මම ගැළපෙන දේවල්වලට වැඩිය නොගැළපෙන දේවල්වලට කැමතියි | Page 2 | සිළුමිණ

මම ගැළපෙන දේවල්වලට වැඩිය නොගැළපෙන දේවල්වලට කැමතියි

සසිකලා කඳබඩ ආරච්චි පාසල් අධ්‍යාපනය නිමාවීමෙන් පසු පෞද්ගලික ගුවන්විදුලි නාළිකාවකට සම්බන්ධ වී පුහුණු නිවේදිකාවක ලෙසින් ජනමාධ්‍ය ලෝකයට පියමැන්නාය. ඔබට ඉතාම ළෙන්ගතු හඬක් ඇති ඇය දැන් ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවකි.

 

සසිකලා වෙනස් කෙනෙක් ද ?

එක එක්කෙනා එක එක විදියට නිර්වචන කරනවා. මම ගැන මම නිර්වචනය කරනවා නම්, දෙපාරක් නොසිතා පළමුවෙනි සැරේම ඕන කෙනෙකුට උදව් කරන්න කැමැති කෙනෙක්. හැමෝමත් එක්ක තියෙන දේ සතුටින් බෙදාගෙන ජීවත් වෙන්නත් කැමැතියි. ඒ වෙනස් කෙනෙක් කියලා පේනවත් ඇති.

 

හීන නැති ලෝකයක් ගැන ද ඔබ ඔය කියන්නේ?

නෑ මට හීන තියනවා. ඒ ලෝකය තුළ මම ජීවත් වෙනවා. හැබැයි මම ගැළපෙන දේවල්වලට වැඩිය නොගැළපෙන දේවල්වලට වැඩිය කැමතියි. මම පොළොවෙ පය ගහලයි ඇවිදින්නේ. ඒ හින්දා ප්‍රශ්න අඩුයි. මගේ ලෝකෙ මට හීනයක් තිබුණු හින්දා තමයි අද මම මෙතැනට ආවෙත්. මට ලැබෙන දේවල් ගැන මම සතුටු වෙනවා. නොලැබෙන දේවල් ගැන මම දුක් වෙන්නේ නෑ. එහෙම දුක් වුණොත් අපේ ගමන යන්නත් බැරි වෙනවා.

 

ඔබට තිබුණු හීනය ගොඩනැඟුවේ කවුද?

ඒක දිග කතාවක්. ඒ වුණාට මම කෙටියෙන් කියන්නම්. පාසල් යන කාලේ මම නිවේදන කටයුතුවලට හරිම ආසයි. ඒත්, පාසලේ අනෙක් බාහිර වැඩ කටයුතු කරද්දී මට නිවේදන කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණේ ඉතා කලාතුරකින්. ඊට පස්සේ මම පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකට සම්බන්ධ වුණා. එතැනින් මට රූපවාහිනි මහ ගෙදරට එන්න ලැබුණා. මෙතැනදී මට කැමරාවක් ඉදිරියේ හැසිරෙනවා විතරක් නෙවෙයි, මාධ්‍ය ලෝකයේ බොහෝ දේවල් ඉගෙන ගන්නත් ලැබුණා. සසිකලා කෙනෙක් නිර්මාණය කළා නම්, ඒ නම ජනප්‍රිය වුණේ රූපවාහිනිය නිසයි. මම අද ඉන්නේ ඒ නිසයි. මම ප්‍රවෘත්ති නිවේදන කටයුතු විතරක් නෙවෙයි නිෂ්පාදන කටයුතුත් සිදු කළා. ඒ නිසා මට ඉගැන්වූ සියලු දෙනාටම ස්තුති කරන්නත් කැමතියි. නාළිකා කිහිපයක මම වැඩ කළා. දැනට පෞද්ගලික නාළිකාවක නිවේදිකාවක් විදියට කටයුතු කරනවා.

 

මාධ්‍ය ලෝකයේ පූර්ණකාලීනව රැඳී සිටින්නට කැමැතිද?

මම පූර්ණකාලීනව රැඳී සිටින්නට කැමැති නැහැ. ඒ නිසයි මෙහෙම මාධ්‍ය ලෝකයේ රැඳී සිටින්නේ. අපිට ස්වාධීනව තීරණ අරන් වැඩ කටයුතු කරන්න පුළුවන් නම්, මම ගොඩක් කැමැති මගේම කියලා දෙයක් කරන්නයි. මාතර සහ ගාල්ලේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා. පවුලේ සියලු දෙනාම එකතු වෙලා ඒ ව්‍යාපාරය දියුණු කරගැනීම තමයි දැන් ඒකායන බලාපොරොත්තුව.

 

ව්‍යාපාර පැත්තට නැඹුරුව සිටිද්දී අහස, පොළොව අල්ලන්න දගලනවා වගේ මාධ්‍ය ලෝකය තෝරා ගත්තේ ඇයි?

