාලේ වැඩිහිටියන්ගෙන් තිබුණා. මම රජයේ සංගීත විද්‍යාලයට (හේවුඩ්) කවදාවත් ඉගෙන ගන්න ගිහිල්ලා නැහැ. නමුත් එහි පැවැත්වූ ගායනය, වාදනය අංශවලින් ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාග තුනට ම මම පෙනී ඉඳලා ඒවා හොඳින් සමත් වුණා.

මට සංගීතය ඉගැන්වූ කේ. එම්. දයාපාල ගුරුතුමා මේ විභාගවලට මාව යොමු කළා. මාත් එක්ක එච්. බී. රත්නායක, එස්.එම්.එස්. බණ්ඩාර, ඩී.බී. සේනානායක වගේ යාළුවෝ හිටියා. අපේ සංගීත සර් පදිංචි වෙලා හිටියේ කඩුගන්නාවේ යි. සංගීත විභාග කිට්ටු වෙද්දී එතුමා අපි ව කඩුගන්නාවේ ගෙදරට ගෙන්වගෙන අපට සංගීතය ඉගැන්නුවා. සල්ලිවලට එහෙම නෙවෙයි. එතුමා ගුරු දෙවිවරයෙක් නිසා යි. එතුමා එතැනින් නතර වුණේ නැහැ. ගුරු පත්වීම් ගැසට් කරලා තියෙනවා දැකලා අපට කිව්වා අයදුම් කරන්න කියලා. අපි අයදුම් කළා. කැඳවීම් ලිපියක් ගෙදරට ම ලැබුණා. මහා පාන්දර 4.30 බස් එකේ නැගලා කුරුණෑගලින් කොළඹ ආවා. 6.30 වෙද්දි කොළඹින් බැහැලා කොල්ලුපිටියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එක එක අයගෙන් අහගෙන ගියා. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ඩබ. ඩී. මකුලොලුව මහත්මයා, ජේ. ඊ. සේදරමින් මහත්මයා, එවකට අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හිටියා. ගායනය වගේ ම වයලීනයෙන් වාදනයත් කළා. මගේ ඉදිරිපත් කිරීම අවසන් කරලා එන්න හැරුණා විතරයි මහා අපූරු වයලීන වාදනයක් මට ඇහුණා. ආපහු ගිහින් කවුලුවකින් බලාගෙන හිටියා. පස්සේ කාලෙක දැනගත්තා ඒ ඇවිත් හිටියේ ටී. ෂෙල්ටන් පෙරේරා බව. ගෙදර ඇවිත් ටික දවසකින් නැවත කැඳවීම් ලිපියක් ලැබුණා. ආයෙමත් මහා පාන්දර 4.30 බස් එකේ නැගලා කුරුණෑගලින් කොළඹ ආවා. පත්වීම් ලිපිය ලැබුණා. පහුවදා උදේ 7.00 ට රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයට ගිහින් වැඩ භාර ගන්න කියා එම ලිපියේ ලියා තිබුණා. සූට්කේස් එකක් අරගෙන ඇඳුම් දෙකතුනක් දාගෙන පහුවදා පාන්දර 4.30 බස් එකේ නැගලා කොළඹ ආවා. ඉන්නේ කොහේද, යන්නේ කොතැනටද කිසි දෙයක් දන්නේ නෑ. උදේ 6.30 විතර වෙද්දි කොළඹින් බැහැලා රාජගිරියට යන හැටි අහගෙන බොරැල්ල බස් එකක නැගලා රාජගිරියෙන් බැහැලා පාර හොයාගෙන අන්තිමට ගිහිල්ලා තියෙන්නෙ පැරකුම්භා විද්‍යාලයටයි. එතැනින් අහගෙන ආයෙමත් හේවාවිතාරණ විද්‍යාලයට යද්දි ඒ පාසලේ හිටපු වීරසිංහ විදුහල්පතිතුමා මාව පිළිගන්න ලොකු රැස්වීමක් සූදානම් කරලා තිබුණා. රැස්වීම ඉවර වෙලා මම බත්තරමුල්ල කොහෙද කියලා කෙනෙකුගෙන් අහගෙන සත දහයක් දීලා බත්තරමුල්ලට ගිහින් උඩහමුල්ල පැත්තට ගියා. ඒ පාරේ ගෙදරක හේවුඩ් එකට යන මගේ යාළුවෝ දෙන්නෙක් නතර වෙලා ඉන්න බව මගේ මතකයේ යන්තම් තිබුණා. මම ඒ බෝඩිමට ගියා. සිරිල් සුමනදාසයි, ප්‍රේමතිලකයි, ගාමිණි කරවිටයි, විජේ‍කෝන් අය්යයි එක්ක එදා ඉඳලා මමත් ඒ බෝඩිමේ නතර වුණා. ඒ විස්තර දාලා ගෙදරට ලියුමක් ලියලා දැම්මා. ඊට පස්සේ කාලසටහන හදලා සංගීත විෂය උගන්වන්න පටන් ගත්තා. ඒ වෙනකන් පාසලේ සංගීත විෂය ඉගැන්වීම් කරලා තිබුණේ නැහැ. මගේ මුල්ම වැටුප් වුණේ රුපියල් 112 යි.

