මවුපදවි උරුම වූ දරුවෝ | Page 2 | සිළුමිණ

මවුපදවි උරුම වූ දරුවෝ

මනුෂ්‍ය සමාජයක ශිෂ්ටත්වය රූපණය කරන මූලික දර්ශකයක් තිබේ. ඒ, එම සමාජය කාන්තාවන් හා දරුවන් කෙරෙහි දක්වන ගෞරවනීය රැකවරණයේ ප්‍රමාණය ය. දිනපතා ළමා ගැබ් ගැනීම් දහයකට ආසන්න සිද්ධි වාර්තා වන රටක, එවැනි ගැබ් ගැනීම්වලින් අඩුම තරමින් දෙකක් ස්වකීය පියා විසින් දූෂණය කළ සහජාත දියණිවරු වූ බව කියන රටක සමාජ සමීකරණය විසඳී ඇති ආකාරය ගැන අමුතු කතා අවශ්‍ය නැත.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත අනුව පසුගිය වසරේ කොවිඩ් අතර තුර රටේ සිදුවූ දරු උපත්වලින් බාල වයස්කාර මවුවරුන් ගේ ප්‍රතිශතය තවම අවසන් නැති වූවත් වසර 2020 සංඛ්‍යා දත්ත හා සමාන බව ඔවුන්ගේ අනුමානයයි. 2020 දී රටේ ජනගහනය 22,034,594කි. දහසකට සිදුවූ උපත් අනුපාතය 15.1කි. ඒ උපත්වලින් සියයට 4.1ක් ළමා මවුවරුය. තේරෙන ඉලක්කමින් කිවහොත් කටේ කිරි සුඳවඳ නොගිය දරුපැටවු ඇතුළු දරුවන් 13642ක් පමණ මවුවරුන් වී ඇත.

මේ ඛේදවාචකයේ යථාර්ථය ප්‍රායෝගිකව අත්විඳින වෘත්තීයේ ගෞරවනීය චරිතයක් ලෙස 2010 වර්ෂයේ ආසියා ශාන්තිකර කලාපයේ හොඳ ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙසත්, 2011 වර්ෂයේ, ලොව හොඳ ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙසත් සම්මානයට පාත්‍ර ලලිතා පද්මිණී සිය කතාවට මෙසේ මුලපිරුවාය.

“ මේ තත්ත්වයේ බිහිසුණුකම සංවේදී මතකයක් මම කියන්නම්. මේ තත්ත්වය කියන්නෙම අපට දරුවො දෙන්නෙක් බලාගන්න වෙන අවස්ථාවක්. මොකද අම්මත් දරුවෙක්.“

අනූව දශකයේ මැද භාග යේ දවසක මා සේවය කළේ දිඹුලාගල මුහුකුරා නොගිය පෙනුමක් සහිත ගැබිනි මවක් මා යටතේ ලියාපදිංචි වුණා. ඇයට වයස 16ක් බවත් පියා වයස 18ක් බවත් කිව්වා. මොවුන් යමක් සඟවන බව තේරිලා ඔවුන් ගැව සොය බැලූ විට අම්මට වයස අවුරුදු 13යි. පියාට 16 යි. පස්සෙ මම ඒ ළමා අම්මා ගැන වැඩිපුර සෙවිල්ලෙන් හිටියෙ. දවසක් මම ඒ ගෙදරට ගොඩ වෙන කොට ආච්චි අලුත උපන් දරුවා බලනවා. කෝ අම්මා කියලා ඇහුවාම.. ආච්චි කියනවා "අනේ නෝනෙ. පොඩි එකෙක් බඩට ආවට එකී තව පොඩි එකියක් නොවැ. ඔන්න ඔය පොඩි උන් එක්ක සෙල්ලම් කරන්න ගියා..". මම ඇයව සොයා යනකොට මේ පොඩි ළමයා එයාගෙ වයසෙ දරුවොත් එක්ක අඹ ඇට පනිනවා."

