
ගීත 3 ක් තෝරගන්නවයි කියන්නෙම අභියෝගයක්. මතක් කරගන්න බැරි තරම් ගීත තොගයක් හිතේ පෝලිම් ගැහෙන නිසා. ඉතින් මුලින්ම හිතට ආවේ තරමක් පැරණි ගීතයක්. පරණ වුණාට ඒක හැමදාම අලුත්. නිල් මහනෙල් මල් පිපුණා කියන්නේ ඒ ගීතයට. ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ සුමියුරු ගායනයක්. පද රචනය මඩවල එස්. රත්නායකයන්ගේ.
තරමක් දුරට මේ ගීතය සමාන කරන්න වෙන්නේ අමරදේවයන්ගෙම තවත් සර්වකාලීන ගායනයකට; ‘සන්නාලියනේ’ කියන ගීතයට. මේ ගීත දෙකෙන්ම කියවෙන්නේ ජීවිතයේ ස්වභාවය; වෙනස්වීම. ඒත් ‘නිල් මහනෙල් මල් පිපුණා’ ගීතය හදවතට වැඩියෙන්ම දැනෙන්නේ වෙනත් හේතුවක් නිසා. මේ ගීතය ගායනා කරන්නේ පෙම්වතෙක්; වියපත් වුණ, හතිවැටුණ පෙම්වතෙක්. ඔහුගේ ආමන්ත්‍රණය ඍජුයි. ‘සන්නාලියනේ’ ගීතයෙන් කියවෙන්නේ පොදු තත්ත්වයක්; පොදු කතාවක්. ගායකයා ඒ සංසිද්ධි දකින්නේ දුර ඉඳන්. නිල් මහනෙල් මල් පිපිලා ගීතය තියුණු විදිහට හදවත අමතන්නේ ඒක අත්දැකීමක් වන නිසා. ගීතය පටන්ගන්නෙම ස්ත්‍රී වර්ණනාවකින්.
‘නළල ඇගේ අඩ සඳ වාගේ මිහිරි නොවෙ ද හදවත කාගේ?’ යි ඔහු අසනවා. දැන් වසන්තය ඇවිත්. ජීවිතයේත් වසන්තය. පරිසරයටත් වසන්තය උදාවෙලා. ඒත්...? දන්නෙම නැතුව වගේ කාලය ගලාගෙන යනවා. වසන්තය ගෙවෙනවා; මල් පරවෙනවා. දැන් ඇගේ ලස්සන අතුරුදහන් වෙලා. දිනෙන් දිනම කාලය ගෙවුණා. මලේ වැරුණා මංගල උයනේ, ලස්සන කෝ කොයි අත ද ගියේ?’ ඔහු අහනවා. උත්තර දෙන්න කිසි කෙනෙක් නෑ. වැරැද්ද කාගෙ ද? ඔහු හිතනවා. බලාගෙන යන කොට එකම වැරදි කාරයයි ඉන්නේ. ඒ තමයි කාලය. නපුරු වුණේ කාලයයි.
මිනිස්සු වයසට යනවා. ඒත් මිනිස්සුන්ගේ හිත වයසට යන්නේ නැහැ. ඔහු ළතැවුලෙන් ඉන්නේ ඒ නිසා. ඒක දරුණු වේදනාවක්. ස්වයං ඝාතනයකට පවා පොලඹවන පීඩනයක්. ඒත් ඔහු නිවැරදි මාවතකට හැරෙනවා. ඔහු සොයා යන්නේ බුදුන්වහන්සේව. අනියත දහම සාමාන්‍යයක් මිස වේදනාවට හේතුවක් නොවන බව පෙන්නල දුන්නේ උන්වහන්සේ.
මගේ මීළඟ ගීතය ලියල තියෙන්නේ අපූරු තවත් ගේයපද රචකයෙක්. ඒ තමයි කේ.ඩී.කේ. ධර්මවර්ධන. මේ ගීතය ළගන්නාසුලු ලෙස, ඒ වගේම උපේක්ෂාසහගත හඬකින් ගායනා කරන්නේ වික්ටර් රත්නායකයන්. ගද්‍ය සාහිත්‍යයේදී වගේම ගීත සාහිත්‍යයේදීත් මතකයේ ළැඟුම්ගන්නේ වෙන්වීම, වියෝව උත්කර්ෂයට නඟන නිර්මාණ මිස එක්වීම සංකේතවත් කරන නිර්මාණ නෙවෙයි. අතීතයේ ඉඳන්ම බැලුවොත් රොමියෝ ජුලියට්, ඇනා කැරනිනා වගේම එමා බෝවාරි තවමත් නොමැරී ඉන්නේ ඒ නිසා. එහෙම වුණත් වික්ටර් රත්නායක ගයන ‘දිනෙක හිරු බැස යන වෙලාවක, සයුරු වෙරළක හුදෙකලාවක’ කියන ගීතයේ වෙනසක් මං දකිනවා. මෙතනදි අපට හමුවන්නේ ප්‍රේමය අහිමිවීම නිසා වැළපෙන, පශ්චාත්තාප වන, පරාජිත පෙම්වතෙක් නෙවෙයි. ඔහු මුහුදු වෙරළකට වෙලා අහසේ හිරු බැස යන දිහා බලා ඉන්නවා. ඔහුගේ දෑස රැඳිල තියෙන්නේ ක්ෂිතිජ මායිමේ. අහසයි මුහුදයි ළංවෙලා, හාවෙලා වගේ තියෙන හැටි ඔහු දකිනවා.