එච්චර අඩු වුණේ ඇයි කියලා හොයලා බැලුවා ම තවම පඩිය හැදිලා නැහැ කියලා දැනගන්න ලැබුණා. පඩිය හැදිලා ආවා ම රුපියල් 370 ක වැටුපක් ලැබුණා.”

විජමූ ලොකුබණ්ඩාර අධ්‍යාපන ඇමති වූ අවස්ථාවේ ටී. එම්. ට අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ තනතුරක් ලැබුණි. ඉගැන්වීම මහත් ප්‍රීතියක් කොටගත් ටී. එම්. ට මෙම තනතුර මහත් හිසරදයක් විය. ඔහු යළිත් ගුරු පත්වීම හදාගෙන හේවාවිතාරණ විද්‍යාලයට පැමිණියේ ය. ඔහුගෙන් පුරප්පාඩු වූ සංගීත ගුරු තනතුරට ඒ වනවිටත් වෙනත් ගුරුවරියක පැමිණ තිබුණි. ටී.එම්.ගේ කළකිරීම තවත් උත්සන්න විය. ඔහු ආපසු ගොස් හේවාවිතාරණ විද්‍යාලය අසල පාසලකට යළි පත්වීම හදාගෙන ආවේ ය. රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමැති වූයෙන් යළිත් ඔහුව අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවිණි. ඒ බාධකය ද ටික කලෙකින් යථාවත් කොට ඔහු හේවාවිතාරණයට ම ආවේ ය. විශ්‍රාම යනතුරු එහි සංගීත ගුරුවරයා වූයේ ය. ඉන්දියාවට පය නොතබා ඉන්දියානු විභාග සියල්ල ම ඔහු ලංකාවේ සිට සමත් වූයේ ය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජන හා පර්යේෂණ අංශයේ ප්‍රධානියා වූ සී.ජේ. එස්. කුලතිලක ඔහු ව ගුවන්විදුලියට සම්බන්ධ කර ගත්තේ ය. ඒ ‘ගාන තෙල් සඳුන්’ වැඩසටහනට ය. ‘ළා හිරු දහසක් ගීතය ගයමින් පසුපෙළ ගායන ශිල්පියෙක් ලෙස එක් වූ ටී.එම්. සිය ප්‍රථම ගී එකතුව එළි දැක්වූයේ 1978 දී ය. එම වසරේදී මෙන් ම 1979, 1980 හා 1987 වසරවල ජනාධිපති සම්මාන ලද ඔහු 2006 දී හොඳ ම ගායකයා ලෙස රයිගම් ටෙලි සම්මාන දිනා ගත්තේ ය. 1980 දී හංස විලක් චිත්‍රපටයට “හෙමින් සැරේ පියාවිලා......” ගීතය ගැයීමෙන් ටී.එම්. අතිශය ජනප්‍රියත්වයට පත් විය. පාසල් ශිෂ්‍යාවකට පෙම් බැඳි ඔහු විවාහ දිවියට එළඹෙන්නේ 1972 මාර්තු 27 වැනි දා ය. ඇය මාලිනී ජයරත්න යි.

මගේ තාත්තාත් රාජ්‍ය සේවයේ රාජකාරි කළා. අපේ ගම වුණේ ඇතුළුකෝට්ටේ යි. ඒ කාලේ ඇතුළුකෝට්ටේ හරිම ග්‍රාමීය පරිසරයක් තිබුණා. විශාල පොල්වත්තක් අස් කරලා කොටස් කරලා විකුණූ ඉඩම් කෑල්ලක් අරගෙන තාත්තා ගේ හැදුවා. හැන්දෑවට පැරකුම්බා පිරිවෙනේ ගන්ඨාර නාදය අපේ ගෙදරට ඇහුණා. පිටකෝට්ටේ රජමහා පෙරහැර කාලෙට පඬුරු දාන්න අපි හැන්දෑවට යනවා. මම පවුලේ තුන්වෙනියා පවුලෙ ගෑනු ළමයි හතර දෙනෙකුයි පිරිමි ළමයි පස් දෙනෙකුයි ඉන්නවා.

