
මට ගීයක් තනුවකට අනුව ලිවීමට වගේම තනුවකින් තොරව ලියන්නත් පුළුවන්
ප්‍රතිරූපය ගොඩනඟාගත් විට ගී පද රචකයාට ලැබෙන වටිනාකම වැඩියි
මුදලට නිර්මාණ කරනවද හිතවත්කමට නිර්මාණ කරනවාද යන්න තීරණය වන්නේ ගී පද රචකයාගේ රුචිකත්වය මතයි
නිර්මාණයක් අපට වඩාත් හෘදයංගම වන්නේ එකී අනුභූතිය අපගේ ජීවන අත්දැකීම් හා සංස්පර්ශ වූ විටයි. නමුත් යම් නිර්මාණයක් සාර්ථක වන්නේ අත්දැකීම් ඇතිව හෝ නැතිව සහෘදයාගේ සිත්හි සංකල්ප රූප මවන විටයි. දෙතොළතර මඳ සිනහවක් මවාගෙන සුවසේ නිදන මුදු මොළොක් බිළිඳෙක් ව සිතෙහි චිත්රණය කරන මලක් නිදි මල් ගොඩක් මැද ගීතය අපව රැගෙන යන්නේ අපූරු ලෝකයකටයි. අද රසඳුන හරහා අත්වැල් බැඳගන්නේ එකී ගීතයේ ගේය පද රචක ජගත් පෙරේරා යි.
කොහොමද මේ දවස්වල ජීවිතේ..
තරමක් කාර්යය බහුලයි. නමුත් සතුටින් ජීවිතය ගලාගෙන යනවා.
කලා කටයුතුවල විස්තර කිව්වොත්...
වායෝ සංගීත කණ්ඩායමට අලුත් ගීතයක් කළා. ඒ ගීතය නිකුත් වීමට නියමිතයි. අරුණ ලියාන්ගෙ ඇල්බම් එකේ මගෙ ගීත ගණනාවක් නුදුරේදීම අසන්නට ලැබේවි. ඒ වගේම කවි පොතක් හා තවත් වැඩ කිහිපයක්ම ඉදිරියේදී කිරීමට නියමිතයි.
ඔබ ගී පද රචනයට යොමු වුණේ කොහොමද?
මම කුඩා කාලයේ පටන්ම ලිවීමට බෙහෙවින් ප්‍රිය කරනවා. සාහිත්‍ය ඇසුර සමඟ හැදී වැඩුණු නිසා පාසලේ තරඟවලට සහභාගි වුණා. ඒ වගේම ඉන් පසුවත් මග තොටේ දී දකින සංසිද්ධීන් වගේම විවිධ පින්තූර අරඹයා මම නිර්මාණ සිදු කළා. ගී පද රචනයට මම යොමු වෙන්නේ ඒ ආකාරයටයි.
වර්තමානය ගීත නිර්මාණයේදි තනුවට වගේම රූප රචනයට අනුව පද ගැළපීම කරන විට ගී පද රචකයාගේ නිදහසට සීමා මායිම් පැන වෙනවා නේද?
එවැනි අසීරුතාවන් තිබෙනවා. නමුත් මගේ බොහොමයක් නිර්මාණ එසේ රාමුවකට කොටු වී නැහැ. මලක් නිදි මල් ගොඩක් මැද ගීතය මම ලියපු කවියක්. එය ගීතයක් බවට පත් වන්නේ එයින් පසුවයි. ඒ නිසා මට තනුවකට අනුව ලිවීමට වගේම තනුවකින් තොරව ලිවීමට හැකියාව තිබෙනවා. මම ගී පද රචනයට යොමු වන්නේ අරුණ ලියාන්ගේ අතහිත දීම ඔස්සේ සිහින් සරින් ගීතය හරහායි. එකී ගීතයෙන් අනතුරුව මගේ නිර්මාණ තනුවකට අනුව සිදු වූ අවස්ථාවවන් වගේම එසේ නොවූ අවස්ථා පවතිනවා.
නවක ගී පද රචකයන්ට ක්ෂේත්රය තුළ නමක් ගොඩනඟා ගැනීමට බෙහෙවින් අසීරුයි. මුල්කාලයේ ඔබටත් එවැනි දුෂ්කරතා පැන නැඟුණ ද?
