බ්ලීචින් ක්‍රීම් ගාලා සුදු වෙන්නේ බලාගෙනයි | සිළුමිණ

බ්ලීචින් ක්‍රීම් ගාලා සුදු වෙන්නේ බලාගෙනයි

ස්වභාවික ලෙස ග්ලූටොතයන් ලැබෙනපළතුරු නිතර කන්න

වෙළදපළේ ඇති හැම ක්‍රීම් වර්ගවලම ඇත්තටම ග්ලූටොතයන් තියෙනවද කියන එක ප්‍රශ්නයක්

අඳුරු පැහැති හෝ තලෙළු සමක් හිමි බොහෝ දෙනා තම සමේ වර්ණය මදක් හෝ පැහැපත් කරගන්න මහන්සි වෙනවා. සම පැහැපත් කිරීම සඳහා ඕනෑ තරම් ආලේපන වර්ග ද විවිධ නාම යටතේ වෙළදපළේ ඕනෑ තරම් තිබෙනවා.නමුත් මේ ආලේපනවල ගුණාත්මක භාවය සහ පාවිච්චි කිරීමෙන් ඇති විය හැකි අතුරු ප්‍රතිඵල ගැන ඔබ මඳක් හෝ සොයා බැලුවා ද? සමෙහි විවිධ කැළැල් ඇතිවීමටත් මෙම බ්ලීචින් ක්‍රීම් භාවිතය බලපාන අවස්ථා තිබෙනවා. අපි අද රූ රහස් තුළින් කතා කරන්නේ සම පැහැපත් කිරීම සඳහා ආලේප කරන ක්‍රීම් වර්ග හරහා ඇතිවිය හැකි බලපෑම් සහ ස්වාභාවිකව සම පැහැපත් කිරීම සඳහා නිවසේදී කළ හැකි සත්කාර පිළිබඳවයි. අද රූ රහස් ඔස්සේ සිය දැනුම බෙදා ගන්නේ NVQ4 ඇගයීම් නිලධාරිණී ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නිමාලි දිනූෂා යි.

 

අප ජීවත් වන්නේ දකුණු ආසියානු රටකයි. ආසියානුවන්ගේ පැහැය වන්නේ තලෙළු පැහැයයි. බොහෝ විට කාන්තා පිරිමි දෙපාර්ශ්වයම උන්මාදයෙන් මෙන් සුදු වීම සඳහා ක්‍රීම් වර්ග භාවිත කරනු ලබනවා. අපි බලමු මොකද්ද මේ සම සුදුවෙනවා කියන්නේ කියලා. සමේ පැහැය අඩුවෙන එක තමයි සම සුදු වෙනවා කියලා කියන්නේ. සම සුදු කරන ක්‍රීම්වලින් කරන්නේ එහි ඇති බ්ලීචින් නිසා මෙලනින් අඩු කිරීමයි. මෙහි ඇති අහිතකර බව වන්නේ ක්‍රීම්වල සම්මත ප්‍රමාණයට වඩා රසදිය අඩංගු වීමයි. මෙවැනි ක්‍රීම්වර්ග දිගටම භාවිත කිරීමේදී සම තුළින් එය ලේවලට ද උරාගනු ලබන නිසා කාලයක් යනකොට නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්.

අපේ රූපලාවණ්‍ය ආයතනවලට වයස තිහ පසු වූ අය බොහෝ දෙනෙක් පැමිණෙනවා. ඒ ඔවුන්ගේ මුහුණේ ඇතිවූ කැළැල් සුව කරගැනීමටයි.සේවාදායකයන් සමඟ සාකච්ඡා කිරීමේ දී බොහෝ දෙනෙක් සුදු වීම සඳහා ආලේපන වර්ග කාලයක් තිස්සෙ පාවිච්චි කළ අය. රූපලාවණ්‍යයේ දී අපි මේව හඳුන්වන්නේ පිග්මන්ටේෂන් කියලා. මේ කැළැල් ප්‍රතිකාර කරලා සනීප කරන්න පුළුවන්. හැබැයි ඒ සඳහා කාලයක් යනවා.

මේ දිනවල සමාජයේ කතා කරන තවත් වචනයක් වන්නේ ග්ලූටොතයෝන්.ඇත්තටම නිරෝගී තරුණ බව රැකගන්න ග්ලූටොතයෝන් අදාළ කරගැනීමට හැකියාව තියෙනවා. මෙමඟින් සම අඳුරුවීමට හේතුවන මෙලනින් වර්ණකය නිපදවීම අඩාළ කරනවා. ඒ නිසා සම පැහැපත් වෙනවා.

තවද සමේ කළු ලප ඇති කිරීමට හේතුවන එන්සයිම අක්‍රිය කිරීමටත් ග්ලූටොතයෝන්වලට පුළුවන්. හැබැයි වෙළදපළේ ඇති හැම ක්‍රීම් වර්වලම ඇත්තටම ග්ලූටොතයන් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒ ගැන හොඳට විමසිලිමත් වෙන්න ඕන.

