
කෝට්ටේ ආනන්ද බාලිකා මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූ උදේශිකා සඳමාලි අල්විස් කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක්. තවත් අධ්‍යාපනික පාඨමාලා කීපයකට යොමු වෙලා සිටින ඇය තමන්ගේම පොත් අලෙවි ව්‍යාපාරයක නිරත වනවා. ආදරණීය බිරියක් දරු දෙදෙනකුගේ සෙනෙහෙබර මවක් විදිහට කාලය ගත කරන ඇය ලැබෙන විවේකය ගත කරන්නේ ආදරණීය පාඨකයන් වෙත අලුත් නවකතාවක් ලියන්නටයි. මුහුණු පොතේ ජනප්‍රිය නවකතාකාරිණියක් වන උදේශිකා මේ වෙනකොට මම මුද්‍රිත නවකතා පහක් පාඨකයන් වෙත තිළිණ කර අවසන්.
ඇයට මේ ක්ෂේත්‍රයට එන්නට ගුරුහරුකම් දුන් ජනප්‍රිය ලේඛක ප්‍රියංක නලීන් පීරිස්, ලේඛිකාවක් ලෙස ඉදිරියට යන්නට ශත්කියක් වන සිය ආදරණීය සැමියා මාලින්ද අල්විස් උදේශිකා සිහිපත් කරන්නේ ඉමහත් සෙනෙහසින් . පිරිමියකුගේ සාර්ථකත්වය පිටුපස ගැහැනියක් සිටින බව කීවත් ඇය කියන්නේ ගැහැනියකගේ සාර්ථකත්වය පිටුපස පිරිමියකු සිටින බව වඩාත් තහවුරු වන්නේ ඇයගේ මේ ගමන් මගේ අත්වැල ඇගේ දයාබර සැමියා මාලින්ද නිසායි.
1. මගේ පළමු නවකතාව
මගේ පළමු නවකතාව 'මේත් තව එක භවයක්'. ඒ කතාව මම 2016 වර්ෂයේ මුලින්ම ලියන්නේ මුහුණ පොතට. නමුත් මගේ පළමු මුද්‍රිත නවකතාව වෙන්නේ 'ප්‍රාණය ප්‍රේමය නම් 'කෘතිය. විශේෂ අවශ්‍යතා තියෙන තමන්ගේ සහෝදරිය ආදරෙන් බලාගන්න ගමන් ජීවන අරගලයට මුහුණ දෙන දිරිය යුවතියකගේ ජීවිතයට ධනපති පන්තියේ තරුණයකුගේ ආදරය මොන විදිහේ බලපෑමක් ඇති කරනවාද කියලා කතාව ඇතුළේ අන්තර්ගත වෙනවා. ඇත්තටම ආදරයට පන්ති භේදය අදාළ නොවන බව කියාදෙන ආදර කතාවක් තමා මගේ පළවෙනි මුද්‍රිත නවකතාව.
2. එහි සිත්ගත් හා සංවේදී අවස්ථා.
පළවෙනි මුද්‍රිත නවකතාවෙහි සිත් ගත් අවස්ථාවක් ගැන කිව්වොත් මම වැඩිපුරම කැමති, අමායා තමන්ගේ විශේෂ අවශ්‍යතා සහිත නංගිට එන ප්‍රශ්න, සමාජයෙන් එල්ල වෙන බලපෑම්වලට බය නැතුව මුහුණ දෙන අවස්ථාවන් ඇතුළත් කොටස්වලට. කතාව පටන් ගන්නකොටම අමායාගේ නංගි මඩ ගොඩක නටලා මඩ තවරගෙන ඉන්න නිසා අමායා නංගිව නාවන්න ගමේ පොදු ළිඳ ළඟට අරන් යනවා. එතනදී ගමේ ජීවත්වෙන එක්තරා කාන්තාවක් නංගිගේ රෝගි තත්ත්වය ගැන කියලා අමායාගේ නංගිට අපහස කරනවා. තමන්ගේ සහෝදරියට නින්දා අපහාස කරන කාන්තාවට එම කාන්තාවගේ ජීවිතයේ කොයි තරම් අඩුපාඩු තියෙනව ද කියලා අමායා පෙන්නලා දෙනවා. තමන්ගේ ජීවිතයේ ගොඩක් අඩුපාඩු වැරදි තියාගෙන අනුන්ගේ දේවල් හොයන්න එපා කියන පණිවුඩය තමයි එතනින් දෙන්නේ. කතාවේ වැඩිපුරම මගේ සිත් ගත්තේ ඒ අවස්ථාව.