‘සයුර මා විය අහස ඔබ විය දෙදෙන ළං වූ සිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය කලක් ලොව අප ගැන සිතූ සැටි’
නිකමට වගේ ඔහුට අතීතය මතක් වෙනවා. ඔහු එහෙම හිතන්නේ වේදනාවෙන් නෙවෙයි. උපේක්ෂාවෙන්. එතන ළතැවුලක් නෑ. සුසුම් නෑ. කඳුළු නෑ. තමාට පේන දෙය ඔහු තමාගේ ජීවිතයට ගළපා ගන්නවා. සයුර මා විය අහස ඔබ විය දෙදෙන ළං වූ සිතිජයක් විය කියලා මුලින් කිව්වත් දෙවන වරට ඔහු කියන්නේ සයුර මා විය අහස ඔබ විය දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය කියලයි. දෙදෙන ළංවුණා වෙනුවට දෙනෙත රැවටුණ බව ඔහුට ඒත්තු යනවා. ඔහු අන්තිම වතාවට කියන්නේ මෙහෙමයි.
‘ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ සැටි’
අවසාන වශයෙන් මං තෝරගත්තේ හින්දි ගීතයක්. වචන තේරුම් ගන්නේ කොහොම ද කියන ප්‍රශ්නය මෙතනට අදාළ නැහැ. මං මෙතනදි හින්දි වචන යොදාගන්නෙත් නෑ. ගීතයකට වැදගත් වෙන්නේ පද මාලාව කියන අදහසට හැමදාමත් අභියෝග කළෙත්, කරන්නෙත් හින්දි ගීත කියලයි මං විශ්වාස කරන්නේ. හරියටම කියනව නං මේ ලෝකේ, මේ විශ්වයේ දෙවියන් ඉන්නවයි කියන හැඟීමක් මගේ හිතේ ජනිත කරල තියෙන්නේ හින්දි ගීතම තමයි. දෙවියන් අපට පේන්නේ නැහැ. හැඟෙනවා විතරයි. හින්දි ගීතය, උත්තරභාරතීය රාගධාරි සංගීතය තිතට නූලට මේ වැඬේ කරනවා. කාල යන්ත්‍රයකින් අපිව පූර්වාත්මභාවයකට අරගෙන යන හාස්කම කරන්නෙත් ඒවම තමයි.
දැන් මං කතා කරන්නේ ක්‍රිෂ් කියන චිත්‍රපටයේ යුග ගීතයක් ගැන. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරල තියෙන්නේ රාජේෂ් රොෂාන්. පදමාලාව ජාවෙඩ් අක්තර්ගේ. ගීතය ගායනා කරන්නේ ශ්‍රෙයා ගෝෂාල් එක්ක උදිත් නාරායන්. ඒත් මං කතා කරන්න යන්නේ මේ එකක්වත් ගැන නෙවෙයි. මේ හැම එකකටම වැඩියෙන් මාව විස්මපත් කළේ, මන්මත් කළේ මේ චිත්‍රපටයේ රිතික් රෝෂන්ගේ රංගනයයි. රංගනයක් නිසා ගීතයකට බැඳුණ මුල්ම අවස්ථාව තමයි මේ. ඔහු කියනවා බලන්න... සුළඟ හමයි. ඔබ ස්පර්ශ කිරීමට ආසාවෙන් මෙන්.. හොරෙන් හොරෙන් හැංගි හැංගි. රිතික් රෝෂන් එක්ක මේ දර්ශනයට පෙනී ඉන්නේ ප්‍රියංකා චොප්රා. ඇයත් අපූරු රංගනයක යෙදෙනවා. ඒත් රිතික්ගේ ආනුභාව හමුවේ ප්‍රියංකා කුඩාවටයි පේන්නේ.
සුළඟ කියල වචනයෙන් කියන්න පුළුවන්. ඒත් රංගනයෙන් කොහොම ද සුළඟ නිරූපණය කරන්නේ? හරියටම කියනව නං මනුස්සයෙක් කොහොම ද හුළඟක් වෙන්නේ? මේ දර්ශනයේදී රිතික් රෝෂන් ඇත්තටම හුළඟක් වෙනවා. හුළඟ විදිහටම හමා යනවා. ඒක හඳුන්වන්න පුළුවන් වෙන්නේ හමා යාමක් විදිහටම තමයි. ඒක කොහෙත්ම ගමන් කිරීමක්වත්, දුවගෙන යාමක්වත් නෙමෙයි. මිනිහෙක් මෙච්චර අපූරුවට හුළඟක් වෙන්නේ කොහොම ද කියලයි මට හිතුණෙ. ‘මා මිනිසෙක් ඔබ ගඟක් නිසා’ කියන අපූරු කවි පන්තිය නිර්මාණය කළ ලාල් හෑගොඩ කවියා මට මතක් වුණෙත් එතනදි. කවියා ගඟකට පෙම් බඳිනවා. ඒත් ගඟට බනිනවා හැර ඔහුට වෙන කරන්න දෙයක් නැහැ. ඒක සොබාදහම සමඟ එක්වීමක්. ඇත්තටම අපට සොබාදහම එක්ක අනන්‍ය වෙන්න බැරි ද?
ඔබ ඈත ඉඳන් එන්නියක ලෙස මට නොහැඟේ මගේ සිහින තුළ ඔබ සෙවණැල්ලක් වී සිටියා වගේ හැඟේ.
සරල මිනිසුන් හදවතේ භාෂාව හොඳින් හඳුනයි.
ඔහු ගයනවා. හින්දි භාෂාව නොදන්නා ඕනෑම කෙනකුට ඒ හදවතේ භාෂාව හැඟෙනවා. ඒකයි අපූරුව.