අතීතයේ විඳි දුක් තමයි මාව මේ තත්ත්වයට ඔසවා තැබුවේ | Page 2 | සිළුමිණ

අතීතයේ විඳි දුක් තමයි මාව මේ තත්ත්වයට ඔසවා තැබුවේ

දවසක් කුරුල්ලෝ එළවන්න යද්දි අල්ලපු කුඹුරේ අලුතෙන් හිටවපු පඹයකුට අන්දලාතිබුණු කලිසමක් දැකලා මං ඒක ගලවා ගත්තා.

අපේ අම්මා වරුවක් කුලියක් කරලා රුපියල් එකයි පනහක් අරගෙන ඒකෙන් මඤ්ඤොක්කා අරන් ඇවිල්ලා ඒක තම්බලා කන්න දෙනකන් අපි දහදෙනා ම බඩගින්නේ හිටියා. අපි එච්චර බඩගින්නේ හිටියා කියන්නේ අපේ දෙමව්පියන් මොනතරම් බඩගින්නේ ඉන්න ඇති ද?

 

“මගේ මේ කතාව කියවලා එක්කෙනෙක් හරි හැදෙනවා නම් ඇති. හද්දා පිටිසර ගමක අන්ත දුක් කඳුළු මතින් පැමිණි මේ ගමනේ පැදුරෙන් බිමට වැටෙන්න දෙයක් මගේ ජීවිතයේ ඉතිරි වෙලා නෑ. තරු පහේ හෝටලයත්, දුගී පැළත් මට හොඳට හුරුයි. මහාචාර්ය වුණාට මේ දෑත්වල තවමත් කරගැට තියෙන්නේ මේ මහා පොළොවේ පය ගහලා ඉන්න නිසයි."

 

මේ කතාව ආරම්භ වුයේ එලෙසිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන පීඨයේ, ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය එම්. ජී. කුලරත්න නැතහොත් මොහොට්ටාල ජී. කුලරත්න නම් ඔහු මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වූයේ කාබනික පොහොර නිෂ්පාදනය සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ ව අදහස් දැක් වූ පර්යේෂකයකු ද වන බැවිනි. ඔහුගේ දැනුම සහ ප්‍රායෝගික හැකියාවෙන් මුළු රටක් අස්වද්දන්නට වුව ද හැකිය. එසේ ම ඔහු ධීවර කටයුතු පිළිබඳ දේශීය මෙන් ම ජාත්‍යන්තර පර්යේෂකයෙකි. ඔහුගේ ආචාර්ය උපාධි පර්යේෂණය වූයේ ලංකාවේ නොසිදෙන කාලීන ජලාශවල ප්‍රශස්ථ ජල කළමනාකරණය සම්බන්ධයෙනි. රට වට කර ඇති මුහුදත්, ඇට මිටක් විසි කළ පමණින් දලු ලා වැඩෙන මහා පොළොවත්, ඒ සියල්ලට සහ සත්වග සැමට ජීවය සලසන ගොඩබිම ජල සම්පතත් පිළිබඳ ඔහු විශාරද දැනුමැත්තෙක් පමණක් නොව ඒ සියලු දෙයෙහි ප්‍රායෝගික ව නිරත වූ අයෙකි.

“ඒ කාලේ අපේ තාත්තා අඳේට කුඹුරක් කළා. වැවේ වතුර අඩු කාලෙට අඳ ගොවියෙක් වන අපේ තාත්තාට අඳ කුඹුර ලැබුණේ නැහැ. අයිතිකාරයා ම ඒක කළා. මම දිගට දිගට ඉගෙනගෙන ඇවිල්ලා අභ්‍යන්තර ජලාශවල ධීවර කටයුතු පිළිබඳ අධ්‍යයනය කරන කාලේ තාත්තාගේ කුඹුරු ගැටලුව මගේ ඔලුවේ වැඩ කරන්න ගත්තා.

