එකම ආරකට කොටු වෙන්න මම කැමැති නෑ | Page 3 | සිළුමිණ

එකම ආරකට කොටු වෙන්න මම කැමැති නෑ

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඕෂධී ජයසිංහට ලිවීමේ ආශාව මල්ඵල ගැන්වූණේ ඒම පාසලෙන්මයි. පාසලේ ශිෂ්‍ය නායිකාවක් ද වූ ඕෂධී සාහිත්‍ය සඟරාවේ සංස්කාරිකාව මෙන්ම, මාධ්‍ය කවයේත් විවාද කණ්ඩායෙම්ත් සාමාජිකාවක්. රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධයාපනය ලබන කාලයේම ස්වර්ණවාහිනී නාළිකාවේ ප්‍රවෘත්ති අංශයේ රැකියාවකට යොමුවූ ඇය උපාධිය ලබා ගැනීමෙන් පසුව පෞද්ගලික ආයතන කීපයක රැකියාවන්හි නිරත වුණා. වෘත්තියෙන් ගුරුවරියක වන ඇය මේ වන විට මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ දූදරුවන්ට තාක්ෂණවේදය විෂය දැනුම ලබා දෙන්නේ ඉමහත් සෙනෙහසින්. ඒ අතර ලැබෙන විවේකයේදී, ඇය තම දයාබර පාඨකයන් වෙනුවෙන් නවකතා ලියන්නට ද අමතක කරන්නේ නැහැ.

1. මගේ පළමු නවකතාව

මුලින්ම විශාල පිරිසක් මගේ නවකතාවක් විදිහට කියෙව්වේ "කඳුකර තුහින". ඒ 2018 අවුරුද්දේ මුහුණු පොත හරහා. ඊට කලින් නවකතා කීපයක් ලියල තිබුණත් ඒවා මගේ සමීප හිත මිතුරන්ගෙන් එහාට ගෙන ගියේ නැහැ. එහෙම කරන්න උනන්දුවක් තිබුණෙත් නැහැ. නමුත් කඳුකර තුහින යම් පාඨක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත් වුණා.

මුලින්ම පොතක් විදිහට මුද්‍රණය වුණේ "නිල් අහස ඔබයි" කතාව. ඒ 2019දී එය නිකුත් වන්නේ 'නහන්සා විමන්දි' කයන නමින්. නිල් අහස ඔබයි පාඨකයන්ගේ දැඩි ආදරයට පාත්‍ර වූ නවකතාවක් වුණා. ඒ වන විට මුහුණු පොත හරහා මා වටා එකතු වෙලා සිටි පාඨක පිරිසට පරිබාහිර පාඨක පිරිසක් මා වටා එකතු කරන්න ඒ පොතට හැකි වුණා. අදත් ඒ කතාව වෙනුවෙන් ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක්.

2. එහි සිත්ගත් හා සංවේදී අවස්ථා

"නිල් අහස ඔබයි" ලියැවෙන්නේ ගුවන් නියමුවරියක් සහ ගුවන් නියමුවෙක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා. ඒ එක්කම ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වෙන සාමාජිය හා දේශපාලනික ප්‍රශ්න, ඒ ප්‍රශ්න හමුවේ ඔවුන් එකිනෙකා වෙනුවෙන් පෙනී සිටින ආකාරය පොත පුරාම කතාබහට ලක් වෙනවා. පොදු දේශපාලන කුලකය තුළ කටයුතු කරන පුද්ගලයකුගේ අනියම් දරුවකු ලෙස උපත ලබන අශිනි හා ඉතාම දුක් මහන්සියෙන් උගෙන තමන්ගෙ සිහින රැකියාව ලබා ගන්නා රවිජ අතර තිබෙන්නෙ සෑහෙන සමාජ පරතරයක්. නමුත් ඒ පරතරය ඔවුන් පියවා ගන්නේ ආදරයෙන්.

'නිල් අහස ඔබයි' නවකතාව ලියමින් සිටියදී මම මුහුණ දුන් ලොකුම අභියෝගය වුණේ ගුවන් නියමු රැකියාවට අදාළ වටපිටාව හා පාරිභාෂික වචන මොනවාදැයි සොයා ගැනීම. ඒ වෙනුවෙන් සෑහෙන මහන්සියක් දරන්න සිදු වුණා. රවිජ හා අශිනි සමඟ ලෝකය පුරා ගුවන් ගමනාන්ත කීපයකට ගමන් කරන්නත් මට සිදු වුණා. මං හිතනවා නිල් අහස ඔබයි පාඨකයාටත් ඒ අපූරු ආස්වාදය ඒ ලෙසින්ම ලැබෙන්න ඇති කියලා.

3. මගේ වෙනත් නව කතා සහ ලැබුණු පාඨක ප්‍රතිචාර

''නිල් අහස ඔබයි" ට පසුව සුරංගනාවී මගේ, ඉසිවර ප්‍රේමය, ඔබ මට තරුවකි, කඳුකර තුහින හා සිද් නවකතා පිළිවෙළින් පාඨකයන්ට තිළිණ කරන්න මට හැකි වුණා. මං හිතන්නේ ඒ අතරින් ඉහළම පාඨක ප්‍රතිචාරයක් ලැබුණේ පසුගිය වසරේ කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ "සිද්" නවකතාවට.

