
මීට පෙර BAHUBALI 1 සහ BAHUBALI 2 යන සිනමා නිර්මාණ ඉන්දියානු සිනමාව රැගෙන ගිය දැවැන්ත පරිකල්පනීය ලෝකය ඔබට මතක ඇති. එයින් තවත් පියවරක් ඉදිරියට තැබූ KGF විශේෂ ප්‍රයෝග සහ පරිගණක දෘශ්‍ය ප්‍රයෝග සමඟින් වෙනස්ම සිනමාරූපි අත්දැකීමක් ප්‍රේක්ෂකයන් ඉදිරියේ දිගහැරියේ ලෝක සිනමාව තුළ ඉන්දියානු බලපෑම වෙනස්ම මානයක් වෙත රැගෙන යමින්.
මේ වන විට KGF සිනමා පට මාලාවේ පළමු සහ දෙවන කොටස් නිර්මාණය කෙරී අවසන්. මිටියක්, සවලක් හෝ තුවක්කුවක් රැගෙන තමන්ටම ආවේණික ස්වරූපයෙන් ප්‍රතිවාදීන් අබිබවන ඉන්දියාව තුළ බිහිවූ භයානකම මිනිසා හෙවත් 'රොකී' (පරිකල්පනීය චරිතයක් ) ගැන කියවෙන මෙම සිනමාපටයන්හි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ සුපිරි කන්නඩ නළු යෂ් විසින්.
KGF සිනමාපටයේ රොකී මෙන්ම සැබෑ ජිවිතයේ යෂ්ද එක්තරා අතකින් සමාන වන්නේ ඔවුන් දෙදෙනාම දුක් කම්කටොලු දරා ගනිමින් ජිවිතයේ හිනිපෙත්ත වෙත පිය නැඟීමට සමත් වූ සුවිශේෂී චරිත දෙකක් වන බැවිනුයි. මේ යෂ්ගේ පසුබිම් කතාවයි.
නවීන් කුමාර් ගොව්ඩා හෙවත් යෂ් මේවන විට පසුවන්නේ 36 වැනි වියේයි. කර්ණාටක ප්‍රාන්තයේ හසාන් නම් ප්‍රදේශයේ දුගී පවුලක උපත ලැබූ ඔහුගේ පියා රියදුරකු වූ අතර මව කිසිදු රැකියාවක් කර නැහැ. කුඩා කාලයේ සිටම නළු උණෙන් පෙළුණු බැවින් ඒ හේතුවෙන්ම සිය අධ්‍යාපනය 10 වසරෙන් අවසන් කිරීමටද තීරණය කර තිබෙනවා. (එහෙත් පසුකලෙක ඔහු සිය උපාධිය සම්පූර්ණ කර ඇත්තේ මනෝවිද්‍යාව සහ ජනසන්නිවේදනය විෂයයන් සඳහායි) ඔහුගේ පියාට නවීන් රජයේ සේවකයකු බවට පත් කිරීමට දැඩි වුවමනාවක් පැවතුණද, ඒ සියල්ලටම වඩා ඉහළින් තමාගේ බයිස්කෝප් සිහිනය තබාගෙන සිටි ඔහු, පියා සමගද දබර කර ගැනීමෙන්ද පසු බැංගලෝරය වෙත පැමිණියේ සහය අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කිරීමේ අදහසිනුයි.
ඉන්දියානු රුපියල් 300 පමණක් අතේ තබාගෙන සිය ඉරණම වෙනස් කරන සිනමා සිහිනයට අවතීර්ණ වූ නවීන්ට මුලින්ම සිදුවුනේ දිනකට රුපියල් 50 වැටුපකට වේදිකා නාට්‍ය පසුතල සහයකයකු ලෙස කටයුතු කිරීමටයි. නළුවකු වීමේ අරමුණෙන් වසර 4ක් පමණ නොයෙක් අපා දුක් විඳි නවීන් කෙමෙන් වේදිකා නාට්‍ය සහය නළුවකු ලෙස යම් නමක් දිනා ගැනීමට සමත් වුණත්, ඔහුට මුල් කාලයේ බොහෝ විට හිමිවුණේ සිනමාපටවල සහ රුපවාහිනී නාට්‍ය වල සුළු සහාය චරිත පමණයි.
වේදිකාවේ සුළු සුළු චරිත රඟ පාමින්, දැවැන්ත නළුවන්ට ආවතේව කරමින් පැමිණි එම ගමන යම් තරමකට ස්ථාවර වූ පසුව, සිය දෙමාපියන්ද බැංගලෝර් වෙත ගෙන්වා ගත් මේ තරුණ නළුවාගේ ජීවිතය වෙනස් වුණේ 2008 වසරේදී නිර්මාණය කෙරුණු Moggina Manasu සිනමාපටය හේතුවෙනුයි. එහි ප්‍රධාන චරිතයක් රඟපෑමට නියමිතව සිටි රංගන ශිල්පියකු රූගත කිරීම් ඇරඹීමට දින කිහිපයකට පෙර රිය අනතුරකට ලක්වූ අතර, ඒ හේතුවෙන් පිස්සකු බවට පත්වෙමින් සිටි අධ්‍යක්ෂකවරයා නවීන්ව යන්තමින් දැක ඇත්තේ අහඹු ලෙස රුපවාහිනිය නරඹමින් සිටි මොහොතකයි.