වැවේ වතුර නැති කාලෙට කුඹුරු කරන්නයි, මාලුන්ට ඉන්නයි මේ වගේ ජලාශවල ප්‍රශස්ත ආකාරයට ජලය බෙදා හරින්නේ සහ ජලය රඳවා තබා ගන්නේ කොහොමද කියලා වසර තුනක් තිස්සේ මං මගේ ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කළා. ඒ සඳහා හොඳ ම පර්යේෂකයා හැටියට උපකුලපති සම්මාන උළෙලේදී මට සමමානත් හිමි වුණා. මූලික වශයෙන් ව්‍යවහාරික ආර්ථික විද්‍යා විෂයන් ලෙස ගැනෙන සංවර්ධන ආර්ථික විද්‍යාව, කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව, පාරිසරික ආර්ථික විද්‍යාව, ධීවර සහ ජලජ සම්පත් කළමණාකරණය වගේ විෂයන් ගණනාවක් විශ්වවිද්‍යාල බොහෝමයක උගන්වනවා. විශ්වවිද්‍යාලවලට පැමිණෙන දරුවන් වසර හතරක් විශ්වවිද්‍යාලයේ සිටීමෙන් ඔවුන් තුළ තිබූ හැකියාවන් හා ආකල්පවල වෙනසක් සිදුවන්නේ කෙසේද කියා පර්යේෂණයක් මේ දවස්වල මම කරගෙන යනවා.”

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ගලෙන් බිඳුණු වැව, හුරුලු නිකවැව ගමේ ඉපදී හැදී වැඩුණු කුලරත්නයන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් ගණන දහයකි. ඒ අතරින් හතර දෙනෙක් ම විශ්වවිද්‍යාල උපාධිධාරීන් ය. පවුලේ හය වැනි දරුවා ඔහු ය. දෙමව්පියන් නුවර පළාතේ උපන් අය යි.

අපේ අම්මා වරුවක් කුලියක් කරලා රුපියල් එකයි පනහක් අරගෙන ඒකෙන් මඤ්ඤොක්කා අරන් ඇවිල්ලා ඒක තම්බලා කන්න දෙනකන් අපි දහදෙනා ම බඩගින්නේ හිටියා. අපි එච්චර බඩගින්නේ හිටියා කියන්නේ අපේ දෙමව්පියන් මොනතරම් බඩගින්නේ ඉන්න ඇති ද”

අද ඔහු හොඳ ජීවිතයකට උරුමකම් කියනුයේ අතීත ජීවිතයේ විඳි දුක් කම්කටොලු නිසා බව ඔහුගේ විශ්වාසය යි.

“ඉස්සර කුඹුරේ ගොයම් පැහෙන කාලෙට පාන්දර හතරහමාරට අය්යාවයි, මාවයි අම්මා ඇහැරවනවා. මහා කරුවලේ සැතපුම් එකහමාරක් විතර අය්යායි මායි අත්දෙක අල්ලගෙන පයින් ගිහිල්ලා උදේ හය වෙද්දී කුඹුරට එන කුරුල්ලෝ එලවලා ඒ වේගයෙන් ම ආපහු ගෙදර ඇවිත් ලෑස්ති වෙලා හතහමාරට කලින් ඉස්කෝලෙත් ගියා. තාත්තා ගමේ ගෙදරක වහලයක පිදුරු බඳින්න යනවා නම් මාත් මහා පාන්දර තාත්තා එක්ක ඒ වැඩේට උදව්වට ගිහින් ගෙදර ඇවිල්ලා ඉස්කෝලෙත් යනවා.

ගොයම් කපන කාලෙට කුඹුරට ගෙනියන්න කියලා උණු උණුවට මහා ලොකු තේ පෝච්චියක් හදලා හුමාලේ එළියට නොයන විදිහට කෙමියට කොළ කෑල්ලක් ගුලි කරලා අම්මා මට දෙනවා තේ නිවෙන්න කලින් ගිහින් දීපන් කියලා. මාත් එක හැල්මට උණු තේ පෝච්චියත් අරගෙන කුඹුරට දුවනවා. වෙලාවට වැඩ කරන්න මං ඒකෙන් පුරුදු වුණා. අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් කියලා සුදු කමිසයකුයි, නිල් කොට කලිසමකුයි අපට ලැබුණා. ඒක තමයි මුළු අවුරුද්ද පුරා ම ඉස්කෝලේ ඇන්දේ. දවසක් කුරුල්ලෝ එළවන්න යද්දි අල්ලපු කුඹුරේ අලුතෙන් හිටවපු පඹයෙකුට අන්දලා තිබුණු කලිසමක් දැකලා මං ඒක ගලවා ගත්තා.

