
ලෝකය විවිධාකාරය. එය එසේ වී ඇත්තේ ලෝකයේ පවතින එකිනෙකට වෙනස් පාරිසරික දේශගුණික කලාප, භූ විෂමතා නිසා පමණක් නොව එම විවිධත්වයම හේතු කොටගෙන නිර්මාණය වූ විවිධ මානව සමාජ සහ ඒවායේ පවතින සංස්කෘතික, ආර්ථික, සාමාජික විවිධත්වය නිසාය. විවිධත්වයක් සහිත ලෝකය වඩා සුන්දරය; රසවත්ය. මේ නිසා පොදු ලක්ෂණ සහිත සමාජයක වෙනත් භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක, සමාජ, ආර්ථික, සංස්කෘතික ලක්ෂණ සහිත කුඩා සමාජ පවතින විට ඒවාට හිමි වන්නේ සුවිශේෂී වටිනාකමකි. මේ නිසා එවැනි ස්ථාන බහුතර පිරිසකගේ ආකර්ෂණයට, ආදරයට ලක්වෙයි. එකිනෙකට වෙනස් පාරිසරික දේශගුණික කලාප පවතින මෙරට පවා පුංචි එංගලන්තය, පුංචි ඉතාලිය, පුංචි දඹදිව, පුංචි අරාබිය, පුංචි රෝමය වැනි නම් ලැබූ ලෝකයේ වෙනත් කලාප වල ලක්ෂණ සහිත සුන්දර නගරවලට ඉහළ වටිනාකමක් හිමිව ඇත්තේ ඒ නිසාය.
මෙසේ මෙරට නිතර විමසුමට ලක්වන සමාජයන් අතරින් අරාබිකරයේ සංස්කෘතිය, පරිසරය, සෞන්දර්ය විඳිය හැකි කාත්තාන්කුඩියට හිමිවන්නේ ඉතා ඉහළ මට්ටමේ අවධානයකි. ඇතැම් අයගේ ආදරයටද ඇතැම් අයගේ විවේචනයටද ලක්වෙමින්, වසර දහස් ගණනක් තිස්සේ මෙරට පවතින අනන්‍ය පොදු සම්ප්‍රදායෙන් බැහැරවෙමින් මෙරටට ආගන්තුක අරාබි සම්ප්‍රදායක් ගොඩනගා ගත් මේ අපූර්ව නගරය වූ “කාත්තාන්කුඩි නගරය” නැගෙනහිර පළාතේ මඩකලපුව නගරයේ සිට කල්මුණේ දෙසට යාමේදී හමුවෙයි. වර්ග කිලෝමීටර් 6.502 ක පමණ විශාලත්වයෙන් යුතු කාත්තාන්කුඩිය අතිශය ජනාකීර්ණ නගරයකි. අරාබියේ හමුවන කුඩා නගරයක අසිරිය ගත් කාත්තාන්කුඩිය මෙරට පුරා ප්‍රකට වී ඇත්තේ නගරය මැද වවා ඇති දැවැන්ත රටඉදි ගස්පෙළ නිසා වෙනි. ගිනියම් අවු රශ්මිය යටින් නගරය හරහා ගමන් ගන්නන් හට සෙවණ සදමින් නගරය වසා ගත් මේ රට ඉඳි ගස්පෙළ නගරයට සැබැවින්ම සුන්දරත්වයක් එක් කරයි. නගර සීමාව තුළ ප්‍රධාන මාර්ගය මැද රට ඉඳිගස් 70 පමණ රෝපණය කොට ඇති අතර නගරය මැද පිහිටි මෙම රටඉදි ගස් පෙළ නිසා එය කෙරෙහි බොහෝ අයගේ අවධානය යොමුවී තිබේ. කාන්තාර දේශගුණික ලක්ෂණයන්ට හුරු රට ඉදි ශාක සඳහා මෙරට දේශගුණය එතරම් නොගැළපුණ ද මෙහි ඇති රටඉදි ගස් ඉතා සරුවට වැඩී මල් ඵල දරා නගරයට අලංකාරයක් එක් කරයි.
ජනගහනය 100% මුස්ලිම් හා ඉස්ලාම් භක්තිකයන් වන කාත්තාන්කුඩිය මෙරට පවතින පොදු සම්ප්‍රදායෙන් බැහැර වෙමින් මෙරටට ආගන්තුක අරාබි සම්ප්‍රදායක් ගොඩ නංවා ගැනීමට සමත්වී තිබේ. මේ නිසා කාත්තාන්කුඩි නගරය පුංචි අරාබිය නමින් හඳුන්වන අතර, එය මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඩාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ වඩාත් ආර්ථික සමෘද්ධියක් හිමි නගරය ලෙසද කීර්තියක් දිනාගෙන තිබේ. ශ්‍රී ලංකාවෙහි වැඩිම ජන ඝනත්වය සහිත නගරය ලෙස සැලකෙන කාත්තාන්කුඩි නගරයෙහි අධික ජනගහනයක් වාසය කළ ද අනෙකුත් නගරයන්ට සාපෙක්ෂව ඉතා පිරිසිදුය. මෙම නගරය පිරිසිඳුව හා අලංකාරව පවත්වා ගැනීම සඳහා එහි වැසියන් මහත් කැපවීමක්ද සිදුකරයි. පසුකාලීනව ලැබූ දියුණුවත් සමඟ කාත්තාන්කුඩිය ජනප්‍රිය සංචාරයක නැවතුමක් බවටද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.
