සිහින බෙදා ගන්නට මිනිසුන් ම අවැසි නොවේ | සිළුමිණ

සිහින බෙදා ගන්නට මිනිසුන් ම අවැසි නොවේ

 

මිනිසාගේ හොඳම මිතුරා බල්ලා යන කියමන සදාකාලික සත්‍යයක්.ජපානයේ ජීවත්වුණු හචිකෝ කියන සුරතලා සිය ස්වාමියා වෙනුවෙන් දක්වපු පක්ෂපාතිත්වය ලෝකයම දන්නා එවන් අපූර්ව කතා පුවතක්.හචිකෝ වෙනුවෙන් ප්‍රතිමා පමණක් නෙවෙයි සිනමාපට පවා මේ වන විට නිර්මාණය වී අවසන්. මෙවර අපි ඔබ වෙතට ගෙන එන්නේ මිනිසෙක් සහ එවන් බලු සුරතලකු ගැන තවත් සංවේදී කතා පුවතක්.

 

සමාජ මාධ්‍යයේ මේ සිදුවීම ගැන වැඩි අවධානයට ලක්වුණේ ඉන් මරණයට පත්වුණු දෙදෙනාම සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් අතරේ ජනප්‍රිය චරිත දෙකක් වීම නිසයි. ඔවුන් දෙදෙනා එකම මොහොතක ජිවිතයට සමු දුන්නේ ඒ හදවත් දෙක ජීවත් කළ සුන්දර ඉලක්කය ජයගැනීමට දවස් දෙකකට පෙර වීමත් බොහෝ දෙනෙකුගේ හදවත් සසල කළ කරුණක්.

29 හැවිරිදි බ්‍රසීල ජාතික ජෙසී කොස් සහ ගෝල්ඩන් රෙට්‍රිවර් වර්ගයේ ශුරස්ටේ බ්‍රසීලයේ සිට ඇමෙරිකාව දක්වා තමන්ගේ සිහින චාරිකාව ආරම්භ කළේ මීට වසර 5 කට පෙරයි. 2017 වසරේදී 1978 වොක්ස්වැගන් බීටල්ස් වර්ගයේ කාරය ඔවුන් සිය නිත්‍ය නිවහන බවට පත්කර ගත්තේ රටවල් 17ක් පුරාවට මෙතෙක් මිනිසෙක් සහ සුරතලෙක් නොගිය ආකාරයේ ආදරණීය ඒ වගේම විශ්මිත චාරිකාවක් වෙනුවෙන්. ඔවුන්ගේ චාරිකාව මුල් අදියරේදී සැලසුම් කළ පරිදි නියමිත කාලයේදී නිම කිරීමට නොහැකි වූයේ කොවිඩ් වසංගතය හේතුවෙන් රටවල් අතර දේශ සීමා වසා දැමුණු බැවිනුයි.

වසර 5ක් පුරාවට කිලෝමීටර් 52000 ක් ගෙවා ගෙන පැමිණි ඒ සිහින ගමන ගැන නිරතුරුවම සමාජ මාධ්‍යවල යාවත්කාලීන කරන්න ජෙසී අමතක කළේ නැහැ. විශේෂයෙන්ම instagram තුළ ඔහු ඒ ගමනේ නොයෙක් මතකයන් පළකර තිබුණා. instagram තුළ ඉතාම ජනප්‍රිය චරිතයක් වුණු ඔහුට වගේම ශුරස්ටේටද විශාල අනුගාමිකයන් පිරිසක් සිටියේ ඔවුන්ගේ මේ වීර චාරිකාව බොහෝ දෙනෙකුගේ හදවත දිනාගෙන තිබුණු නිසයි.

එම ගමන පුරාවට ශුරස්ටේ සිය ස්වාමියාගේ සෙවණැල්ල බවට පත්වුණේ සතුට, දුක මෙන්ම සියලු දුෂ්කරත්ව ද එක්ව දරා ගනිමින්. ඔවුන් මේ ගමන තුළදී නොයෙක් දුෂ්කර තත්ත්වයනට මුහුණ දුන් අතර ඒ සෑම අවස්ථාවකම ශුරස්ටේගේ හදවතේ තිබුණු ආදරය සහ පක්ෂපාතිත්වය කිසි ලෙසකින් හෝ අඩු වී තිබුණේ නැහැ. ශුරශ්ටේ මෙම ගමනට මුළු හදවතින්ම එක්ව සිටියේ ජෙසී සමග මරණයට වුව ද මුහුණදීමට එක පයින්ම සුදානමින් බවට ඔවුන් දෙදෙනාගේ ඡායාරුප සාක්ෂි දරනවා.