කුඩා කළ තලෙළු සමක් සමග උපත ලද මා වුවද පැහැපත් බව අඩු නිසා අවධානය අඩු වුණ කෙනෙක්. මගේ සහෝදරයන් දෙදෙනා ඉතාමත් පැහැපත්. මේ නිසා මමත් මානසික වශයෙන් ඉතා පීඩනයට ලක් වූ අවස්ථා අනන්තයි. කිසිදු දැනුමක් නොමැති අවදියේ පවා පැපොල් හිස් බඩ කෑමට සහ පානයට මම පුරුදු වුණා. ඒ අතර ජලය විශාල වශයෙන් පානය කරන්න පුරුදු වුණා.ඇත්තෙන්ම පැහැපත් බව ලබා ගැනීමට මෙය ඉතාමත් ඉවහල් වෙන බව අත්දැකීමෙන්ම දන්නා කරුණක්. කුඩා වයසේ ළමයින්ට වුවද මෙය පුරුදු කළ හැකියි. අලිගැටපේර, තක්කාලි සහ කහ වලින් ස්වාභාවික විදිහට ග්ලූටතයොන් අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්.

කුමන දෙයක් හෝ කරලා මුදල් ඉපයීම පමණක් අරමුණු කරගත් ආයතන බොහොමයක් අපේ රටේ තියෙනවා. අපේ මුහුණ සහ සම කියන්නෙ ඉතාමත් පරිස්සමින් රැකගත යුතු දෙයක්. වෛද්‍යවරයකුට පසු මනුෂ්‍ය ශරීරයක් සඳහා ප්‍රතිකාර කළ හැක්කේ රූපලාවණ්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියකට පමණයි.

අපි දැන් බලමු සුදු වෙන්න භාවිතා කරන්න පුළුවන් පැක් වර්ග කීපයක්.

කිරි වලට මීපැණි ස්වල්පයක් එක්කර ආලේප කර විනාඩි පහළොවක් ඇති තබා මඳ රස්නෙ උණුවතුරෙන් උණු වතුරෙන් සෝදා හරින්න.

කඩල පිටි සමඟ රෝස වතුර එක් කර මුහුණේ ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සීතල වතුරෙන් සෝදා හරින්න.

මී පැණිවලට ලෙමන් යුෂ ස්වල්පයක් එක්කර ආලේප කර විනාඩි 15 ක් තබා මඳ උණු රස්නය උණු වතුරෙන් සෝදා හරින්න.

ගස්ලබු යනු බ්ලීචිං ගුණ සහිත මියගිය සෛල අලුත් කරන පලතුරක්. දීප්තිමත් සමකට ගස්ලබු ගුණදායී අතර ගස්ලබුවලට ලෙමන් යුෂ ස්වල්පයක් එකතුකොට තලපයක් සේ සාදා මුහුණේ ආලේප කර මිනිත්තු තිහක් පමණ තබා සෝදා හරින්න. වැඩි ප්‍රතිඵල සඳහා සතියට දෙතුන් වතාවක් මෙය සිදුකරගන්න පුළුවන්.

කහ කියන්නේ විසබීජ නසන ආයුර්වේද විද්‍යාවේ පවා භාවිත වන ස්වාභාවික අමුද්‍රව්‍යයක්. ඇස් යට අඳුරු වීම මුහුණේ හා බෙල්ලේ අඳුරු ගතිය දුරු කිරීම සහ සඳහා කහ උපකාරී වේ. මී පැණි තේ හැන්දක් ගෙන එන කහ කුඩු තේ හැඳි දෙකක් මිශ්‍රකර මුහුණේ හා බෙල්ලේ ආලේප කරන්න පුළුවන්. අත් පා වල වුව ද මෙය ආලේප කරන්න පුළුවන්. විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න. හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සතියකට දෙපාරක් ආලේප කරන්න.

ලෙමන් යනු ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත පළතුරක් වන අතර සමෙහි මැරුණු සෛල ප්‍රාණවත් කිරීමට ද උපකාරී වෙනවා. උණුවතුරට ලුණු ස්වල්පයක් එක් කොට මුහුණ සේදීමට හැකි අතර තවද ලෙමන්වලට කහ එකතු කොට ආලේපයක් ලෙස සාදා මුහුණේ ආලේප කරන්නටත් පුළුවන්. එසේ ආලේප කිරීමෙන් එය විනාඩි පහළොවක් පමණ තබා මඳ රස්නය වතුරෙන් සෝදා හරින්න.

මේ හැම දෙයක්ම සමේ ඕනෑම ස්ථානයක ආලේප කරන්න පුළුවන්.

Comments