හින්දු සමාජයේ විවාහය පූජනීයයි | සිළුමිණ

හින්දු සමාජයේ විවාහය පූජනීයයි

මෙවර අපි හින්දු ආගමික සංකල්පය තුළ විවාහය අරුත්ගන්වා ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කළෙමු. ඒ වෙනුවෙන් අපි හලාවත ශ්‍රී මුන්නේස්වරම් කෝවිලේ ප්‍රධාන පූජක සහ භාරකරු,යාපනය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ හින්දු අධ්‍යයන පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය එස්. පද්මනාබ කුරුක්කල්තුමා සමඟ කළ සාකච්ඡාවේ සංක්ෂිප්තයයි මේ.

 

හින්දු ධර්මයට අනුව මනාලියක් තම පියාගේ නිවසේ සිට මනාලයාගේ නිවසට කැන්දාගෙන යාම 'උද්වා' නොහොත් 'විවාහ' ලෙස හැඳින්වේ. එමෙන් ම විවාහයේ දී මනාලයා මනාලියව තම බිරිය කර ගැනීම සඳහා ඇගේ අත අල්ලාගෙන සිටින බවත්, එම නිසා ඇය විවාහයෙන් පසු තම ස්වාමිපුරුෂයාගේ නිවසට ගොස් ඔහු සමඟ ජීවත් විය යුතු බවත් හින්දු මතයයි. පුරුෂයකුගේ හා ස්ත්‍රියකගේ ජීවිතයේ වැදගත් කරුණු කිහිපයක් යහපත් විවාහ ජීවිතයක් ගොඩනඟා ගැනීම සඳහා උපකාරී වේ. පුරුෂයා සහ ස්ත්‍රිය අතර පවතින ආදරය, ඔවුන්ගේ සහසම්බන්ධය, ඔවුන් දෙදෙනාගේ පරපුර, ඔවුන් එක්ව ගත කරන ප්‍රීතිමත් අවස්ථා, ඔවුන්ගේ සමාජ තත්ත්වය සහ සමෘද්ධිමත් බව ඒ අතරින් කිහිපයකි. හින්දු සමාජය තුළ විවාහක කාන්තාවක් ඉතා ගෞරවණීය තැනැත්තියක් සලකයි.

හින්දූන් විවාහය දැඩි ලෙස පරමාදර්ශී කර ඇත. එමෙන් ම පීතෘමූලික හින්දු සමාජය තුළ විවාහය පූජනීය අංගයක් ලෙස සලකනු ලබන අතර සෑම හින්දු ජාතිකයෙකු ම විවාහ විය යුතු බව හින්දු ධර්මය තුළ සඳහන් වේ.

සත්පත්‍ය බ්‍රාහ්මණයට අනුව පුරුෂයා විවාහ වන තුරු සම්පූර්ණ නොවන අතර, භාර්‍යාව යනු අර්ධංගිනී හෙවත් පුරුෂයාගේ අනෙක් භාගය ලෙස සැලකේ. ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර අන්‍යෝන්‍ය විශ්වාසවන්තභාවය ඉහළම ධර්මය බව 'මනු' ප්‍රකාශ කර ඇත. එමෙන් ම මහා භාරතයට අනුව, කාන්තාවක් ආදරයෙන් රැකබලා ගැනීම සමෘද්ධියේ දෙවඟනගේ ආකර්ෂණය ලබාගැනීමට ඇති හොඳ ම මඟයි. හින්දු ධර්මයට අනුව බිරිය 'ග්‍රහපත්නි' පමණක් නොව, 'ධර්ම පත්නි' හා 'ෂධර්මිණී' ද වේ. බිරිය තම සැමියාගේ හොඳ ම මිතුරියයි. ඇය ධර්ම, අර්ථ, කාම සහ මෝක්ෂයේ මූලාශ්‍රයයි. හින්දු ධර්මය තුළ සැමියා භාරතී ලෙස හැඳින්වේ. ඔහු තම බිරියට සහාය විය යුතුය. එම නිසා ම ඔහු 'පති' ලෙස ද හැඳින්වේ.

හින්දු නීතිය යටතේ විවාහයක තිබිය යුතු අනිවාර්ය අංග තුනකි. ඉන් පළමුවැන්න වන්නේ විවාහය කෙනෙකුගේ ශාරීරික අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා පමණක් නොවන අතර, එය මූලික වශයෙන් ආගමික සහ අධ්‍යාත්මික ක්‍රියාවක් විය යුතු බවයි. එමෙන් ම විවාහ දිවියට වරක් ඇතුල් වූ පසු එම විවාහය කුමන හේතුවක් මත වුව ද අත්හැරිය නොහැකි බව දෙවැන්නයි. තුන්වැනි කරුණ වන්නේ විවාහයක දී සැමියාගේ හා බිරියගේ ආත්මය, ශරීරය සහ මනස යන සියල්ල ම එක් විය යුතු බවයි. එම එක් වීම මේ ආත්මයේ දී මෙන් ම ඉදිරි ආත්මවලදී ද සිදුවන බව හින්දු විශ්වාසයයි. ආධ්‍යාත්මික දෘෂ්ටිකෝණයට අනුව පිරිමි දරුවකු වයස අවුරුදු අටේ සිට අවම වශයෙන් අවුරුදු දොළහක් අධ්‍යාපනය ලැබිය යුතු බවත්, ඉන්පසුව, විවාහ වීමට පෙර, වසර හතරක් හෝ පහක් තම ජීවනෝපාය ශක්තිමත් කරගැනීම සඳහා වෙහෙසිය යුතු බවත්, වයස අවුරුදු විසි පහේ සිට තිහ දක්වා කාලය තුළ විවාහ විය යුතු බවත් හින්දු ඉගැන්වීමයි. එමෙන් ම ගැහැනු දරුවකු තම ළමා අවදිය පසු කළ පසු, ඊළඟ වසර පහක් හෝ හයක් ලෞකික වගකීම්වලට උරදෙන ආකාරය උගත යුතු බවත්, වයස අවුරුදු විස්සේ සිට විසිපහ දක්වා ඇයට විවාහ වීම සඳහා සුදුසු ම වයස් කාණ්ඩය බවත් හින්දූහු විශ්වාස කරති.