ජෙසී විසින් සිය සුරතලාගේ නමින්ම සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කර තිබීමත් විශේෂත්වයක්. එහිදී @shurastey_ යන instagram පරිශීලක නාමය පසුපස සිටි අනුගාමිකයන් ගණන මිලියන 1.5ක්. @jessekoz යන පරිශීලක නාමය සමඟ ද අනුගාමිකයන් 463000 බැඳී සිටිනවා. ඊට අමතරව ඔවුන් දෙදෙනා සුරතල් බලු පැටවුන් සඳහා වන නොයෙක් නිෂ්පාදන ද එම සන්නාමය සහිත වෙබ් අඩවිය තුළින් අලෙවි කිරීමටද කටයුතු කර තිබෙනවා.

ජෙසී සහ ශුරස්ටේගේ විශ්මිත ගමන අවසන් වීමට නියමිතව තිබුණේ පසුගිය මැයි 25 වැනිදා වුවත් ඔවුන්ට එම සතුට විඳ ගැනීමට නොහැකි වුණේ ඊට දින දෙකකට පෙර මරුවා ඔවුන් සිය තුරුලට ගත් බැවිනුයි.පසුගිය මැයි 23 වැනිදා උදෑසන 10.30ට ඔවුන් දෙදෙනා ආදරය පිරුණු සිය ගමන නිමා කළේ ජොසපින් හි සෙල්මා නම් ග්‍රාමයේ 199 වැනි අධිවේගී මාර්ගයේදීයි. පාලනයෙන් ගිලිහුණු ඔවුන්ගේ මෝටර් රථය ගැටී තිබුණේ එලින් හුස් නම් 62 හැවිරිදි කාන්තාව පැදවූ ෆෝර්ඩ් වර්ගයේ මෝටර් රථයේයි. එම අනතුරින් එලින් සහ එම මෝටර් රථයේ ගමන් කළ වයස අවුරුදු දෙකක් වූ දරුවකු ද තුවාල ලබා තිබුණා.

නිරතුරුවම ඡායාරුප තුළින් සිය චාරිකාව ලෝකය සමඟ බෙදා හදා ගත් ඔවුන් දෙදෙනා සිය අවසාන මතකයන් කිහිපය අන්තර්ජාලයට එක්කර තිබුණේ සැන් ෆ්රැන්සිස්කෝහි ගෝල්ඩන් ගේට් පාලම අසලදියි. සිය ජයග්‍රාහී ගමනාන්තයේදී අවසන් ඡායාරුප පෙළ කිසිවකුට අමතක නොවන පරිදි instagram තුළට නිකුත් කිරීම ජෙසිගේ එකම සිහිනය වුවත් එය ඉටු කරගැනීමට ඔවුන් දෙදෙනාට හැකි වුණේ නැහැ.

ජෙසී සහ ශුරස්ටේගේ සදාකාලික ආදරය ඔහුගේ අනුගාමිකයන්ගේ දෑස් මත කඳුළක් ලෙස රඳවමින් ඔවුන් දෙදෙනා අවසන් ගමන් ගොස් තිබුණේ සැමදා ඔවුන් ජීවත්වූ පරිදිම එකිනෙකාට සමීපව හිඳිමිනුයි. ජෙසී විසින් නිරන්තරව ශුරස්ටේ සිය සොයුරා ලෙස හැඳින්වූ පරිදිම, මීළඟ ආත්මයේ ඔවුන් මිනිස් සොයුරන්ව ඉපදෙනු ඇති බව ඔවුන්ගේ අනුගාමිකයන් බොහෝ දෙනෙකු සිය ශෝකය පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබෙන්නේ කඳුළු පිරි දෙනෙතින්.

Comments