ප්‍රසංග වේදිකාවේ වේග රිද්ම ගායන තරුව | Page 2 | සිළුමිණ

ප්‍රසංග වේදිකාවේ වේග රිද්ම ගායන තරුව

මගේ පොඩි කාලේ හිතේ තිබුණු බලාපොරොත්තුවක් තමයි, කවදා හරි ව්‍යාපාරයක් කරන්න ඕනෑ කියන එක

පෙර අපරදිග ජන සංගීතය මුල් කරගනිමින් නවතම නිර්මාණ කිහිපයක් එළිදැක්වීම හා තෙවන ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීම මගේ බලාපොරොත්තුවයි

 

ඕ එවක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මහනුවර සේවයේ සරස්වතී මණ්ඩපයේ ළමා "ගී මිහිර" නවක මඬලෙන් කළ එළි දුටුවාය. තවද රජරට සේවයේ "රජරට කැකුළු" වැඩසටහනින් ද පාසල් අවදියේම සංගීත ලෝකයට පියමැන්නාය. ගායනයට මෙන්ම නර්තනයට ද එක ලෙස දස්කම් දැක් වූ මැය දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා ද විය. ඇය දිල්හානි සුරංජිකා එදිරිසිංහ නම් වූවාය. ඇතුගල්පුර මලියදේව ආදර්ශ විදුහලින් අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ දිල්හානි එවකට වයඹ ජන කලා කේන්ද්‍රයේ වයඹ තරංග සංගීත කණ්ඩායමේ ළාබාලම ශිල්පිනිය ද විය.

 

" මට වයස අවුරුදු හත, අට කාලයේ එවකට පාසලේ සිටි සංගීත ගුරුතුමා වූ මෑතක් දක්වාම කොළඹ රාජකීය විදුහලේ සංගීතාචාර්‍ය සහ සාගා නම් වූ සංගීත වැඩසටහනෙහි නිර්මාතෘ අශෝක පුෂ්පකුමාරයන් මගේ සංගීත දස්කම් හදුනා ගෙන සිටි අයෙක්. ඔහු විසින් ඉමිහිරි ළමා ගීත 4ක් මා වෙනුවෙන් නිර්මාණය කොට ඒවා ගුවන් විදුලියේ ගායනා කිරීමට ඉඩ ලබා දුන්නා. "

එවකට ශ්‍රී ලාංකේය ප්‍රසංග වේදිකාවේ ළාබාලතම ශිල්පිනිය ලෙස ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින කුඩා දරුවන් හා රසිකයන් බොහෝමයක් විය. "නිවාඩු කාලේ දවසක,කළු කපුටා, සිත යට සැඟවුණු යුද්දෙට ගිය තාත්තා, මගේ කුරුලු පොඩි යාලුවනේ, සුළං රැල්ළේ, යන ගීත පහක් ද ඇය වෙනුවෙන් අශෝක පුෂ්පකුමාර නිර්මාණය කළේය. මහනුවර සේවයේ සහ රජරට සේවයෙන් මේ ගී නිතර ප්‍රචාරය වීම තුළින් එවකට ජනප්‍රියතම ළමා ගීත අතරට මේ ගීත එකතු විය. දිල්හානි ගායනයට පමණක් නොව භාරත වීරයන් යටතේ උඩරට නැටුම් කලාව ද ප්‍රගුණ කළාය. තවද පාසලේ මෙන්ම දහම් පාසලේත් ඉන් පරිබාහිර ආයතනවලත් පැවති බොහෝ තරගවල සමස්ත ලංකා දක්වා ජයග්‍රහණත් දිවයිනේ ප්‍රසිද්ධ අප්‍රසිද්ධ ආදී නොයෙක් සංගීත කණ්ඩායම් සමඟත් සජීවී එළිමහන් වේදිකාවේත්, මංගල උත්සවවලත්, තරු පන්තියේ හෝටල්වලත් බටහිර ගීත ගයන ගායිකාවක ලෙසටත් කටයුතු කළාය. එසේම රේඩියෝ සහ රූපවාහිනී නාළිකාවල වැඩසටහන්වලට ද සහභාගී වූවාය.

උසස් පෙළ සංගීත විෂය හදෑරීමට මහනුවර පුෂ්පදාන බාලිකාවය ඇතුළත් වූ දිල්හානී අනතුරුව විශ්වවිද්‍යාල වරම් හිමිකර ගත්තාය. ඇය මවුපියන්ගේ එක් බලාපොරොත්තුවක් ඉෂ්ඨ කළේ ලෙසටය. එවකට විශ්වවිද්‍යාලවල තිබූ ශාලා, පන්ති කාමර පහසුකම් සහ නේවාසිකාගාරවල අඩුපාඩුකම් නිසා නියමිත දින විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි විය. නමුත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨයට ඇතුළත් වීමට හැකි විය. ජීවිතයේ නොයෙක් හැල හැප්වීම් මැද ඕ අධ්‍යාපන කටයුතු සිදු කළාය.