ඒ මොහොතේ අධ්‍යක්ෂකවරයාගේ මුහුණට නැඟුණු මඳහස එම වසර අවසානයේදී නවීන්ගේ මුහුණේ ජයග්‍රාහී සිනහවක් බවට පරිවර්තනය වී තිබුණේ එම සිනමාපටයේ රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මානයක්ද නවීන්ට හිමිවූ බැවිනුයි. මුලින් සිය තිර නාමය යෂ්වන්ත් ලෙස වෙනස් කරගත් නවීන් පසුව එය යෂ් ලෙස කෙටි කරගත් අතර මේවන විට මුළු ලොවම ඔහුව හඳුන්වන්නේ යෂ් යන නමෙනුයි.
යෂ් මේ වන විට හොඳම රංගනය වෙනුවෙන් සම්මාන ගණනක් දිනා ඇති අතර KGF පළමු සිනමාපටයේ රංගනය වෙනුවෙන් ලැබූ හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයද ඊට ඇතුඝත්.ප්‍රධාන චරිතයක් රඟපෑ සිය පළමු සිනමාපටය වූ Moggina Manasu හි ප්‍රධාන නිළිය වූ රාධිකා පණ්ඩිත් සමඟ යෂ් ඇරඹු ප්‍රේමය මේ වනවිට ඔහුන් දෙදෙනා දරු දෙදෙනෙකුගේ මවුපියන් බවටද පත්කර අවසන්.
මේ වන විට යෂ් සිනමාපට 21 ක රඟපෑ ඇති අතර ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත්කළ 'රොකී' යන නාමය ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු සිනමාපටයේ ඔහුගේ චරිතයේ නාමයම වීමත් විශේෂත්වයක්.
කන්නඩ සිනමාවේ විභූතිය මුළු ලෝකයම ඉදිරියේ ඔසවා තැබූ යෂ් ඒ හේතුවෙන් මේ වන විට මුළු ලෝකය පුරාම ජනප්‍රිය චරිතයක් වී සිටින්නේ කුඩා කාලයේදී ඔහු දුටු සිනමා සිහිනය යථාර්ථයක් බවට පත්කර ගනිමිනුයි. දින 50 ඉක්මවමින් තවමත් ලොව වටා සාර්ථකව තිරගත වන KGF 2 සිනමාපටය පසුගිය සතිය වනවිට උපයා තිබු මුළු මුදල ඉන්දියානු රුපියල් කෝටි 1250 ක්.එය එදා මේද තුර වැඩිම ආදායම් ලැබූ ඉන්දියානු සිනමාපට ලයිස්තුවේ 3 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ DANGAL සහ BAHUBALI 2 යන සිනමාපටවලට පමණක් දෙවැනි වෙමිනුයි.
සිය අති සාර්ථකත්වය හමුවේ තව තවත් නිහතමානී වූ නළුවකු ලෙස ඉන්දියානු ප්‍රේක්ෂකයන් අතර යෂ්ට හිමි ව ඇත්තේ විශේෂ ගරුත්වයක්. තමා හමුවන ඕනෑම රසිකයකු සමඟ දෙවරක් නොසිතා ඡායාරූපවලට පෙනී සිටින ඔහු සිය සහෝදර නළු නිළියන් සමඟ ද ඉතාම සුහදව සහ කාරුණිකව කටයුතු කරන්නෙක් ලෙස ප්රකටයි.
KGF පළමු සිනමාපටයේ දුෂ්ටයා හෙවත් ගරුඩා ලෙස රඟන රාමචන්ද්‍ර රාජු සිනමාවට හඳුන්වා දුන්නේ ද යෂ් විසින් බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්. ඊට පෙර රාජු යනු යෂ් ගේ පුද්ගලික ආරක්ෂකයා වූ අතර ඔහුගේ සිනමාවට ඇති කැමැත්ත දැකීම හේතුවෙන් යෂ් රාජුව ඒ චරිතයට යෝජනා කළ බවත් පැවසෙනවා. මේ වන විට රාජු ඉන්දියානු සිනමාව තුළ කාර්ය බහුල නළුවකු වී අවසන්.
KGF සිනමාපට මාලාවේ තෙවැන්න කෙරෙහි මේ වන විට ප්‍රේක්ෂක අවධානය සහ කුතුහලය දැඩිව යොමුව තිබෙනවා. නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ රිතික් රොෂාන් ද ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට නියමිත එය බොහෝ විට මේ වසර අගදී හෝ එළඹෙන වසර මුලදී තිරගත වනු ඇති බවයි. ඒ සිනමා නිර්මාණයත් සමඟින් ෂාරුක්, අමීර්, සහ ප්‍රභාෂ් පසු කරමින් යෂ් ඉන්දියානු සිනමාවේ කිරුළ හිමි මීළඟ රජු බවට පත්වෙයිද?