ඇය කී කතාව යටිපෙළ කියන්නේ මහා ඛේදවාචකයකි. අධ්‍යාපනයකින් දැනුම්වත් කිරීමකින් තොරව සමාජය ඉදිරියේ අනාරක්ෂිත කළ දරුවන්ගේ ජීවිත කෙළවර විය හැකි බිහිසුණුම ආක­ාරයක් ඇය කියන්නීය.

කසාද නොබැඳ පවුල් ජීවිත ගතකරන මෙවැනි දරුවන් බොහෝවිට සමාජ දරිද්‍රතාවයේ ප්‍රකාශනයකි. ඇය පෙන්වා දෙන්නේ මෙවැනි ගැබ්ගත් දරුවන් වාර්තාවන සමාජ පරිසරවල නූගත්කම දරිද්‍රතාව තරමට ඉහළ බවය.

“එයාලා පොඩි ළමයි. දරුවෙක් බඩට ආවාට අම්මා යන හැඟීම ඒ දරුවන්ට ඇති වෙන්නේ නෑ. වැඩිවියට පත් වීමත් එක්ක සිදුවන කායික මානසික වෙනස්වීම්වල ප්‍රතිඵලයක් ලෙස සොයා යන තාවකාලික සතුටක අතුරු ප්‍රතිඵලයක් ලෙසයි මේ ගැබ් ගැනීම් සිදුවෙන්නෙ. “ඇය තවත් අත්දැකීමක් බෙදා ගත්තාය.

“ඒ දරුවට අවුරුදු 16යි. අම්ම තාත්තා ගොලුයි. කන් ඇහෙන්නෙ නෑ. අර දැරිය ගැබ් ගත්තා. ෆෝන් එකෙන් දරුවෙක් ඩිලිවරි කරන විදිහ ගැන හොඳට අධ්‍යයනය කරලා බබා ඩිලිවර් කළේ ගෙදරදී. විලිරුදාව දරාගෙන කිසිම සද්දයක් පිට නොකර ඒ දරුවා කිරිකැටියව බිහි කරලා පෙකණිවැල කපලා තිබුණෙ බ්ලේඩ් එකෙන්. ඇයට වැදෑමහ ඉවත් කරගන්න තේරෙන්නෙ නැතුවයි අම්මයි බබයි දෙන්නම හොස්පිටල් ඇඩ්මිට් කළේ. දැන් අම්මයි බබයි හොඳට ඉන්නවා. ඇය ප්‍රේම කරලා තියෙන්නෙ කසාද බැඳපු තරුණයකුට. සිද්ධියෙන් පස්සෙ ඒ තරුණයා සොයාගෙන යද්දි ඔහුගෙ බිරිය දෙවැනි දරු ප්‍රසූතියට සූදානම් වෙනවා. “ඔයා කොහොම ද බය නැතිව ඩිලිවරි එක කළේ” කියලා මම ඇයගෙන් ඇහුවා.

“මගෙ බාල නංගිගේ ප්‍රසූත සායනයට අම්මත් එක්ක මම ආවාහම මිස්ගේ දේශන අහගෙන ඒ දේවල් මම හොඳට හිතේ තියන් හිටියා...“ පොඩි එකී අඬමින් කිව්වා.

“උප්පැන්නෙට දුන්නේ දරුවගෙ සීයාගෙ නම. ඒ වගේ උපදින දරුවො සමාජගත වන්නෙම අසුබවාදී දේවල් එක්ක. යහපත් දරුවො විදිහට ඔවුන් සමජගත වීමේ සම්භාවිතාව අඩුයි. පිය සෙනෙහස අහිමි වීමත් වෛරී විදිහට හැසිරෙනවා.“ ඇය කියන්නීය.

ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ ළමා මවුවරු වාර්තා වීම සම්බන්ධව කටයුතු කළ හැකි මූලිකම වගකීම් පිළිබඳ සංවාදයට එක්වූයේය.

“ලංකාවේ හා ජාත්‍යන්තර නීතියට අනුව අවුරුදු 18 අඩු කෙනා ගැහැනු දරුවන් ගැබ් ගැනීම පැති කීපයකින් විමසිය යුතුයි. එය සමාජ, ආර්ථික මෙන්ම දරුවාගේ මනෝකායික අර්බුදයන්ට තුඩු දෙන බරපතළ සමාජ ප්‍රශ්නයක්. මේ දරුවො බොහෝ වෙලාවට ගැබ් ගන්නේ ස්ත්‍රී දූෂණ හේතුවෙන්.

