යූටියුබ් කලාවේ කලාව හොයන යූටියුබ් සෝමේ | Page 2 | සිළුමිණ

යූටියුබ් කලාවේ කලාව හොයන යූටියුබ් සෝමේ

තමන්ගෙ රසට ඉඩක් හදාගන්න කවුරුත් අභියෝගයක් නොවෙයි

මගෙන් ඈත තියෙන දේවල් මගේ ළඟට ගන්න එක තමයි ඉලක්කය

 

අද වෙද්දී යූටියුබ් නාළිකා බොහොමයක් අපිට දකින්නට ලැබෙනවා. ඒ අතරේ අද දවසේ අපි ඔබට සමීප කරන්නට හිතුවා "සෝමේ යූටියුබ්" නාළිකාව ගැන. ඔබ මේ නාළිකාවේ වීඩියෝපට නරඹන කෙනෙක් වෙන්නට පුළුවන් නමුත් "සෝමේ යූටියුබ්" නාළිකාව කරන්නේ කවුද? කොහොමද මේ යූටියුබ් නාළිකා අතරට "සෝමේ යූටියුබ්" නාළිකාව එකතු වෙන්නේ වගේ කාරණා ගැන දන්නේ නැහැනේ. ඒ නිසා මේ සොයා යෑම යූටියුබ් නාළිකාවක ඔබ දකින දේට එහා ගිය ඔවුන්ගේ අරමුණු ඉලක්ක ගැන

 

සෝමේ යූටියුබ් එක කරන ඔයා ගැන විස්තර ටිකක් කිව්වොත්

මගෙ නම සංඛ දමින්ද නිසිඳු බණ්ඩාර. මම ඉන්නෙ මහනුවර. තලාතුඔය කනිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා මහ/ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට ගියා. 2018 අවුරුද්දෙ සිල්වෙස්ටර් විද්‍යාලයෙර් හොඳම ශිෂ්‍යයාට හිමි "සිංගෝලානි රන් පදක්කම" හම්බුණේ මට. මේ වෙද්දි කැලණිය විශ්වවිද්‍යාලෙ විද්‍යාර්ථියෙක් විදියට කටයුතු කරනවා.

 

යූටියුබ් එකක් පටන් ගන්න හිතුවේ ඇයි

කුසලතාවයන් කියන ඒවා සාපේක්ෂයි. තමන්ට තමන්ගෙ කුසලතාව පිළිබඳ මිම්මක් තියෙනවා. ඉතිං මම කැලණිය කැම්පස් ගියාම දැක්ක දෙයක් දෙයක් තමා, මට වැඩිය කුසලතාවන්ගෙන් ඉහළ උදවිය ගැන මිනිස්සු දන්නෙ නෑ. එතකොට ඒ අය දිහා බලලා "අපරාදෙ " කියලා හිතනවා. තවත් සමහර අය මට වඩා කුසලතාවන් තියෙන අය නෙවෙයි කියලා හිතුණත් ඒ අයට අවස්ථාවන් වැඩියි; හරි ජනප්‍රියයි. ඉතින් ඒ ගැන හූල්ලන එක තේරුමක් නෑ; දෙයක් නොකර.

මම මං ගැන විශ්වාස කරලා මට අවස්ථාවක් හදාගන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් තමා "සෝමේ" කියන්නෙ.

 

සොමේ නම යෙදීම ගැන කිව්වොත්

"සෝමසිරි" කියලා නමේ කෑල්ලක් අපෙ අප්පච්චිගෙ නමේ තියෙනවා. ඉතින් යාළුවො සෝමේ..සෝමේ කියලා කතා කරන්න ගත්තා. පොඩි කාලෙ මම අකමැති වුණත් දැන් එහෙම කතා කරනවා ඇහෙන එක හරි ළෙන්ගතුයි.

 

සෝමේ කියන්නෙ තනි පුද්ගලයෙක්ගෙ වැඩක්ද?

යූටියුබ් චැනල් එක මගෙයි යාළුවෙක්ගෙයි කැපවීමේ ප්‍රතිඵලයක්. යාළුවා පණ්ඩුක බණ්ඩාර. සිල්වෙස්ටර් එකේම කොල්ලෙක් තමා. දැන් පේරාදෙණිය කැම්පස් එකෙ ඉංජිනේරු පීඨයේ උසස් අධ්‍යාපනය හදාරනවා. චැනල් එකේ සංස්කාරක පණ්ඩුක. අදටත් මමයි පණ්ඩුයි එක ළඟ ඉඳලා වීඩියෝවක් සංස්කරණය කරලා නෑ. මම වීඩියො කෑලි ටික ෂූට් කරලා පණ්ඩුට යවනවා; පිටපතත් එක්කම. පිටපතට වඩා හොඳ අවසානයක් පණ්ඩු අන්තිමට ලබා දෙනවා.

ඇත්තටම මම කම්මැළි වෙන තැන මාව අල්ලන් ඉන්නෙ පණ්ඩු. එහෙම යාළුවෙක් හැමෝටම හම්බෙන්නෙ නෑ. ඒ අතින් මම හරි වාසනාවන්තයි.