ඒ කාලේ ඇළට නාන්න එන අය සබන් කෑල්ලේ අන්තිමට ඉතුරු වෙන කෑල්ල ඇළ අයිනේ ගලකට තියලා තද කරලා ඒක උඩ රෙදි අපුල්ලලා හෝද ගත්තා ම ගලේ තව සබන් ඉතිරි වෙලා ගලට ඇලිලා තියෙනවා. එහෙම ගලක ඉතිරි වෙච්ච සබන් පොත්තක කලිසම පරෙස්සමට අපුල්ලලා හෝදලා වේලගෙන ගෙදර අරන් ගිහින් බැනුම් අහන්න වෙන නිසා හංගලා කොට්ටේ යටින් තියාගෙන නිදාගෙන ඉඳලා පස්සේ දවසක ඒක ඇඳගෙන යද්දි මං දැක්කා පඹයා හෙළුවෙන් ඉන්නවා. පඹයා ඉස්කෝලේ යන්නේ නැති නිසා මං හිත හදාගෙන ඒ කලිසම ඇඳගෙන ඉස්කෝලේ ගියා. අද කාලේ ළමයි වගේ ඇඟිලි රිදෙනතුරු අපි පොත්වල සටහන් ලිව්වේ නැහැ. අහගෙන ඉන්න දෙයක් තමයි මතකයේ රැඳුණේ. ඉඳහිට යමක් ගල් ලෑල්ලේ ලියලා මකලා දානවා. මට ගල්ලෑල්ලක් නැති බව දැකලා පන්තියේ ගුරුවරයා මට ගල්ලෑල්ලක් අරන් දුන්නා. අපට සමාජ අධ්‍යයනය ඉගැන්වූ පින්තු ගුරුතුමිය ගණිතය ඉගැන්වූ මර්වින් ගුරුතුමා වැනි ගොඩාක් අය අදටත් ඉන්නවා. ඒ අපේ උතුම් ගුරුවරු අපට බැරි පාඩම් හවස පන්ති දාලා ඉගැන්නුවා. සත පහකවත් දෙයක් ඒ වෙනුවෙන් ගුරුවරු බලාපොරොත්තු වුණේ නැහැ. ”

ඔහුගේ ජීවිතයේ අන්ත කටුක ම අත්දැකීම වූයේ යාං ඔය හරහා හරක් රැළ දක්කාගෙන යාම සහ ඒම ය. විටෙක එය ගමේ හරක් රැළ බැලූ කල්ලියේ විනෝදය වුවත් දරුවෙක් හැටියට එහි වූ දුෂ්කර බව හා කටුකත්වය ඔහුගේ ජීවන ගමනේ හැරවුම් ලක්ෂය බවට පත් වී තුබුණි.

“හැමදාම හවසට හරක් ටික දක්කගෙන ගහින් උන්ට කන්න දෙනවා. ගමේ හරක් බලන කල්ලියේ මාත් එක්ක තව ළමයි දෙතුන් දෙනෙක් හිටියා. යාං ඔයෙන් එගොඩ හරකුන්ට කන්න දේවල් තිබුණු නිසා අපි කරන්නේ උන් ටික ඔය හරහා එගොඩට දක්කලා අපිත් ඔය හරහා පීනගෙන යනවා. වැසි කාලෙට මහා ජල කඳක් ඔය හරහා ගලනවා. ඒ කාලෙට අපි ඔයේ උඩ පැත්තට ඇවිත් වතුරට පැනලා වතුර දිගේ පීනගෙන එගොඩට යනවා. ආයේ කරුවල වැටීගෙන එද්දී ඒ විදිහට ම හරක් ටික ඔය හරහා දක්කගෙන අපි ගෙදර එනවා. වැස්සට තෙමෙනවා, අව්වට වේලෙනවා, වැහි කාලෙට මඩේ බැහැලා හරක් එක්ක ඇවිදගෙන යද්දි දෙපතුල් තුවාල වෙලා පුදුමාකාර දුක් කන්දක් විඳිමින් තමයි ඒ වැඩ කළේ. ඉගෙන ගත්තේ නැත්නම් මට මේ වැඩේ තමයි දිගට ම කරන්න වෙන්නේ කියලා ඒ යන එන ගමනේදී මම හැමදාම කල්පනා කළා. මෙගොඩ බිමක හරක් දිගේලි කළ වෙලාවක උන් කාලා ඉවර වෙනකන් ගහක් යට හෝ ගහක් උඩකට වෙලා මම පාඩම් කළා. අද වගේ පොත් මිටිය පිටේ බැඳගෙන යන ක්‍රමයක්වත්, ටියුෂන් යෑමක්වත් අපට තිබුණේ නැහැ. අපි පරිසරයෙන් ජීවිතය ඉගෙන ගත්තා.“

අනුරාධපුරය නිකවැව අනුර මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඔහු එම විභාගයෙන් ඉංග්‍රීසි අසමත් විය. අසමත් විෂයයන් සමත් කර දෙන එකඟතාවයෙන් ගලෙන් බිඳුණු වැව මහසෙන් විද්‍යාලයට ඇතුළත් ව කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට ලිව්වේ ය. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ලකුණු හයක් මදි වුණි.