ඉස්ලාමීය ආගමික ස්ථාන හැර වෙනත් ආගමික ස්ථාන දක්නට නොලැබෙන කාත්තාන්කුඩියේ විවිධ නිකායන්ට අයත් මුස්ලිම් පල්ලි 60කට අධික ප්‍රමාණයක් පිහිටා තිබෙන අතර ස්ලාම් සංස්කෘතිය හැදෑරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙසද මෙම නගරය සැලකේ. අරාබි සංස්කෘතිය හා සමාජ ක්‍රමයන් මෙහි පැමිණ පැළපදියම් වීම නිසා ඉදිවූ ගොඩනැගිලි, නිවාස ආදිය අරාබි ගෘහනිර්මාණ ශිල්පයේ ආභාසය ලබා තිබේ. අරාබි භාෂාව මෙරට මුස්ලිම් ප්‍රජාව අතර පවා එතරම් භාවිතා නොවන නමුත් කාත්තාන්කුඩියෙහි නාමපුරු, දැන්වීම් පුවරු ඇතුළු නාමකරණයන් සඳහා අරාබි භාෂාවද යොදාගෙන තිබීමද මෙහි වෙනස් අනන්‍යතාවක් ඇති වීමට හේතුවී තිබේ.
කාතාන්කුඩිය එතුක්කල් සහ හඩ්ජියර් වෙරළ තීරය නම් සුන්දර වෙරළ තීරයකින් සහ අලංකාර කලපු පරිසර පද්ධතියකින්ද සමන්විතය. ඉතා සුන්දර කාතාන්කුඩි වෙරළ ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් වෙරළ තීරයකි. මුස්ලිම්වරුන්ගේ අතීතය විදහා දැක්වීම සඳහා මෙරට පවතින ප්‍රථම හා එකම මුස්ලිම් කෞතුකාගරය වන “උරුම කෞතුකාගාරය” පවතින්නේද කාත්තාන්කුඩි නගරය තුළය. මෙරට මුස්ලිම් ප්‍රජාවගේ ඉතිහාසය හා සම්බන්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනය කිරීම සඳහා 2015 අප්‍රේල් 14 වැනි දින මෙම කෞතුකාගාරය විවෘත කෙරිණි. මෙම සිව්මහල් කෞතුකාගාරයෙහි මුස්‌ලිම්වරුන් සමඟ සම්බන්ධ ආගමික, වෙළෙඳ, දේශපාලන, ඉතිහාස කටයුතුවල සම්බන්ධ දැ තැන්පත් කර තිබේ. මුස්‌ලිම්වරුන්ගේ විවාහ ක්‍රම, ආහාර පිළිවෙත් වෙළෙඳ ක්‍රම, පුරාතන පල්ලි ඇතුළු මුස්‌ලිම්වරුන්ගේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයට මෙය කදිම ස්ථානයකි.
මෙසේ මෙරට පොදු සමාජ සංස්කෘතියෙන් වෙනස් අරාබි සංස්කෘතිය, කලාව මුල්කරගත් නරගරයක් ලෙස සංවර්ධනය වීම නිසා අද වන විට කාත්තාන්කුඩිය වෙනස් අත්දැකීමක් ලැබිය හැකි ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබේ. අරාබියට ගොස් අරාබිය රස විඳිමට අවස්ථාව අහිමි බොහෝ දෙනා ජාති ආගම් භේදයකින් තොරව මෙහි පැමිණ අරාබියට ගියා සේ පුංචි අරාබිය රස විඳී. එසේ එන සංචාරකයන් සඳහා අරාබි ආහාර පාන රස විඳීමට හැකි අවහන්හල් රැසක්ද මෙහි ස්ථාපිත වී තිබේ. මේ නිසා අපට හුරු පුරුදු වටපිටාව වෙනුවට අලුත් රසයක් විඳීමට කාත්තාන්කුඩිය කදිමය. රට ඉදිගස් මල්බර වන කාලයට කාත්තාන්කුඩියට එන්නේ නම් මේ පුංචි අරාබිය සුන්දර ශ්‍රී ලංකාව කෙතරම් වර්ණවත් කර ඇති දැයි නෙත් දැකීමෙන්ම විඳගත හැකිය.