3. මගේ වෙනත් නව කතා සහ ලැබුණු පාඨක ප්‍රතිචාර
මම මේ වෙනකොට සයිබර් අවකාශයට කතා 15කට ආසන්න වෙන්න ලියලා තියෙනවා. ඒ වගේම මුද්‍රිත නවකතා විදිහට ප්‍රාණය ප්‍රේමය නම්, පූජාවක්දෝ, තුන්තැල්ල, ගෞරවි, බෝනික්කි 1කොටස 2 කොටස වශයෙන් ලියලා තියෙනවා. පාඨක ප්‍රතිචාර විවිධ විවිධ විදියට මගේ කතාවලට නොඅඩුව ලැබුණා. 'ප්‍රාණය ප්‍රේමය නම්' කෘතිය කියවලා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉන්න ගෙවල්වල මව්පියන්ගෙන් මට දුරකථන ඇමතුම් පවා ආවා. ඒ අය ගොඩක් සංවේදී වෙලා තිබුණා කතාව කියවීමෙන්. ගොඩක් අය කියන්නෙ මගේ හැම කතාවකම ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා කියලා. අවසානයට ලියපු ගෞරවි කතාවත් මම මගෙම පාඨකයන්ට වෙච්ච සමහර අත්දැකීම් එකතු කරල ලිව්වේ. ඉතින් ගොඩක් අය මගේ කතා කියවලා සතුටු වෙලා වගේම සංවේදි වෙලා තිබුණා. ගෙදරට අදටත් ලියුම් එනවා කතා ගැන හා තමන්ට ලැබුණ අත්දැකීම් විස්තර කරලා. සමහර පාඨකයෝ මැදිවිය පහු කරපු කට්ටිය. එහෙම ගෙදරට ලියුම් එනකොට මගේ කතා අගය කරලා මට සියුම් ආඩම්බරයක් දැනෙනවා. දුරකථන ඇමතුම් එනවා මගේ ඉදිරි කෘති ගැන අහලා. හොඳම කාරණය අදටත් සැමියා, දරුවන් එක්ක එළියට ගියාම කතා කියවන මම නොදන්න කෙනෙක් ඇවිල්ලා මාත් එක්ක කතා කරලා, මාව අගය කරනවා. ඉතින් ඒ ලැබෙන පාඨක ප්‍රතිචාරවලට මම ගොඩක් ආදරෙයි.
4. මා නොලියූ, මා කැමති වෙනත් පොත්
මම හරිම කැමතියි අභිරහස්, ත්‍රාසජනක හොල්මන් කතා ලියන්න. ආදර කතා වගේම ගොඩක් දක්ෂව, අබිරහස් ත්‍රාස්‍යජනක හොල්මන් කතා ලියන්නත් මට පුළුවන් කියලා මම හිතනවා. ඉතින් ඉදිරියේදී මගේ ආදරණීය පාඨකයන්ට අලුත් අත්දැකීමක් විදිහට හැම ආකාරයකම පොත් ලියන්න, මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා. මම ආසම මනෝරි සිලිකා වික්‍රමාරච්චි, චන්දි කොඩිකාර, මොහාන් රාජ් මඩවල, මංජුල සේනාරත්න, සුජීව ප්‍රසන්න ආරච්චි මහත්ම මහත්මීන්ගේ කතා කියවන්න. ඒ අතරින් මනෝරි සිලිකා වික්‍රමාරච්චිගේ 'නාඩන් දාස්පෙති' කතාවට මම ගොඩක්ම කැමතියි. ඒ වගේම 'මළගිය ඇත්තෝ' නවකතාවත් කවදාවත් අමතක කරන්න බැරි කතාවක්.
5. මගේ ඉදිරි සැලසුම්
අලුත් පොත් දෙකක් ඉදිරියේදී මුද්‍රණය වීමට නියමිතව තියෙනවා. ඒ වගේම මගේ අනෙකුත් අධ්‍යාපන කටයුතුවලටත් මේ දවස් වල වැඩි ඉඩක් වෙන් කරලා තියෙනවා. ලේඛන කලාව දවසින් දවස අලුත් වෙන දෙයක්. ඉතින් ලියන එක දිනපතාම කරනවා. අනාගතයේ මගේ ආදරණීය පාඨකයන් වෙනුවෙන් වෙනස් අත්දැකීම් ගොන්නක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. දරු දෙදෙනාත් සැමියා සමඟ කාලය ගත කරන ගමන් ලේඛිකාවක් විදිහට ලේඛනයෙන් ඉස්සරහට යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මගේ හැමදේකටම කාලය ගොඩක් කැපකරලා උදව් කරන්නේ මගේ ආදරණීය සැමියා ඉතින් එයාගේ ගුරුහරුකම්, අවවාද එක්ක පාඨකයන්ට අලුත් දෙයක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ටෙලිනාට්‍යයකට තිර පිටපතක් ලියන්නත් ආරාධනාවක් ලැබිලා තියෙනවා ඉදිරියේදී ඒ ගැනත් සලකලා බලනවා.