මම හැමවෙලේම හැම දේකම සම්බන්ධතාවයක් හොයන්න දඟලන්නේ නැහැ. කෙනකුට ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ දැනුම තිබෙන්න පුළුවන්. එකම ක්ෂේත්‍රයේ නියැළිලා කටයුතු කරනවාට වඩා විවිධ ක්ෂේත්‍රවල වැඩ කටයුතු කරන එක ගැන හොඳ අධ්‍යයනයක් හා අවබෝධයක් එනවා.

ඒ දේ විවිධයි ඒකට මම කැමැතියි. මම සංචාරක කර්මාන්තයට සහ ජනමාධ්‍ය යන දෙකටම එකලෙසින්ම කැමතියි. මේ ක්ෂේත්‍ර දෙකෙන්ම දවසින් දවස ලැබෙන්නේ අලුත් අත්දැකීම් ඒක වෙනසක්.

 

වර්තමාන සන්නිවේදන කලාව ගැන ඔබේ අදහස කුමක්ද?

වර්තමාන තරුණ පරම්පරාව සන්නිවේදන කලාවට යොමු වීම වැඩියි. මේ එන සියලු දෙනාම වැඩි වශයෙන් ඉන්නෙ විද්‍යා හෝ ගණිතය අංශයෙන්. එහෙමත් නැත්නම්, වාණිජ විෂය ධාරාවෙන්. කලා අංශයෙන් උසස් පෙළ හදාරලා එන සංඛ්‍යාව අඩුයි. මම පාසල්වලට නිවේදන කටයුතු විනිශ්චය කරන්න ගියාම ගොඩක් මුණගැසිලා තියෙන්නේ ගණිතය, විද්‍යාව, වාණිජ, අංශවල ඉන්න සිසුන්. ඔවුන් සියලු දෙනාම එන්නේ ජනප්‍රියත්වය බලාගෙන නිවේදකයකු හෝ නිවේදිකාවක් වෙන්නයි. මේ ක්ෂේත්‍රයේ මම දකින විදියට රැදෙන්න ඕන නම්, පැවැත්ම තියෙන්නේ අන් අධ්‍යාපන කටයුතුත් සමග ජන සන්නිවේදන කලාව ඉගෙන ගෙන ආවෝත් විතරයි. ජනප්‍රියත්වය බලාගෙන නිවේදකයකු හෝ නිවේදිකාවක් වෙන්න එනවා නම්, වැඩක් නෑ. ජනප්‍රියත්වය රඳා පවතින්නේ කෙටි කාලයයි. රටට යහපත් මාධ්‍යවේදියෙක් වෙන්න ඕනෑ කියලා සිතාගෙන ආවොත් රැඳී ඉන්න පුළුවන්.

 

නිවේදිකාවක් තරුවක් වේවිද?

ප්‍රවෘත්ති නිවේදිකාවක් කවදාවත් තරුවක් වෙන්නේ නෑ. එයා වෙනම බ්‍රෑන්ඩ් එකක්. මිනිස්සු ඔහු හෝ ඇය දිහා බලන්නේ නළුවෙක් නිළියක් හෝ මොඩ්ලර් කෙනෙක් දිහා බලන විදිහට නෙවෙයි. නිවේදිකාවක් කියන්නේ වෙනම අනන්‍යතාවක් තියාගෙන ඉන්න කෙනෙක්. ඕනම කෙනෙකුට නිවේදකයකු හෝ නිවේදිකාවක් වෙන්න පුළුවන්. ඒත් ප්‍රවෘත්ති පූරකයකු හා පූර්විකාවක් වෙන්න අමාරුයි.

 

ඔබ දකින ආකාරයට ක්ෂේත්‍රයට එන අය තමන්ගේ රඳා පැවත්ම උදෙසා යන ගමන කුමනාකාරද?

පියවරෙන් පියවරට එන්න ඕනෑ. මම හිතනවා කට්ටක් කාලා ඒකෙ බර දරාගෙන ආවොත් තමයි මේ ක්ෂේත්‍රයේ රඳා පැවැත්මට තියන එකම සුදුසුකම. එහෙම ආපු නැති සියලු දෙනාම බැලුම් බෝල වගේ පිපිරිලා යනවා.

 

ජීවිතයට ගැන ලැබෙන, නොලැබෙන දේවල් ගැන හිතෙන්නේ මොනවාද ?

ජීවිතයට ආදරෙයි. ලැබෙන අත්දැකීම් විවිධාකාරයි. ඒවා දරාගන්න මුහුණ දෙන්න, ලැබෙන දේ ගැන සතුටු වෙන්නත් නොලැබෙන දේ ගැන උපේක්ෂාවෙන් ඉන්නත් පුරුදු වෙන්න ඕනෑ. නොලැබෙන දේ ගැන දුක් වෙලා වැඩක් නෑ. මම කිසිදාක නොලැබීමට දුක් වෙන්නේ නෑ. එතකොට මම හිතන්නේ ඒ දේ වෙන්නේ හොඳට කියලයි. තමන් බලාපොරොත්තු වන දේ ලැබුණේ නැතිනම් හොඳම දේ එතැනින් නවතින එකයි.

Comments