“පොඩි කාලේ අපේ අම්මාගේ නුවර ඥාති ගෙවල්වල ඇවිත් යද්දි මම පේරාදෙණිය විශ්වවිද්‍යාලය දකිනවා. ඒ කාලෙ මම කල්පනා කළා කවදා හරි මම මේ විශ්වවිද්‍යාලයට යනවා කියලා. ඉතින් ඒ ඉලක්කය මම අරන් තිබුණු නිසා කුප්පි ලාම්පු එළියෙන් තව ටිකක් උනන්දු වෙලා පාඩම් කරලා උසස් පෙළ සමත් වෙලා 1985 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

ආයි දවසක අපේ ශාලාවේ හිටපු කොල්ලන්ගේ නොසණ්ඩාල වැඩක් නිසා හිටපු උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහා රෑ ම අපි හැමෝට ම යන්න කිව්වා. ඒ වෙලාවේ එතුමා අපට කිව්වා. “මේ වගේ වෙලාවක ඔයාලාට තියෙන්නේ එක එක්කෙනාට ගහන්න බනින්න නෙවෙයි; තමන්ගේ හැකියාව තේරුම් අරගෙන; තමන් යන්න අවශ්‍ය කොතැනට ද කියලා තේරුම් අරගෙන ඒ සඳහා පාරමී පුරන එකයි.” කියලා. ඒකත් මගේ ඔළුවේ රැඳුණා. ඊට පස්සේ සතියකින් විතර ආපහු විශ්වවිද්‍යාලයට ඇවිත් මගේ කාමරේ ඉඳගෙන මම ඒ ගැන කල්පනා කරන්න පටන් ගත්තා. මගේ හැකියාව අනුව නම් මම කළයුතු වන්නේ ඉගැන්වීමයි; ඒ වෙනුවෙන් සපුරා ගතයුතු හේතු 16ක් මම ඒ වෙලාවේ කොළයක් අරගෙන කාටත් හොරෙන් ලිව්වා. මගේ දෙවන ගමන එතැනින් ඇරඹුණා.”

ප්‍රථම උපාධිය ලැබ තවත් කාලයක් විශ්වවිද්‍යාලයේ පර්යේෂකවරු යටතේ වැඩ කරන අතරේ ගමේ ඉස්කෝලෙට ගුරු පත්වීමක් ලද ඔහු නොබෝ කලකින් ජලජ සම්පත් පර්යේෂණ හා නියෝජිත ආයතනයේ (NARA) සම්මුඛ පරීක්ෂණයකින් සමත් ව 1993 දී එහි සාගර සහ සත්වවිද්‍යා අංශයේ ආචාර්ය පෝලින් දයාරත්න යටතේ පර්යේෂක සහකාරවරයෙක් බවට පත් විය.

කලපුව හා සාගරය ආශ්‍රිත ධීවර කර්මාන්තය පිළිබඳ පර්යේෂකයෙක් වීමට එහිදී ඔහුට මූලික අඩිතාලම වැටුණි. ඇමෙරිකානු පර්යේෂකවරියකගෙන් කල්පිටිය අර්ධද්වීපය ආශ්‍රිත ව පර්යේෂණ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවකු ලද ඔහු නාරා ආයතනයෙන් ඉවත් ව කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණ එහි සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය උපාලි අමරසිංහ යටතේ ලංකාවේ අභ්‍යන්තර ජලාශවල ධීවර කර්මාන්තය පිළිබඳ පර්යේෂණ කටයුතුවල නිරත වූයේ ය.

මේ වන විට මහාචාර්ය කුලරත්න වසර තිහක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ආශ්‍රිත සමාජ, ආර්ථික විද්‍යාත්මක පර්යේෂණවලට අමතර ව එයට අදාළ විවිධ වැඩසටහන්වලට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධ වේ. ඒ වෙනුවෙන් ඔහු මේ වනවිට රටවල් තිහක පමණ සංචාරය කර ඇත. 1995 සිට මේ දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාපීඨයේ, ආචාර්යවරයකු හැටියට කටයුතු කරන ඔහු සමාජවිද්‍යාපීඨ පර්යේෂණ මධ්‍යස්ථානයේ (RCSS), අධ්‍යක්ෂ හැටියට ද කටයුතු කළේ ය.