"සිද්", ඉන්දියාවේ හා ලංකාවේ සිනමා කර්මාන්ත ද්වයේම දිදුලන තරුවක් වූ සිදත් හා ඉතාම සාමාන්‍ය පසුබිමක් සහිත තරුණියක් වූ විශ්මි අතර ඇති වෙන ආදර කතාව වෙනස්ම ආරකින් පාඨකයා වෙතට ගෙන ඒමට උත්සාහ කළ නිර්මාණයක්. 'සිද්' නිර්මාණය කිරීමේදී මම මගේ ලේඛන ශෛලිය සම්පුර්ණයෙන්ම වෙනස් කළා. ඒකම තමයි ඉතා ඉහළ පාඨක ප්‍රසාදයක් ඒ කෙරෙහි ඇති වීමට හේතුව වුණෙත්. අනිත් අතට එහි භාෂා රටාව හරහා මතු වුණ අපේ එදිනෙදා ජිවිතයට ඉතාම සමීප බවත් ඊට හේතුවක් වුණා වෙන්න ඕනේ. අපි ඕනෙම කෙනෙකුගේ ජිවිතවල අමතක කරන්න අපහසු ම සුන්දර මතකයන් එකතු වෙලා තියෙන්නේ පාසල් කාලයේ, විශ්වවිද්‍යාල සමයේ එහෙම නැත්නම් නේවාසිකාගාර තුළ. අන්න ඒ මාදිලියේ සුන්දර මතක ගොඩක් හරහා දිග හැරුණු කතාවක් තමයි සිද් කියන්නේ. ලේඛකයෙකුට හෝ ලේඛිකාවකට ලැබෙන හොඳම සම්මානය තමයි 'ඔයාගේ මේ පොත තමයි මම කියවපු ලස්සනම පොත කියන ' වදන් පාඨකයකුගෙන් අහන්න ලැබෙන එක. 'සිද්' සෑහෙන වාර ගානක් මට ඒ සම්මානය ලබාදීලා තියෙනවා.

4. මා නොලියූ, මා කැමති වෙනත් පොත්

ඕනෑම කාලයක මං වඩාත්ම ආශාවෙන්, කුතුහලයෙන් කියවපු නිර්මාණ කිහිපයකම අයිතිකරු තමයි ඩෑන් බ්‍රවුන් කියන්නෙ. ඩාවින්සි කෝඩ් ,නිරය, සම්භවය, මං ඉතාම කැමත්තෙන් කියැවූ කෘති. මම ආශාවෙන් ඉන්නවා ඒ වගේ ඉතා ගැඹුරු අධ්‍යයනයක් සහිත පොතක් ලියන්න. ඒ් ව‌ගේම මාර් ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය නවකතා මගේ සිත් ඇදබැඳ ගත් කෘති. එහි ගැමි සුන්දරත්වය මෙන්ම සමාජ පරිණාමය ඉතා සංයමයකින් පෙළ ගස්වා තිබෙනවා. ආනන්ද ලියනගේ මහතාගේ රාජ උරුමය, සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ 'බුද්ධදාසි' මගේ සිත් ගත් කෘති.

5. මගේ ඉදිරි සැලසුම්

මගේ ලේඛන දිවිය තුළ මගේ ඉතාම තෘප්තිමත් නිර්මාණය තමයි සර්වකාල කියන්නෙ. වසර මිලියන ගණනකට පෙර සිදු වූයේ යැයි උපකල්පන සහිත කල්පිත වීර කතා ශානරයේ පොතක් ලෙස 'සර්වකාල' හඳුන්වන්න පුළුවන්. මෙය ඉතා ඉක්මනින් පාඨකයන් අතට පත් කරන්නයි මගේ වෑයම. එකම ශානරයක් තුළ කොටු වී සිටීමේ කැමැත්තක් මට නැහැ. විවිධ අත්හදා බැලීම් කිරීමට මම කැමතියි.

ඕනෑම ලේඛකයකුට ලේඛිකාවකට තමන්ගේ පොතක් මුද්‍රණය කරනවා කියන්නෙ හීනයක්. ඒ හීනය සැබෑ කරගැනීම සඳහා කොන්දේසි විරහිතව මට මඟ පෙන්වූයේ, අදටත් හැම අවස්ථාවකදීම ඕනෑම දෙයක් නිර්ලෝභීව කියලා දෙන්නෙත් ආදරණිය දිලූ සඳමාලි රාසාංගිකා මාපා ලේඛිකාව. මේ මොහොතේ ඇයව මතක් කිරීම මගේ යුතුකමක්. ඒ වගේම මගේ පළමු පොත මුද්‍රණය කිරීමේ අවදානම බාර ගත්තේ පහන් ප්‍රකාශන ආයතනය. එහි අධිපති සමන්ත ඉන්දීවර මහත්මයාත්, එහි සේවය කරන ශම්මි පහලගමආරච්චි මහත්මියත් මම ගෞරවයෙන් සිහිපත් කළ යුතුමයි.

Comments