අපි ඉස්කෝලේ ගිහින් අහළ පහළ ළමයි එක්ක පයින් තමයි ගෙදර ආවේ. ඒ නිසා බස් ගාස්තුවක් ගියෙත් නැහැ. ගෙදර ලොකු රේඩියෝ එකක් තිබුණා. ඒවාට ඉස්සර ලයිසන් ගන්න ඕනැ. ඒකට මුදලක් අය කළා. කෙනෙක් ගෙදරට ම ඇවිත් ඒ මුදල එකතු කරගෙන ගියා. මාලිනී ජයරත්න ඒ අතීතය සිහි කළා ය.

ඇය මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත් වන්නේ රාජගිරිය රෝමානු කතෝලික පාසලට ය. වසර දෙකක් ගත වෙද්දී එම පාසලේ සිටි බෞද්ධ ළමයි ඉවත් කිරීමට ගත් තීරණයක් නිසා පාසල මුළුමනින් ම වැසුණි. දෙවනුව ඇයට පාසලක් අවශ්‍ය විය.

“දවසක් තාත්තා මාව එක්කගෙන ගිහින් රත්තරන් පාට ‍බොත්තම් අල්ලපු, සුදු කෝට් එකක් ඇඳගත්ත, බැලූ බැල්මට බොහොම කාරුණික, බොහොම නිවුණු පෙනුමක් ඇති වෙද මහත්තයෙක් ළඟට එක්කගෙන ගියා. පස්සේ කාලෙක තමයි මම දැන ගත්තේ ඒ වෙදමහත්තයා වෙන කවුරුවත් නෙවෙයි ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්තයා කියලා. අපේ තාත්තා එතුමා සමග කතා කරන මාව ආනන්ද ශාස්ත්‍රාලයට දැම්මා. ඒකේ හිටියේ පිරිමි ළමයි විතරයි. පිරිමි ළමයි ඉන්න බංකුවේ ම කෙලවරක මමත් ඉතින් වාඩි වෙලා ඉන්නවා.

ඒ අතරේ අධිකාරම් මහත්ත‍යා ඒ කියන්නේ ඒ ඉස්කෝලේ ලොකු මහත්තයා බොහො ම හෙමින් පාසලේ තැනින් තැන ඇවිදිනවා මම දකිනවා. මම ගෙදර ගිහින් කිව්වේ ‘ලොකු මහත්තයා නම් හරිම හොඳයි ඒත් ළමයි මට හිතට ඇල්ලුවෙ නෑ’ කියා යි. ඒ නිසා ඉස්කෝලේ යන්න මගේ හිතේ කිසිම ආසාවක් තිබුණේ නැහැ. පස්සේ මාව රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය ඇතුළත් කළා. මම සාමාන්‍ය පෙළ විභාගය ඉතාමත් ඉහළින් සමත් වුණා. උසස් පෙළ කලා විෂයන් විතරයි ඒ පාසලේ තිබුණේ.”

කුඩා කල පටන් කවි, රචනා ආදියෙහි ප්‍රතිභාව පෙන්වූ මාලිනී පොතපත කියවීමට ද රුචිකත්වයක් දැක්වූ තැනැත්තියකි.

“තාත්තා අපට මිහිර සහ ටිකිරි පත්තර ගෙනත් දුන්නා. ඒවායේ තුබුණු කතා, රචනා තාත්තාට ඇහෙන්න අපි කියවන්න ඕනෑ. වෙසක් කාලෙට අපටත් වෙසක් සුබපැතුම්පත් ලැබෙනවා. තාත්තා අපි හැමෝම වට කරගෙන ලස්සනට ඒ කවි තාලයට ගායනා කළා. තාත්තා ඒවා ගයද්දි මම ඒවා හරි ම ආසාවෙන් අහගෙන හිටියා. ඒවා අහලා මමත් ටික ටික කවි ලියන්න පටන් ගත්තා. තාත්තා මට දවසක් ලොකු පොතක් ගෙනත් දීලා කිව්වා තැන් තැන්වල ලියපු කවි ඔක්කොම එක පොතක ලියාගන්න කියලා. “ආසයි මටත්” කියලා මම ඒ කවි එක පොතකට ගත්තා. කිවිඳියක් වෙන්න මට මූලික අඩිතාලම වැටෙන්නේ එහෙම යි. පසු කාලෙක ගීත රචනා කරන්න ඒ කවිවලින් ලද ආභාසය මට බලපෑවා. අනික අපේ ගෙදර පුංචි කාලේ තිබුණු පරිසරයත් මගේ ලිවීමට බලපෑවා. ඉස්සර ඉරිදායි, බදාදායි රෑ අටට ගුවන්විදුලියේ ධර්ම දේශනාව යද්දි පැදුරු ගෙනල්ලා බිම දාලා තාත්තා ඒ මත වාඩිවෙලා අපි හැමෝට ම බණ අහන්න කතා කරනවා.

