
සෝමවීර සේනානායකයන්ගේ සිවුවන ගුණසැමරුමනිමිත්තෙනි
රූපවාහිනී මාධ්‍ය ඔස්සේ දීර්ඝකාලීනව විකාශනය වන “සෝප් ඔපෙරා” නාට්‍ය ප්‍රබන්ධ කලාංගය ලොවට හඳුන්වා දෙනු ලැබූවේ, ඇමරිකානු ජාතික නිර්මාණකරුවන් යුගලයක් විසින්. ඒ වර්ෂ 1945 දී. “Charles Correll” සහ “Freeman Gosden” තමයි, එම නිර්මාණකරුවන්. ඔවුන් මුලින්ම නිර්මාණය කළේ “ Amos ‘N’ Andy” ගුවන් විදුලි නාට්‍යයි.
පසුව එය රූපවාහිනී නාට්‍යයක් බවට ද පරිවර්තනය වූවා. එහෙත් මෙම නාට්‍ය ප්‍රබන්ධ කලාංගයට “සෝප් ඔපෙරා” යන නාමය ලැබී ඇත්තේ, එවක මෙම කලාංගයට සබන් නිෂ්පාදකයන්ගේ අනුග්‍රය ලැබීමත් සමගින් වීමත් විශේෂයක්.
“සෝප් ඔපෙරා” බොහෝ විට නිර්මාණය වූයේ කිසියම් පවුලක් වටා ගෙතුනු කතා සමූහයකින්. නරඹන්නන්ට දැනෙන, හැඟෙන පරිදි පවුලක් වටා සිදුවන විවිධ සිදුවීම් හා ඔවුනට අත්වන ඉරණම් ආදිය තමයි “සෝප් ඔපෙරා” නාට්‍ය ප්‍රබන්ධවල බහුලව අන්තර්ගත වී තිබුණේ. ඇමරිකාවෙන් ඇරඹී පසුව බටහිර රටවල්වල ද රූපවාහිනී නරඹන්න්ගේ ආකර්ෂණය දිනා ගනු ලැබූ, මෙම ප්‍රබන්ධ කලාංගය නිර්මණාත්මක තිර පිටපත්කරණයෙන් මෙරටට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ, සෝමවීර සේනානයකයන්.
ඒ වන විටත් ලේඛකයකු මෙන්ම පුවත්පත් මාධ්‍යවේදියකු වූ සෝමවීර සේනානායකයන් රූපවාහිනී මාධ්‍ය සහ සිනමා මාධ්‍ය තිරපිටපත් රචකයකු ලෙසත් ප්‍රකට වී සිටියා. සේනානායකයන් “සෝප් ඔපෙරා” කුලකයට අයත් වන දීර්ඝ වෘතාන්ත නාට්‍ය ප්‍රබන්ධයක් ලෙසයි “දූ දරුවෝ”ටෙලි නාට්‍ය තිර පිටපතත නිර්මාණය කර කළේ. ඒ වර්ෂ 1990 දී. ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ නාලන් මෙන්ඩිස් තමයි “දූ දරුවෝ” ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ.
එවක “දූ දරුවෝ” ටෙලිනාට්‍ය නැරඹූ බොහෝ ප්‍රේක්ෂකයන්ට මහත් තෘප්තියක් ගෙන දුන් නිර්මාණයක් වී තිබුණා. ඒවාගේම බොහෝ ප්‍රේක්ෂකයන්, එවක රූපවාහිනය වටා එක්රොක් කර ගැනීමටත් මෙම ටෙලිනාට්‍ය බොහෝ සේ ඉවහල් වී තිබූ බවයි මෙරට රූපවාහිනී මාධ්‍ය ඉතිහාසයේ වාර්තා වන්නේ.
ඒවාගේම සේනානායකයන්ගේ තිර පිටපතකට අනුව නිර්මාණය වූ මෙම ටෙලිනාට්‍ය, එතෙක් පැවති ටෙලිනාට්‍ය කලාංගය නව මඟකට යොමු වූවා යැයි සඳහන් කළහොත්, එය නිවැරදී.
එවක සේනානායකයන්ගේ තිර පිටපතින් හැඩ වූ “දූ දරුවෝ” හි අන්තර්ගත කතන්දරයටත්, ගොඩනගා තිබූ එහි චරිතවලටත්, අදත් බොහෝ රූපවාහිනී ලෝලීන් ළෙන්ගතුයි. සුදු සීයා, සුදු ආච්චි, දීප්ති, සම්පත්, නිහාල්, ඩයස්, පුන්සිරි, නන්දනී වැනි එහි බොහෝ චරිත සාමාන්‍ය සමාජයේ වෙසෙන මිනිසිසුන්ට සමීප වීමයි ඊට හේතුව. ඒවාගේම “කන්දෙ ගෙදර” ටෙලිනාට්‍යයේ බාලමහත්තයා, “අසල් වැසියෝ” ටෙලිනාට්‍යයේ පෝල් මහත්තයා, “යශෝරාවය” ටෙලිනාට්‍යයේ වීරසේකර, සුදු හාමිනේ, බලදේව, සුවිමාලි, සුරනිමල වැනි චරිත සෑබෑ ලෝකයේ ජීවත් වූ චරිත ලෙසයි එතුමන් වැඩි දුරටත් හඳුන්වා දී තිබුණේ.