දණ්ඩනීති සංග්‍රහයේ ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය ලෙස හඳුන්වන වරදට අනුව අවුරුදු 16ට අඩු දරුවකුගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික එක්වීමක් වෙනවා නම් එය ස්ත්‍රී දූෂණයක් ලෙසයි සැලකෙන්නෙ.

ඒ වගේම අවුරුදු 16 -18 අතර වයසේ දරුවන් අතර කැමැත්තනේ ඇති වන කායික සම්බන්ධතා ස්ත්‍රී දූණෂ නොවුණත් අවුරුදු 18 වෙනකම් විවාහ වෙන්න බෑ.

අවුරුදු 13 වනවිට සමාජ රැල්ලකට යමින් දරුවො සම වයස් කණ්ඩායම් සමඟ ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නවා. එහිදි ලිංගික අධ්‍යාපනය සම්බන්ධව ප්‍රමාණවත් දැනුමක් නැතිව කෙරෙන ලිංගික එක්වීම් නිසා බොහෝ විට ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක වරදකරුවා වන්නේත් දරුවෙක්.“

අනෙක් කාරණාව බාලවයස් හෝ නව යෞවනයේ දී කායික වර්ධනය සිදුවුණාට අත්දැකීම අඩු මේ දරුවො පහසු ගොදුරු. පොලඹවා ගැනීමට පහසු නිසාම දරුවන් වැඩිපුරම දූෂණය වන්නේ ඔවුන්ගේ සමීපතම ඥාතීන්, භාරකරුවන් අතින්. මවුපියන්ගෙන් ආදරය, කරුණාව ලැබෙන්නෙ නැතිනම් වෙන කෙනකුට ළං වෙන්න ඒ දරුවන් පෙලඹෙනවා. මවුපියන් දැනුම්වත් කිරීම තමයි මේ තත්ත්වයට තිබෙන අපට පෙනෙන ප්‍රායෝගික විසඳුම. ඒ වෙනුවෙන් අපි විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.“

මේ සංකීර්ණ ප්‍රශ්නය ඒ බරින් බැලිය යුතුය. මේ ළමා මවුවරු රටට හෙළිවනවාට ඔවුන් කැමති නැත. අපේ රටේ නීති පද්ධතියේ ක්‍රියාත්මක ස්වරූපය අනුව ඇය නීතිය ඉදිරියට ගෙනා මොහොතේ සිට යළි වින්දිතයෙක් වන්නීය. එමෙන්ම දූෂකයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ආකාරයට නෛතික පද්ධතිය බලගැන්විය යුතුව තිබුණත් එය සිදුවන්නේ නැත. මේ අපරාධ ක්‍රමවේදය තුළ නඩුවක් බොහෝ කාලයක් ඇදෙමින් යන්නේය. නීතිපති උපදෙස් එන්නේ සමහරවිට වසර ගණනකිනි. පොතේ පතේ නීතිය තිබුණට එතැනින් එහාට ඇත්තේ ජීවිතයය. නමුත් 16 -18 අතර දරුවකුට සිදුවන මෙවැනි අපාරධවලදී වින්දිතයාට හානි පූර්ණයක් කරගත හැකි නෛතික බලගැන්වීම් නීති පද්ධතිය තුළ තිබේ. එහෙත් ඒ අනවබෝධය මෙන්ම සමාජ ප්‍රතිරෝධ නිසා ද වින්දිතයෝ නීතිය හමුවට නොඑති. මේ ප්‍රශ්නයේ බරපතළම සමාජ කාරණාවත් එයමය.

ළමා හා කාන්තා කාර්යාංශයේ අපයෝජන විමර්ශන අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර ය. ඇය සිද්ධි අධ්‍යයනයන් ඔස්සේ ළමා මවුවරුන් බිහිවීමේ ඛේදවාචකය වාර්තා වන ස්වරූපය ගැන කියන කතාව අප තිගස්වන්නේය.

