
"ඉර හැරෙන වෙලාවට තාම කවි ගොතනවද..
මහ රෑට නිදි නැතිව මතක පොත ලියනවද..
මං දුන්න වතුසුද්ද ගහේ මල් පිපෙනවද..
අපරාදේ අපි ආපු දුර කියලා හිතෙනවද.."
මේ අපූර්වතම පද සංකල්පනාව සහිත ගීතය නිරෝෂා විරාජිණිය සමඟ ගායනා කරන ඔහු ජගත් ධම්මික යසවර්ධනයි. දශක තුනකට ආසන්න කාලයක් සංගීතය සමඟ අපූර්වතම ගනුදෙනුවක යෙදෙන ඔහු වෙනුවෙනුයි මේ ඉඩ.
අවිස්සාවෙල්ලෙන් නුවරඑළියට ඒමත් සමඟ ජීවිතේ වෙනස් වුණේ කොහොමද?
අවිස්සාවේල්ල මැදගොඩ ගමේ තමයි මම ඉපදුණේ. පාසල් ගියේ හැදගොඩ කණිෂ්ඨ විද්‍යාලයට සහ තල්දුව බෞද්ධ විද්‍යාලයට. රාජකාරී වැඩ සඳහා තමයි නුවරඑළිය ප්‍රදේශයට ආවෙ. මම රැකියාව කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ. 1993 වසරේ සිට සංගීත කටයුතුවල නියැළුණා. මුල් කාලෙ සංගීත කණ්ඩායම්වල ගිටාර් වාදන ශිල්පියෙක් ලෙස වැඩ කළා. සංගීත කටයුතු අතෑරල නුවරඑළියට ආවට පස්සෙ දඹානේ ගුණවර්ධන ලියපු පද රචනාවක් දවසක් ඔහු මට ලබා දුන්නා."රෝස පඳුර විසි කෙරුවට උරණ නොවන්න.."යන මගේ මුල් ම ගීතය ගායනා කළේ ඒ අනුවයි. ඒ ගීය සංගීතවත් කළේ විපුල කුමාර.
ගායනට පුංචි කාලෙ සිට පුහුණු වුණා ද?
ඇත්තටම ගායනය කියන්නෙ මට සහජයෙන් ලැබුණ හැකියාවක් කියලයි මං විශ්වාස කරන්නෙ. මගෙ තාත්තටත් සින්දු කියන්න පුළුවන්. පසුව මම නන්දා මාලනී මහත්මිය සහ තවත් ශිල්පීන් කිහිප දෙනෙක් යටතේ සංගීතය හැදෑරුවා.
ඔබේ සුවිශේෂී ගීත පිළිබඳව මතක් කළොත්?
මම සින්දු කියන්න පටන් ගත්ත මුල් කාලෙ වෙනත් ශිල්පීන්ගෙ ගීත තමයි ගායනා කළේ. 2007 වසරෙ දි මගේ මුල්ම සංයුක්ත තැටිය නිකුත් කළා. එය නම් කළේ සිත කඳුළක් යන නමින්. පසුව ජාතික රූපවාහිනියට ගීත කිහිපයක් නිර්මාණය කළා. ඒ වගේම සිරස රූපවාහිනිය වෙනුවෙන් "සූරිය ගිරි සිරස මතින්" කියන සමන් චන්ද්‍රනාත් වීරසිංහ ලියපු ගීතය ගායනා කළා. ඉර හැරෙන - නිරෝෂා විරාජිනි සමඟ ගායනා කළ ගීතයට බොහෝ රසික ප්‍රතිචාර ලැබුණා. මේ වෙනකොට ආදරය, බොදු බැති ගී විවිධ තේමාවන්ගේ ගීත ගායනා කරල තියෙනවා.
ඔබේ ගීත සඳහා නිර්මාණ දායකත්වය ලබාදුන් අයවත් දැනගන්න කැමතියි?
ඇත්ටටම වචන වලට ඇතිවුණු ආසාවක් එක්ක තමයි මම ගීත ගයන්න යොමු උණෙත්. කැලුම් ශ්‍රීමාල්, රත්න ශ්‍රී විජේසිංහ, නිලාර් එන් කාසිම්,ආනන්ද පද්මසිරි, රොහාන් රූපසිංහ වැනි ප්‍රවීණ පද රචකයන් ගණනාවක් ලියූ අරුත්බර පද රචනා මම ගායනා කළා. ලක්ෂ්මන් හේවාවිතාරණ,මහින්ද බණ්ඩාර, මනෝජ් පීරිස්, අජිත් ජයවීර වැනි ශිල්පීන් ගණනාවක් මං ගැයූ ගීත සංගීතවත් කළා.
ඔබේ ගමනට අත දුන් අය කවුද?
විශේෂයෙන් මතක් කරන්න ඕන මාර්ග සංවර්ධන අධිකාරියේ හැමදෙනාවම.මගෙ ආදරණීය දෙමව්පියන්, බිරිය සහ දරුවො දෙදෙනාව.මට ගීත ලියා දුන් සංගීතවත් කළ හැමදෙනාවම. ඒ වගේම ගීතවලට ඉඩක් ලබා දුන් සියලුම රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත් මාධ්‍ය හිතවතුන්ටත් ස්තූතිවන්ත වෙනවා. ඉදිරියටත් රැල්ලට යන ගායකයෙක් නොවී රටට හොඳ සුභාවිත ගීත නිර්මාණ ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.