සෝමවීර සේනානායකයන් විසින් ලියා පළ කළ පුවත්පත් ලිපි, කෙටිකතා, නවකතා, රූපවාහිනී සහ සිනමා තිර නාටක අපමණයි. එම නිර්මාණවල විශේෂ ලක්ෂණයක්ව පැවතියේ, එතුමන් විසින් සම්පාදනය කළ බොහෝ නිර්මාණ මගින් සමාජයට යම් හරවත් ඵලදායී පණිවිඩයක් ලබා දීමට ප්‍රයත්න දරා තිබීමයි. ගම සහ ගැමිකමත්, නගරය සහ නාගරිකකමත් යන එකිනෙකට වෙනස් පරිසරයන් පිළිබඳව එතුමන් සතුව පැවතියේ මහා අවබෝධයක්. එම අවබෝධය එතුමන්ට සමාජයට දැනෙන හැඟෙන නිර්මාණ බිහිකිරීමට බොහෝ සේ ප්‍රයෝජනවත් වූ බවයි වාර්තා වන්නේ.
සෝමවීර සේනානායකයන් මුලින්ම නිර්මාණකරණයට ප්‍රවේශ වී ඇත්තේ, සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට සම්බන්ධ වීමෙන්. ඒ වර්ෂ 1966 දී එම ආයතනයේ නව යුගය සඟරාවට ලිපි සම්පාදනය කරමින්. පසුව සිළුමිණ පුවත්පතටත්, ලිපි සම්පාදනය කිරීමට යොමු වී තිබෙනවා. බන්දුල හරස්චන්ද්‍ර මහතාගේ සිතුවම්කරණයෙන් වර්ණවත් වූ “පෙතිගෝමර” එතුමන්ගේ මුල්ම චිත්‍ර කතා නිර්මාණයයි. එම නිර්මාණය පළ වන විටත්, එතුමන් සිළුමිණ පුවත්පතේ උප කර්තෘවරයෙක්.
සේනානායකයන්ගේ තිර රචනයෙන් නිර්මිත මුල්ම ටෙලිනාට්‍ය වූයේ, “වෙසක් පහනයි”.එය වර්ෂ 1983 දී රූපවාහිනියෙන් විකාශය වූ ඒකාංගික ටෙලිනාට්‍යයක්.
ඒවාගේම වර්ෂ 1984 දී ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම පැවතුණු අදටත් ප්‍රේක්ෂක ආකර්ෂණය එලෙසින්ම පවතින “පළිගුමැණිකේ” ටෙලිනාට්‍යට තිර රචනය ලියා තිබුණේත් සේනානායකයන් විසින්. සෝමවීර සේනානායකයන් විසින් ලියා පළ කළ සම්මානනීය නවකතා බොහොමයක්ම එවක එතුමාගේම නිර්මාණ හැකියාවෙන් තිර රචනා බවට පරිවර්තනය වීමත් විශේෂයක්. එතුමන්ගේ තිර රචනා ඇසුරෙන් නිර්මිත ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයන් අතුරින් පළිගු මැණිකේ,යශෝරාවය,කන්දෙ ගෙදර,අසල්වැසියෝ,ගිරය, දූ දරුවෝ මෙන්ම නෑදෑයෝ ටෙලි නාට්‍ය වලට හිමි වූයේ ප්‍රමුඛ ස්ථානයක්. ඒවාගේම එතුමන් රිදී තිරයත් ස්වකීය හැකියාවෙන් තිර රචනා සැපයූ දක්ෂ
නිර්මාණකරුවෙක්. ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිසුන් විසින් අධ්‍යක්ෂණය කළ “වෑකන්ද වලව්ව” චිත්‍රපටයට මෙහිදී විශේෂයෙන් සඳහන් කළ හැකියි.
ආනන්දයෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් කෙළෙවර වන තැනට ග්‍රාහාකයාව රැගෙන යාමට තරම් නිර්මාණ චින්තනයක් සෝමවීර සේනානායකයන් සතුව පැවතුණි. ඒවාගේම මෑත ඉතිහාසයේ පාඨකයින්ගේ මනදොළ සුපුෂ්පිත කළ නවකතාකරුවන් අතළොස්ස අතරට එතුමන්ගේ නාමය ද ඇතුළත් වනු ඇත. අදරයට බය මිනිස්සු, අඹු සැමියෝ, මවකගේ ගීතය යශෝරාවය යන නවකතා පාඨක අවධානය පමණක් නොව, බොහෝ විචාරකයින් ගේ පැසසුම් ලැබීමට තරම් ගුණාත්මක බවින් යුක්ත විය. මේ අනුව සෝමවීර සේනානායකයන් රූපවාහිනී මාධ්‍ය, සිනමා මාධ්‍ය, පුවත්පත් මාධ්‍ය තුළ පමණක් නොව, සිංහල සාහිත්‍ය තුළ ද අමරණීය නිර්මාණකරුවකු වනු ඇත.