පුද්ගල රසිකත්වය නිර්මාණයක් විඳින ස්වභාවය අනුව වෙනස් වෙනවා.මම හැමවිටම උත්සාහ කරන්නේ ගුණාත්මක හා හරවත් නිර්මාණයක් සහෘදයාට තිළිණ කිරීමටයි. එහිදී මල් සින්දු ලෙස හෝ වෙනත් ඛාණ්ඩකරණයක ට ගීත ලක්විය යුතු නැහැ කියලා මම ඉඳුරාම විශ්වාස කරනවා. මම හිතෙන විදිහට අපි අපේම පාරක ගියොත් අපට එවැනි ගැටලු පැන නගින්නේ නැහැ. රුවන් හෙට්ටිආරච්චිගේ බෙහෙවින් ජනප්‍රිය වූ ආලෙන් වෙළී ගීතය තුළ මගෙම ආරයක් ප්‍රේක්ෂකයා හඳුනා ගන්නවා. එය මලක් නිදි මල් ගොඩක් මැද ගීතය තුළිනුත් දැකගන්න පුළුවන්. එසේ ප්‍රතිරූපය ගොඩනඟාගත් විට ගී පද රචකයාට ලැබෙන වටිනාකම වැඩියි. මුල් කාලයේදී තමන්ගේ ආරයයක් වගේම ස්ථාවරත්වය ගොඩ නඟා ගැනීමට අපහසු වුවත්, එය ක්‍රමිකව කිරීමට හැකියාව තිබෙනවා.
මලක් නිදි ගොඩක් මැද ගීතය තුළින් දාරක ස්නේහය එතරම් සියුමැලිව හා ළතෙත්ව ඔබ චිත්රණය කළේ කොහොමද?
මම රූපක කාව්‍යකරණ ගීපද රචකයෙක්. යම් රූපයක් දුටුවොත් ඒ පිළිබඳව එවේලෙහි ලිවීමේ සහජ හැකියාවක් මට පවතිනවා. මගේ ගීතවල හා කවිවල දකින විශේෂම ලක්ෂණය විරිත හා එළිසමයයි. ඕනෑම නිර්මාණයක මගේ ආරක් මගේ වචන හා මට ම වෙන්වූ ලාලිත්‍යයක් අර්ථ රසය හා ශබ්ද රසය රැකෙන ලෙස එක් කිරීමට මම උනන්දු වෙනවා. එය මට ලිවීම ඔස්සේම ගොඩනැඟුණු දෙයක්.
ගී පද රචකයන්ට වෘත්තීය වශයෙන් ස්ථාවර වීමේ වටපිටාවක් මේ වෙනවිට ලංකාව තුළ ගොඩනැගී තිබෙනවා ද?
ඔව් මේ වෙනවිට ගී පද රචකයන්ට යම්තාක් දුරකට ස්ථාවර වීමට ආයතන ගොඩනැගී තිබෙනවා. තමන්ට වටිනාකමක් ලබාදෙන නිවැරදි මිනිසුන් සමඟ අප වැඩ කරනවා නම් එවැනි ගැටලු පැන නඟින්නේ නැහැ.යම් ගී පද රචකයෙක් මුදල් බලාපොරොත්තුවෙන් තොරව යම් නිර්මාණයක් කරනවා නම් එතන මුදලට එහා ගිය මානුෂීය වටිනාකමක් තිබෙනවා. මුදලට නිර්මාණ කරනවද හිතවත්කමට නිර්මාණ කරනවාද යන්න තීරණය වන්නේ ගී පද රචකයාගේ රුචිකත්වය මතයි.
ඔබ ගී පද රචනයට වගේම ගීත ගායනයටත් දක්ෂයි කියා ආරංචියි.
මම සංගීතය හැදෑරුවා. ඒ වගේම සංගීත කණ්ඩායමකුත් පවත්වාගෙන යනවා.
ගී පද රචනය තුළ වඩා ඵලදායි කාර්යයක් කිරීමට සංගීත දැනුම අත්‍යවශ්‍යද?
අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. එය එකී වෘත්තිය ආලෝකවත් කරන බෝනස් එකක්. පද වැලක තියෙන ලාලිත්‍යය ගොඩනැඟීමට සංගීත දැනුම වඩාත් වැදගත් වෙනවා. උදාහරණයක් ලෙස මලක් නිදි මල් ගොඩක් මැද ගීතය මම ලිව්වෙම මගේ හිතේ මැවුණු තාලයකට. එසේ යම් රිද්මයකට ගීත නිර්මාණය කිරීම තුළ ගීතය වඩාත් සුන්දර වෙනවා.