" මම ටික කාලයක් සංගීත ලෝකයෙන් ඈත් වෙලා හිටියා. ඒ මගේ අධ්‍යාපනය කටයුතු සඳහා විදේශගත වුණු නිසා. හැබැයි මම ගියේ සංගීතය හදාරන්න නෙවෙයි. මගේ පොඩි කාලේ හිතේ තිබුණු බලාපොරොත්තුවක් තමයි, කවදා හරි ව්‍යාපාරයක් කරන්න ඕනෑ කියන එක. ඒ අරමුණ ඇතුව මම ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ උපාධියක් හදාරන්න යුරෝපයට ගියා. නැවත මම ශ්‍රී ලංකාවට ආවේ අවුරුදු හතරකට පස්සේ. මට කියල යමක් ඕන නිසත් මුදල් හදල් හම්බ කරන්න ඕනෑ කියල මගේ යටි සිතින් කියපු නිසාත් මගේ ගමන මේ ආකාරයෙන් සිදු වුණා.

මගේ මවගේ දැඩි කැමැත්ත තිබුණේ මම සංගීත ගුරුවරියක් වෙනවා දැකීමයි. පස්සේ මම කොමිනිකේෂන් එකක් දාගත්තා. ඒක සාර්ථක වුණේ නෑ.

පසුව මම ජෝන් කීල්ස් සමාගමේ විධායක නිලධාරිනියක් ලෙස මාලදිවයින් දොන් වැලි දූපතේ " දොන් වැලි රිසෝට්" හි රැකියාවට ගියා. උදේ වරුවේ විධායක නිලධාරිනියගේ රාජකාරියත් සවසට සංචාරකයන් සඳහා තනිවම සංගිතය හා ගීත ගායනා කරලා යම් මුදලක් එකතු කර ගත්තා. ටික කාලෙකින් මව්පියන්ගේ බල කිරිමට ආයෙත් ශ්‍රී ලංකාවට ආවා."

ඒ අතර ඇය තවත් ව්‍යාපාරයකට අතගැසුවාය. ඒ වාහන මිලට ගෙන නැවත විකිණීමයි. එම ව්‍යාපාරය එලෙස කරගෙන යන අතරතුරේ සංගීත කරලියේ හිත මිතුරන්ගෙන් සංගීත කණ්ඩායම්වලින් ඇයට ආරාධනා පැමිණීම අඩුවක් නොවීය. දිල්හානිට භාෂා කිහිපයකින්ම ගීත ගායනා කිරීමට හැකිය. ඇය නැවත වසර හතරකට පසුව සනිධප සංගීත කණ්ඩායම සමඟ සංගීත කරලියට පිවිසුණාය. ඉන්පසු දිවයිනේ ජනප්‍රිය හා ජනප්‍රිය වෙමින් පවතින සංගීත කණ්ඩායම් රැසක් සමඟ ප්‍රසංග වේදිකාවල වේග රිද්මේ ගායන ශිල්පිනියක් ලෙස දික්විජය කරන්නට ඇය සමත් වූවාය. ප්‍රසංග වේදිකාවට පැමිණීමත් සමඟ දෙස් විදෙස් රටවල් ගණනාවක ප්‍රසංග සඳහා සහභාගි වීමට හැකි විය. 2016 වසරේදී වජිර සේනානායක කළ ඉල්ලීමට අනුව කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ඇගේ පළමු ඒක පුද්ගල ප්‍රසංගය " දිල්හානි ලයිව් ඉන් කොන්සර්ට් " පැවැත්වූවාය. අජිත් බණ්ඩාර හා මිලින්ද සඳරුවන් ගායන ශිල්පීන් ප්‍රමුඛ ස්පීඩ් සංගීත කණ්ඩායම නාද රටා මුසු කරමින් පැවැත්වීය. පළමු ප්‍රසංගය පවත්වා නැවත රසික ඉල්ලීම මත ඇය 2018 වසරේදී චන්දන ලියනආරච්චි සහා චාමික සිරිමාන්න එක්ව දෙවැනි ප්‍රසංගය " දිල්හානී ලයිව් ඉන් කොන්සර්ට් 2" නමින් පැවැත්විය. කෙටි කාලයක් තුළ සංගීත කරලිය හඬ අවදි කළ දිල්හානි නව ගීත නිර්මාණ 5ක් එළි දැක්වීමට ද සමත් විය. මේ වෙන විට එම ගීත අතිශය ජනප්‍රියත්වයට පත්වී ඇත. තව එක වරක්, ලොව නිදි ගත් රැයක්, යන ගීත දෙක ඇයගෙ පද රචනයන්ය. රන් මාල හතක්, නෙත් කොනෙන් හිනහිලා, ආදරේ ඕනෑ... කියන ගීත පද රචනය හා සංගීත සංයෝජනය නිලංග බංඩාරතිලකගෙනි.

පසුගිය පෙබරවාරි 14 වැනිදා දිල්හානිගේ නවතම ගීතය " පෙම්වතා" නම් වේග රිද්ම ගීතය එළිදැක්විණි. මේ දිනවල ජනප්‍රිය ගීත දර්ශකයට මෙය ද එකතු වී ඇත. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් හා අභාසය ලබමින් සංස්කෘතිය, සාහිත්‍යය එක්ව පර්යේෂණාත්මක හා පෙර අපරදිග ජන සංගීතය මුල් කරගනිමින් නවතම නිර්මාණ කිහිපයක් එළිදැක්වීම හා තෙවන ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීම දිල්හානිගේ බලාපොරොත්තුවයි.

 

Comments