හින්දු ආගමට අනුව විවාහ වර්ග අටක් ඇත. එම වර්ග අට අතරින් පළමුවැන්න වන්නේ 'බ්‍රහ්ම විවාහය'යි. බ්‍රහ්ම විවාහය යනු යම් තරුණියක්, ශිෂ්‍ය අවදිය හෙවත් බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළ පුරුෂයකු සමඟ විවාහ වීමයි. බ්‍රහ්ම විවාහයට හින්දු විවාහ වර්ග අට අතරින් උත්තරීතරම ස්ථානය හිමි වේ. බ්‍රහ්ම විවාහය තුළ දෑවැද්ද පාපයක් ලෙස සැලකේ. දෙවන විවාහ වර්ගය වන්නේ 'දෛව විවාහය'යි. එහි දී යම් ස්ත්‍රියකට සුදුසු මනාලයකු නොලැබීම නිසා විවාහ නොවීම හෝ විවාහය ප්‍රමාද වීම මගින් ස්ත්‍රීත්වයට අවමන් වන බව සලකා ආගමික උත්සවයක් පවත්වන අතරතුර, පවුලේ අය විසින් තෝරා ගනු ලබන ස්ථානයක් සමඟ ඇයව විවාහ කර දීම සිදු කෙරෙයි. මෙය පුරාණ කාලයේ බොහෝ රාජකීයයන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ පිළිවෙතකි. තෙවැන්න වන්නේ 'අර්ශ විවාහය'යි. අර්ශ විවාහයක දී ගැහැනු ළමයා සෘෂිවරයකුට විවාහ කර දීම සිදු කෙරෙයි. සිවුවැනි විවාහ වර්ගය වන්නේ 'ප්‍රජාපත්‍ය විවාහය' වන අතර, එහි දී සිදුවන්නේ තරුණියගේ පියා මනාලයකු සොයා ඇයව විවාහ කර දීමයි. 'ගාන්ධර්ව විවාහය' යනු පස්වැන්නයි.

කන්‍යාවක් සහ ඇගේ පෙම්වතා ස්වේච්ඡාවෙන් එක්වීම ගාන්ධර්ව විවාහය ලෙස හැඳින්වේ. ප්‍රේම සබඳතා මත සිදුකරගන්නා විවාහ වඩාත් සමාන වන්නේ ගාන්ධර්ව විවාහයටයි. මෙහි දී තරුණයෙකු හා තරුණියක් තම දෙමාපියන්ගේ අනුදැනුමකින් හෝ අනුමැතියකින් තොරව විවාහ වීම දක්නට ලැබේ. මනාලයා තම කැමැත්තෙන් තමාට දැරිය හැකි තරම් ධනය මනාලියගේ පාර්ශ්වයට ලබා දීමෙන් පසු විවාහය සිදු කිරීම 'අසුර විවාහය' වන අතර එය සය වැන්නයි. සත් වැන්න 'රාක්ෂස විවාහය' වන අතර, එහි දී සිදුවන්නේ කන්‍යාවකගේ ඥාති හිතමිත්‍රාදීන් මරා දැමීමෙන් හෝ තුවාල සිදු කිරීමෙන් පසු ඇය බලහත්කාරයෙන් පැහැරගෙන යාමයි. 'පයිශාච විවාහය' හෙවත් අටවැන්න යම් පිරිමියෙකු, නිදා සිටින, මත් වී සිටින හෝ මානසික ආබාධයකින් පෙළෙන විට තරුණියක හොර රහසේ තමා වසඟයට ගැනීමයි. මෙම විවාහ වර්ග අට අතරින් අසුර විවාහය, රාක්ෂස විවාහය හා පයිශාච විවාහය යන වර්ග තුන ම පහත් විවාහයන් ලෙස සැලකෙයි.

මෙම සියලු කරුණු ඔස්සේ විවාහය මිනිස් ජීවිතයට කෙතරම් වැදගත් ද, ස්වාමිපුරුෂයා සහ බිරිඳ යන දෙදෙනා එකිනෙකාට කොතරම් ගරු කළ යුතු ද යන්න පිළිබඳව අපට නිවැරදි අවබෝධයක් ලබා දීමට උත්සාහ කරයි.

 

Comments