දවසකට දළ වශයෙන් මෙවැනි සිද්ධි 10ක් වාර්තා වෙන අතරේ එයින් අවම වශයෙන් 2ක් හෝ තාත්තගෙන්ම දුව දූෂණය වෙන සිදුවීම්. නැතිනම් දූෂණය වෙලා, ගැබ් අරන් තියෙන්නෙ එක්කො මවගේ අනියම් සැමියගෙන්. තමන්ගෙ අයියගෙන්, සීයලාගෙන්, බාප්පලාගෙන්, ළඟම ඥාතීන්ගෙන් දූෂණයට ලක්වීමේ සිදුවීමුත් ඒ අතරේ වාර්තා වෙනවා. විටෙක අම්මලගෙ අනුදැනුම ඇතිව දුවව අලෙවි වන අවස්ථාත් තිබෙනවා. නාඳුනන පුද්ගලයන්, පාරෙ යනකොට ඇදන් ගිහින් දූෂණය කිරීමේ සිද්ධි වාර්තා වීම් ඉතාම විරලයි.

මේ රටේ සරසවි පද්ධතිය මේ සම්බන්ධව පුළුල් සමාජ විමර්ශනයක් කර ප්‍රතිපත්ති සම්පාදනයකට යා යුතුයි. ඒ ප්‍රතිපත්ති මේ රටේ ජනතාවගෙන් වැටුප් ගන්නා දහස් ගණක් වූ ළමා හිමිකම් ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරීන් හරහා ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගික කළ යුතුයි. එසේ නැතිව මේ ප්‍රශ්නය අපට විසඳගන්න බෑ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙහි අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ ආචාර්ය කෞශල්‍යා හේවාවසම් දකින සමාජ විද්‍යාත්මක දෘෂ්ටියට අනුවද මේ සමාජ ඛේදවාචකය පිළිබඳ විධිමත් පර්යේෂණ සිදුවීම අවශ්‍යතාවකි.

"මෙය සමාජ ඛේදවාචකයක් මෙන්ම සමාජ විසංධානත්මක තත්ත්වයක ප්‍රකාශනයක්. අපරාධ විද්‍යාවෙදි අපි හඳුනාගන්නේ එය සමාජයට විශාල හානිකර දෙයක් ලෙසයි. ළමා ගර්භණී තත්ත්වය යනු ගෝලීය වශයෙන් විශාල සෞඛ්‍ය ගැටලුවක්. දරුවෙක් ගැබ් ගැනීමෙන් අනතුරු ඇතිවන ප්‍රතිඵල විශාලයි. සමාජයෙන් ලැබෙන ගර්හාව, දරුවෙක් ලෙස අහිමිවන ළමා කාලය, තමන් ප්‍රාර්ථනා නොකළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමෙන් ඇතිවන මානසික ව්‍යාකූලතාව, බිහිවන දරුවාගේ අනාරක්ෂිත වටපිටාව, ඒ කිරිකැටියා සමාජානුයෝනය වන පරිසරය මේ සියල්ල ඉතා අගතිගාමී ලෙස නැවත සමාජයට බලපානවා.

මා යෝජනා කරන්නෙ දරුවන් වෙනුවෙන් ලිංගික අධ්‍යාපනය පාසල් පද්ධතිය තුලින්ම ඇතිකළ යුතුයි. ගුරුවරියන් පවා මේ අධ්‍යාපනය ලබා දීමට මැළිකමක් දක්වනවා ආකල්පත් එක්ක.

ඒ දරුවන්ට සමාජ සුරක්ෂිතභාව ඉතාම වැදගත්. අපරාධ විද්‍යාවෙදී අපි ලේබල්කරණය කියලා දෙයක් හඳුන්වනවා. යම් සමාජ විරෝධී සිදුවීම නිසා ඔහුව හෝ ඇයව ලේබල් වෙනවා. පාසලෙත්, විශ්වද්‍යාලයේත්, මේ ලේබල් කරණය තිබෙනවා.