 

සෝමේ යූටියුබ් එක පටන් ගන්න කලින් වැඩියෙන්ම කැමති යූටියුබ් නාළිකාව මොකක් ද?

කැමතිම එකක් කියන්න මම දන්නෙ නෑ. මට එහෙම මතක නෑ. ඒත් හැමදේ ගැනම විනිශ්චයක්, අගය කිරීමක් තියෙනවා.

 

සෝමේ යූටියුබ් නාළිකාවේ අන්තර්ගතය කොහොමද?

එකක් සමාජයේ උපහාසාත්මක දේවල් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම. අනෙක සමාජය සංවේදී වෙන්න ඕන තැන්වලට නිර්මාණාත්මක ප්‍රවේශයකින් කතාකරන එක.

 

වැඩියෙන්ම වයිරල් වුණු වීඩියෝ එක මොකක් ද?

"මැණිකේ මම නිලමේ මම වැල්ලට ආවා..චුටි දෝණි අප්පච්චි වැල්ලට ආවා. එන්ට කන්ට බොන්ට ෂෝයි තැන" අපෙ මිනිස්සු ආසයි බෙදිලා මරාගන්න.

සුද්දා ගල විද්ද තැනින් උඩ උදවියයි, බෙන්තර ගගෙන් එහා උදවියයි අතරෙ ඒ බෙදීමක් තියෙනවා. ඒ බෙදීම නම් ලස්සනයි. කතා කරන වචනවල ඒක දකින්න පුළුවන්. ඔයැයිලා කෑවෙයි බීවෙයි කියන මගෙ බෝඩිමෙ යාළුවයි, කන්ට බොන්ට කියන මගෙයි වෙනස තමා උපහාසාත්මකව ඒ වීඩියෝවෙන් මම ඉදිරිපත් කළේ. තවමත් ගොඩක් අයගෙ මුවඟ රැඳෙන වචන ටිකක් ඒක. ඒ සතුට සදාකාලිකයි.

 

මේ වෙද්දි සබ්ස්ක්‍රයිබර්ස්ලා කීයක් ඉන්නවද?

මේ කතාකරන මොහොතේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 76000 ඉන්නවා. ඉක්මනට ලක්ෂෙට කොඩිය දාන්න තමා බලාපොරොත්තුව.

 

ඔබේ ආදායම් මාර්ගයේ එක කොටසක් ද සෝමේ යූටියුබ් එක

ලොකු ආදායකමක් නැතිවුණාට අපිට යම්කිසි මුදලක් එකතු වෙනවා. ඒත් තාම රුපියලක්වත් වියදම් කළේ නෑ අපි. කැමරාවක් ගන්නයි සල්ලි එකතු කරන්නේ. මොකද තාම ෆෝන් එකෙන් වීඩියො කරන්නෙ. හැබැයි දැන් රටේ තියෙන වාතාවරණය එක්ක නම් ටිකක් නෙවෙයි හොඳටම මහන්සි වෙන්න වෙයි.

 

සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කර ගන්න මොනවාද කරන්නෙ

ඒම විශේෂ උපක්‍රමයක් නෑ. ඒත් ඔබට ළං වෙන්න පුළුවන් හැම සමාජ මාධ්‍යක්ම භාවිත කරන්න උත්සහ කරනවා.

 

කවුද මේ වැඩේට සහයෝගයට ඉන්නෙ

මටත් පණ්ඩුටත් ගෙදර අයගෙ සහයෝගය උපරිමයි. මම කලාව ඇතුළෙ මගෙ හිතට අවංක දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ නිදහස ගෙදරින් හම්බෙනවා. ස්තූතියි. ඒ වගේම මට කැමරාමන් කෙනෙක් නිශ්චිතව නෑ. ඉතිං මගෙ ඉස්සරහා මාව වීඩියො කරපු හැමෝටම ස්තූතියි. ඒ වගේම මට ආදරය කරන හැමෝටමත් පෙරළා මමත් ආදරෙයි.

 

දැන් වෙද්දි යූටියුබ් එකක් නැති කෙනෙක් නැති තරම්, මේ තත්ත්වය අභියෝගයක් ද?

රූපවාහිනී නාළිකාවල බලහත්කාර රසිකත්වයට කොටුවුණ අපි, එතනින් එළියට ඇවිත් අපිම නිෂ්පාදකයො වෙලා තමන්ගෙ රසට ඉඩක් හදාගන්න උත්සාහ කරන කවුරුත් අභියෝගයක් නෙවෙයි. අපිට යම් කිසි නිර්මාණයක් බය නැතුව අපෙ නිර්මාණයක් කියන්න පුළුවන් දවස වෙනකන් කවුරුත් අභියෝගයක් නෙවෙයි. දැන් යූ ටියුබ් එක කැමති ලෙසකට වර්ග රැසක් තියෙන රස ගුලක්.

 

ඔබේ ඉලක්කය මොකක් ද?

යූටියුබ් එකට ආවේ අවස්ථාවක් වෙනුවෙන්; වටිනාකමක් වෙනුවෙන්; අනන්‍යතාවක් හදාගැනීම වෙනුවෙන්. ඉතින් මගෙන් ඈත තියෙන දේවල් මගේ ළඟට ගන්න එක තමයි ඉලක්කය.

 

Comments