“වසර 2016 දී ලංකාවේ පරිසර අධිකාරියේ ඉල්ලීම මත ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දීප ව්‍යාප්ත අධ්‍යයනයක් කරලා ව්‍යාපෘතියක් හැදුවා. දවසකට ලැබෙන කසළ ජපන් තාක්ෂණය මඟින් දවස අවසානයේදී නිකසල බවට පත් කරන්නේ කොහොමද කියලා එහිදී මම පෙන්වා දුන්නා. ඒ ව්‍යාපෘති වාර්තාව සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන් ම සකස් කරලා එදා ඉඳලා මේ දක්වා ඉහළ ම සිට පහළටත්, පහළ ම සිට ඉහළටත් එකී විෂයට අදාළ වන්නා වූ සෑම සියලු දෙනෙක් ම දැනුම්වත් කළා. පළාත් පාලන ආයතනවලටත් ඒ දැනුම්වත් කිරීම කළා. පත්තරවල පිටු ගණන් ලිපි පළ වුණා. අනෙකුත් මාධ්‍යවල සාකච්ඡා නොසෑහෙන්න ප්‍රචාරය වුණා. අන්තිමේදී ජපානයට ගිහින් ඒ සඳහා වූ තාක්ෂණික යන්ත්‍රය බලලා මේ ව්‍යාපෘතිය පිළිබඳ ව එහෙදී ඉදිරිපත් කිරීමකුත් කළා.

මගේ ඉදිරිපත් කිරීම හොඳ ම ඉදිරිපත් කිරීම ලෙස ඒ අවස්ථාවේදී ඇගයුමටත් ලක් වුණා. නමුත් අද වන තුරු ලංකාවේ එයට වෙච්ච දෙයක් නැහැ. ඒ වගේ ම ධීවර කටයුතුවලට අදාළ ව තුන්වන ලෝකයේ රටවල හොඳම පර්යේෂණ ලේඛනය ලිවීම වෙනුවෙන් ඇමෙරිකාවේ ඔරේගන් විශ්වවිද්‍යාලයෙන් හා ධීවර ආර්ථික විද්‍යාව සහ වෙළඳාම සඳහා වන ජාත්‍යන්තර ආයතනය මඟින් 2006 දී එංගලන්තයේදී පැවැත් වූ පර්යේෂණ සමමන්ත්‍රණයේදී තුන්වන ස්ථානයත්, 2012 ටැන්සානියාවේදී පැවැත් වූ පර්යේෂණ සමමන්ත්‍රණයේදී පළමු ස්ථානයත්, ඩොලර් තෑගි සමග සම්මානයකුත් මට ලැබුණා. නමුත් අද දක්වා ඒ ගැනත් කිසි කතාවක් නැහැ.

මේ මෑතකදී පරිසර සංවිධානයක ඇරයුමෙන් කල්පිටියේ මුහුදු කොරල්පරය ආරක්ෂා කිරීමටත්, එයට හානි නොවන ලෙස ධීවරයින්ට තම ධීවර කටයුතු කරගෙන යාමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග හා පිළියම් සම්බන්ධයෙන් මම ව්‍යාපෘතියක් කළා. පල්ලියවත්ත මුහුදත් ඉතා වේගයෙන් ගොඩබිම ආක්‍රමණය කරගෙන යනවා. නොරොච්චෝල බලාගාරයෙන් එන උණු වතුරෙන් මුහුදේ මාළු මැරෙනවා කියනවා. නමුත් මේවා ගැන හොඳ පර්යේෂණ වාර්තා අරගෙන පිළියම් දෙන්නේ නැහැ. අපේ රාජකාරිය වන්නේ අලුත් දැනුම සොයලා ඒ දැනුම සමාජ ගත කිරීම යි. මේ වෙනකොට ඒ දේවල් ඇති වෙන්න කරලා තියෙනවා. නමුත් ඒවායින් නිසි ප්‍රතිඵල මේ සමාජ උන්නතියට පාදක කරගෙන නැහැ. ඒ නිසා පර්යේෂණ ගැන දැන් නම් හොඳට ම කළකිරිලා ඉන්නවා.”

වර්ෂ 1995 දී කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙක් ලෙස පත්වන මහාචාර්ය එම්.ජී. කුලරත්න එයින් වසර දෙකකට පසු නෙදර්ලන්තය බලා පිටත් වූයේ උසස් අධ්‍යාපන කටයුතු සඵල කර ගැනීම උදෙසා ය.