අපේ වැඩිහියො ඉන්නෙත් ආකල්ප වෙනස් නොවෙන ඒ ගොහොරුවෙමයි. ළමා මවකට මේ තත්ත්වය දැඩිව බලපානවා. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වුණත් මෙහෙම දරුවකුගෙ අනාගතය ගොඩනැගීමට වැඩපිළිවෙළක් නෑ. ඒ දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය වෙනුවෙන් මීට වඩා ප්‍රායෝගික ප්‍රතිපත්ති සම්පාදනය වී මහ පොළොවේ ක්‍රියාත්මක විය යුතුයි.” පරිවාස කොමසාරිස්වරයා සුධීර විතානය. අධිකරණයෙන් යොමුකරන ළමා මවුවරුන් සුරක්ෂිතව රැක බලාගැනීමේ මූලික වගකීම දරන්නේ පරිවාස දෙපාර්තමේන්තුවය. “ළමා මවුවරුන් සිටින ළමා නිවාස කාන්තා කාර්යාංශය සහ පළාත් පාරිවාස දෙපාර්තමේන්තු යටතේ තිබෙනවා.

අධිකරණයෙන් ළමයින්ව පරිවාසයට යොමු කළ පසු සමහර දරුවන්ගෙන් දරුවෝ වෙන් කර ඔවුන්ව මානසිකව සූදානම් කර යළි අධ්‍යධාපන කටයුතුවලට යොමු කරන අවස්ථා තිබෙනවා. භාරකාරයො වගකීම් සහිතව සුරක්ෂිත කරන බව කියනවා නම් ගෑනු දරුවව ඔවුන්ට බාර දීලා ඇය විසින් ප්‍රසූත කළ දරුවා ළමා නිවාසයකට බාර දෙනවා. පරිවාසයේ ඉන්න ගැහැනු දරුවෝ අවුරුදු 18 වෙද්දි ශාරීරිකව හා මානසිකව යහපත් මට්ටමක නම් සමාජගත කරනවා. “ පරිවාස කොමසාරිස්වරයා අපට කීවේය.

බාල වයස්කාර දැරියන් ගැබ් ගැනීමේ දී ඔවුන්ගේ ජීවිතවලට එල්ල විය හැකි අවදානම කුමක් විය හැකිද යන්න පිළිබඳ කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සහ කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ඉන්දු අසංක ජයවර්ධන විමසුවෙමු. ඔහු පවසන්නේ නෛතික පදනම කුමක් වූවත් මානසික සහ සමාජයීය මුහුකුරායෑමක් නැති දරුවෙක් ගැබ් ගැනීම අවදානමක් බවය.

“ මේ වගේ දරුවෙක් ගැබ් ගැනීමේ දී සංකූලතා ගණනාවක් ඇතිවෙනවා. මේ ගැබ් ගැනීම් හඳුන්වන්නෙ අධි අවදානම් ගැබ් ගැනීම් ලෙසයි”.

කැලණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ රාගම ශික්ෂණ රෝහලේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාසගෙන් අප විමසුවේ අම්මාවරු වන දරුවන්ගෙත් ඒ දරුවන් බිහිකළ දරුවන්ගෙත් මනෝ කායික ස්වරූපය ගැනය.

“නෛතික අර්ථගැන්වීම කෙසේ වූවත් බලහත් කාරකමක් නොවුනත් අතවරයක් නොවුනත් 18ට අඩු ළමයෙක් මවුකෙනෙක් වෙන්න මනෝ පරිනතභාවය ලබා නෑ.

දරුවෙක් ගැබ් ගත්තොත් ගෙදරින්, අසල්වැසියන්ගෙන්, පාසලෙන්, පීඩාවට හා හිංසනයට පත්වන නිසා හුඟක් වෙලාවට ඒ දරුවා පෙර ප්‍රසූති කාලය පුරාම ඉන්නෙ මානසික පීඩනයකින්.