ඉතින් අපිත් යන්න ඕනෑ. පුංචි ළමයි හැටියට එදා අපට ඒ වෙලාවේ බිම වාඩිවෙලා ඉන්න සිදුවීම මහා කරදරයක් ලෙස දැනුණා. නමුත් හැමදාම එහෙම වාඩිවෙලා ඉන්නකොට බණ පදයක් දෙකක් ඇහෙන්න පටන් ගත්තා. තව ටික කාලයක් එහෙම ගත වෙද්දී අපිත් බණ අහන්න පුරුදු වුණා. මං ලියන්න පටන් ගත්තා ම ඒ ඇහුණු දෙවලිනුත් ප්‍රයෝජනයක් ලැබුණා. ඒ වගේ ම ගුවන්විදු‍ලියේ සරස්වතී මණ්පයත් අපි අනිවාර්යයෙන් ම අහන්න ඕනෑ.

ඒ වැඩසටහන් එක්ක අ‍පි ශ්‍රවණයෙන් බැඳුණා. ඉස්කෝලේ රචනාවලට ඒ කාලේ සීයෙන් සීය ලැබුණා. මම ගීත රචනා කරද්දි සමාජයට යහපත් පණිවුඩයක් ලබා දීමට හැකි, දරුවන්ටත් අහන්න පුළුවන් ගීත ම ලියන්නේ ඒ කාලේ පටන් යහපත් දේවල් ශ්‍රවණය කළ නිසා වෙන්න ඇති. අතීත පුරුද්දට අදත් මම ගුවන්විදුලියේ බණ අහනවා.”

පාසලේදී රචනාවට සීයෙන් සීය ගත්තත් උසස් පෙළින් පසුව විශ්වවිද්‍යාලයට හෝ රැකියාවකට යැවීමේ කිසිදු බලාපොරොත්තුවක් ඇයගේ පියාට නොවුණි. පාසලේ සංගීත ගුරුවරයාගෙන් ප්‍රේමාරාධනාවක් ඇයට ලැබෙන්නේ උසස් පෙළට එන්නත් පෙරදී ය.

“මේ සංගීත ගුරුවරයා ගෙදරට ම ඇවිල්ලා මාව විවාහ කරගන්න ඕනෑ කියලා අපේ තාත්තගෙන් ඇහුවා. අක්කාගේ විවාහ කටයුතු අවසන් වූ පසු ඒ සඳහා ඉඩ දෙන බව තාත්තා කිව්වා.

ඒ නිර්භීත සංගීත ගුරුවරයා තමයි මේ ටී.එම්. ඉතින් අපි දෙන්නා දෙමව්පිය ආශිර්වාදයෙන් විවාහ වුණා. ගුරුවරියක් වෙන්න හීන මැවූ මම ගෘහනියක් වුණා. අපට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. දුව රවින්ද්‍රා රෝෂීණී ජයරත්නටත් හරි ලස්සනට ගීත ගැයීමේ හැකියාව තියෙනවා. නමුත් ටී.එම්. එයාව ඒ පැත්තට යොමු කළේ නැහැ.

එයාට දැන් අවුරුදු 17ක පුතෙක් ඉන්නවා. ඉසුරු සම්පත් ජයරත්න අපේ පුතා යි. එයා ව නම් බොහෝ අය දැනටමත් දන්නවා. පුතා ඉන්දියාවට ගිහින් ඉන්දිරා කලා සංගීත් විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ උපාධිය ලබාගෙන ඒ වසරේ වැඩි ම ලකුණු ලැබූ ශිෂ්‍යයාට හිමි රන් පදක්කමත් දිනාගෙන ලංකාවට ඇවිත් මේ වනවිට ජාතික ආරක්ෂක විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස කටයුතු කරනවා. එයාටත් අවුරුදු 14 ක පුතෙක් ඉන්නවා.

මම නම් මේ දවස්වල තරමක අසනීප තත්ත්වයෙන් සිටිනවා. නමුත් බිරිඳක් විදිහට ටී. එම්. වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක් ම අවසන් මොහොත දක්වා ම ඉටු කිරීම මගේ සතුටයි. මං ලියූ ගීත ටී.එම්. ගයනවා ඇහෙද්දි ගුරුවරියක වෙන්න බැරිවුණු දුක මගේ හිතෙන් තුනී වෙලා යනවා.” මාලිනී ජයරත්න කීවා ය.

Comments