එහිදී සිය විද්‍යාපති උපාධිය අවසන් කර නැවත කැලණියට පැමිණ වසර හතරකට පසුව සිය ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සඳහා එංගලන්තයට ගියේ ය. එහිදී ඇති වූ ආර්ථික හා ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් වසර එකහමාරකින් පසු ඔස්ට්‍රේලියාවට ගොස් හිතවත් මහාචාර්යවරයකුගේ උදව්වෙන් ශිෂ්‍යත්වයක් ලබා සිය ආචාර්ය උපාධිය ඔස්ට්‍රේලියාවේදී වසර තුනකින් සම්පූර්ණ කර, සිය පර්යේෂණ පත්‍රිකා පල කිරීමේ කටයුතු ආදිය වෙනුවෙන් තවත් මාස තුනක් පමණ එහි ම සිට ඔහු 2011 වසරේ නත්තල් සීතලේ යළි ලංකාවටපැමිණියේ ය.

මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ රාජකාරියෙහි නියුතු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ම භූගෝල විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරිනියක වන දේවිකා සමරකෝන් ඔහුගේ බිරිය වන අතර ඔවුන්ගේ දියණිය නිපුණි ධනුසිකා කුලරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද පුතා චරිත් බුද්ධිම කුලරත්න රුහුණු විශ්වවිද්‍යාලයේ ද උපාධි අධ්‍යයන කටයුතුවල නිරත ව සිටී.

“මම ඔස්ට්‍රේලියාවේ හිටියේ මගේ දරු දෙදෙනා සහ බිරියත් එක්කයි. මට දිගට ම වුණත් එහේ ඉන්න තිබුණා. නමුත් මම ලංකාවට ආවේ මම උසස් අධ්‍යාපන කටයුතු විදේශීය මුදලින් කළත් ප්‍රථම උපාධිය දක්වා ඉගෙන ගත්තේ මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදලෙනුයි. මගේ දරුවෝ දෙන්නා ලංකාවේ සාමාන්‍ය ඉස්කෝලවලට දැම්මා. ඒ දෙන්නා දහම් පාසලටත් ගියා.

තමන්ගේ වැඩ තමන්ට කරගන්න එයාලට ඉඩ දීලා තියෙනවා. දරුවෝ හිටගන්න අවශ්‍ය වන්නේ තමන්ගේ දෙපයෙන් මිස දෙමව්පියන්ගේ දෙපයින් නොවන බව දරුවන්ට කියා දිය යුතුයි. දෙමව්පියනුත් ඒ ගැන දැනගෙන වැඩ කළයුතුයි. අද දරුවන් ව පුටුවකට සීමා කරලා විවේකයත් පුටුව උඩ ම ජංගම දුරකතනයේ රැඳිලා අතක් පයක් හොල්ලන්න, සිතන්න බැරි පිරිසක් බවට පත් කරලා ඉවරයි. මං මේ කතාව අඩුපාඩු නැතුව, හංගන්නේ නැතුව කිව්වේ අද කාලේ දරුවන්ට උගන්වන්න වෙහෙසෙන දෙමව්පියන්ටත් දැන ගැනීම සඳහා යි.

දරුවන් ව පරිසර ක්‍රියාවලියෙන් ඈත් කිරීම නිසා ඔවුන්ගේ ස්වභාවිකත්වය ගිලිහී තිබෙනවා. හරියට වෙලාවට වැඩක් කරගන්න බැරි වෙලා තියෙන්නේ ඒ නිසයි. අද මගේ සතුට සහ ජයග්‍රහණයට හේතුව මම කුඩා කාලයේ අත්විඳි කටුක, දුක්ඛිත, දුෂ්කර ජීවිතය යි. ඒ වගේ ම පරිසරයත් එක්ක එකට බද්ධ වෙලා පැමිණි මේ ගමන යි. මගේ කටුක අත්දැකීම් මම නොසඟවා කියන්නේ ඒ මතින් මා දිනූ නිසා යි. අපි හැමෝට ම දිනන්න පුළුවන්. අවශ්‍ය වන්නේ ඉලක්කය ගැනීම හා ඒ සඳහා අවශ්‍ය පසුබිම දැඩි උත්සාහයකින් යුතුව ගොඩනගා ගනිමින් ඉදිරියට යෑම යි. ඒ විදිහට උත්සාහ කළොත් අපි තවමත් ප්‍රමාද නැහැ.”

Comments