එවිට මේ මානසික පීඩනයට අදාල හෝමෝන ඉහළ යෑම නිසා එය ඒ දැරිය තුළ සිටින දරුවාගේ මොළයේ ස්නායු වර්ධනයට බලපානවා. එවිට දරුවා ඉපදෙන්න කලින්ම යම් සංකූලතාවලට ලක්වෙනවා. ප්‍රසූතියෙන් පසුවත් නිවෙසින්, සමාජයෙන් නොඅඩුව ලැබෙන පීඩාව නිසා පෙර සහ පසුව ප්‍රසව විශාදය, කාංසාව සහ මනෝ පීඩන ඇතිවෙන්න පුලුවන්.

අතවරයට ලක් වීමෙන් ඇති වන දරු ප්‍රසූතියක දී පශ්චාත් මනෝ කම්පන තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දාරක ස්නේහය ගොඩනැඟෙන්නෙ නෑ. එවිට දරුවාගේ මොළය වර්ධනය වන පළවෙනි අවුරුදු තුන අතරත් දරුවට මානසික සංවර්ධනය හෝ අවශ්‍ය ප්‍රශස්ථ මානසික රැකවරණය ලැබෙන්නෙ නෑ.

ඊළඟට අම්මට මානෝ අවිනිශ්චතභාවයක් ඇතිවෙනවා. නව යොවුන් වයසේ දැරියකට දරුවා අනවශ්‍ය වෙන දෙගිඩියාවක් ඇතිවෙන්න පුළුවන්. නමුත් ළමා සංවර්ධන මධ්‍යස්ථානයකට ඇතුළු කරන්න උසාවියෙන් මන්දගාමීව නියෝගයක් ලැබෙන කල් ඇයට ළදරුවා බලා ගන්න වෙනවා.

එවිට ළදරුවා කෙරෙහි ඇති විය හැකි වෛරය, කනස්සල්ල දරුවාගෙ මානසිකත්වය මෙන්ම නව යොවුන් වයසේ සිටින මවගේ මානසික සංවර්ධනයටත් හානියක් ඇති කරනවා. නමුත් ඒ සම්බන්ධව අපේ නීති පද්ධතියට කිසිදු අවබෝධයක් නෑ.

ළමා මවුවරු සමාජගත කිරීමට ඵලදායී සමාජ වැඩපිළිවෙළක් ගොඩනඟන්නේ කෙසේ දැයි අප විමසුවෙමු

එවැනි අම්මා කෙනෙක් ඉක්මනින් ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වන්න. දෙවනුව ඒ දරුවාගේ මවුපියන් සහ පවුලේ අය වැඩිහිටි මනෝ වෛද්‍ය විශේෂඥවරයෙක් වෙත යොමු කරන්න. ඒ වගේම අතවරයක් කළා නම් ඒ අපරාධකරුවත් අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥවරයකුට යොමු කළ යුතු වන්නේ නැවත නැවතත් ඔහු මෙවැනි අපරාධ කළ හැකි නිසා. ඔහු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ නොකළහොත් නව යොවුන් වයසෙ දැරියට ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් එනවා.

ඒ වගේම දරු ප්‍රසූතියෙන් පසු මේ දරුවාව අලුත් පාසලකට හෝ ඇතුළත් කරන්න. ඇයට සුපුරුදු දින චරියාව යළි ලබා දී සමාජීයව තාඩන පීඩන ඇතිවෙනවා නම් තාවකාලිකව රැකවරණයක් ඇති තැනක් ඇති කළ යුතුයි.

මෙවැනි අම්මා කෙනෙක් වෙනුවෙන් නඩුවක් පවතිනවා නම් ඔවුන් උසාවියට කැඳවීම සුදුසු වන්නේ කෙසේද කියලා අනිවාර්යයෙන් ළමා හා යොවුන් විශෙෂඥ වෛද්‍යවරයකුගෙන් ඇසිය යුතුයි. දරුවගෙ අවශ්‍ය තොරතුරු දන්නෙ අපි විතරයි. අපට පුළුවන් වාර්තාවක් මඟින් උසාවියට ඒවා ලබා දෙන්න.“ ඔහු කියන්නේය.

මෙවැනි දරුවෙක් පිළිගත හැකිතරම් ලොකු හිතක් සහිත සමාජයක් ඇතිවනතුරු මේ සමාජය අප හැමෝටම අනාරක්ෂිත බව අපට හිතෙන්නේය.

 

Comments